මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකාවේ අසීරුතම කාලපරිච්චේදයකි. කිසිදා නොවුණු ලෙස මෙරට ආර්ථිකය අප සැමගේ ජිවිතයට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටී. ඩොලර් හිඟය, අධි උද්ධමනය, ඉන්ධන, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල ඇති දැඩි හිඟය මෙරට මිනිසුන්ගේ සුපුරුදු ජන ජිවිතය කණපිට හරවා තිබේ. පාස්කු ප්‍රහාරය, කොවිඩ් වෛරස ව්‍යාප්තිය වැනි කාරණා නිසා විරැකියා අනුපාතය ඉහළ යාම, කාබනික පොහොර ව්‍යාපෘතිය නිසා කෘෂි නිෂ්පාදන ධාරිතාවය පහත වැටීම හා අධික විදේශ ණය බර වැනි ගැටලු මැද උග්‍ර ආර්ථික අර්බුදයකට මෙරට ගමන් කරමින් සිටි. එමෙන්ම දේශපාලනික අවිනිශ්චිතාවය ආර්ථික ස්ථාවරත්වය සඳහා මඟ පැදීමට ඇති දැඩි බාධාවකි. මෙවැනි අර්බුද මැද විශ්වවිද්‍යාල අධ්‍යාපනය කොයිබටද යන්න අප කවුරුත් විමසා බැලිය යුතු ප්‍රශ්නයකි.

 

ආර්ථික අර්බුදයක් මැද ලොව උද්ධමනය අතින් දෙවැනි තැන සිටින ශ්‍රී ලංකාව මෙවැනි තැනකට පත්වෙන තුරු  මෙරට බිහි වූ උගතුන් කුමක් කළේ ද යන්න අප කල්පනා කළ යුතුය. ඉන් නොනැවති වර්තමානයේ ඉගෙනගන්නා විද්‍යාර්ථීන් හා උගත් උපාධිදාරීන් අතීතයේ වැරදි නැවත නොවන්නට කටයුතු කළ යුතුය. අධ්‍යාපන ක්‍රමවේදය තුළ පවත්නා ගැටලු හඳුනාගෙන පරාර්ථකාමි, උපයන වැටුපට වඩා දෙගුණයක් ආයතනයට සේවය කරන, රටට ආදරය කරන හා රාමුවෙන් ඔබ්බට සිතන නිර්මාණශීලී උපාධිදාරියෙකු දැන් රටට අවශ්‍ය කර තිබේ. ඩොලර් හිඟයට මැදිව මෙරට ශ්‍රමිකයින් විදේශීය රැකියා සඳහා පිටත් කිරීමට රජය දරන වෑයම මත උගත් උපාධිදාරියාටද, ඉගෙනගන්න විද්‍යාර්ථියාටද අපි ඉගෙනගත්තේ හා තව දුරටත් ඉගෙනගන්නේ කුමටද යන්න සිතේ බුරා බුරා නැගෙන තවත් ප්‍රශ්නයකි. මෙම ඉච්ඡාභංගත්වයට නිවැරදි මඟ පෙන්වීමක් හා අලුත් බලාපොරොත්තුවක් දැන් රටට අවශ්‍ය කර තිබේ. 

 

තාරුණයට අරුත්බර හෙටක් නිර්මාණය කරන්නට නම් රට වෙනුවෙන් වැඩ කරන, මෙරට නූපන් දරුවන් පවා ලෝකයට ඇති ණයබර ගෙවීමට හැකි රාජ්‍ය සේවකයෙකු, පෞද්ගලික සේවකයෙකු විශ්විවිද්‍යාලය තුළින් නිර්මාණය කළ යුතුය. පොත පත, දැනුම පමණක් නොව විවිධ ප්‍රායෝගික නිපුණතා හා කුසලතා ඇති විද්‍යාර්ථීන් සකස් විය යුතුය. අවශ්‍ය තැන දැඩි තීන්දු තීරණ ගත හැකි, පෞද්ගලික දියුණුවට වඩා ආයතනික හා රටේ දියුණුව ගැන සිතන ආකල්පය උගත් විද්‍යාර්ථීන්ගේ සිත් තුළ වර්ධනය කළ යුතුය. එමෙන්ම ඉගෙනීමට හෝ රැකියාවකට විදේශගත වුවද මව් රටට තම වගකීම් හා යුතුකම් ඉටු කරන ආකල්පය වර්ධනය විය යුතුය. මහන්සියෙන්, කැපවීමෙන් හා නොනිදා වැඩ කළ යුතු යුගයක් දැන් රටට අවශ්‍යය. අපට ගිමන් හරින්නට කල් නොමැත. ලෝකයා අපට වඩා බොහෝ ඉදිරියෙනි. එබැවින් කුමන අර්බුද මැද වුවත් ඉගෙනීම නතර නොවිය යුතුය. ඉන් නොනැවති එහි අග්‍ර ඵලය මෙරට අනාගත උන්නතිය උදෙසා දායාද කළ යුතුය.   

 

සංස්කාරක