ලාංකීය මෙන්ම විදෙස් තලවලද වැඩි ප්‍රේක්ෂක අකාර්ෂණයට බඳුන් වූ සිනමා නිර්මාණ පවති.අශෝක හඳගමගේ 'ඇගේ ඇස අඟ' චිත්‍රපටයට විචාර 50කට අදික සංඛ්‍යාවක් ලියවී ඇතැයි කිය වේ. ඒවා චිත්‍රපටයට ඇගයුමක් හෝ ගැරහුමක් වුව ද ඒ තුළින් විදග්ධ ප්‍රේක්ෂක නැමියාවක් එම චිත්‍රපටයට ලබා ගත හැකිව තිබේ. 'ගින්නෙන් උපන් සීතල එය අභිබවා යමින් කුඩා මිතුරු එකමුතු තුළ සිට විචාර වීමංසන දක්වා කතාවට ගැනෙන හා සමාජ ජාල තුළ අප්‍රමාණ කතා බහට ලක් වූ කෘතියකි. නවමු ශානරයක් වෙත සිංහල සිනමාව මේ තුළින් අත්පොත් තබනවා වීම ද සුවිශේෂයකි. විජේවීරගේ චරිතය අලලාම නිර්මාණය වීම නිසා ම සරල රසිකත්වයක සිට ඉහළට ප්‍රේක්ෂක පාරසයක් කරා දිව යයි. මේ හේතුවෙන් වීජේවීර හා ලාංකීය විමුක්තිකාමී වම සර්ව පාන්තික භාෂාවක් බවට පත්ව ඇත. ශානරයක් වශයෙන් චරිතාපදාන සිනමා කෘතියක් යන මෙය තුළින් පෙර පැවති ලාංකීය ගෝ‍ත්‍රික සිනමාව යම් වෛෂික ආස්ථානයකට ගෙන එයි. ඒ හැරෙන්නට එම කාලයේ දී ලාංකීය සිනමාවේ බිහි වූවේ අතීත කතා තුළ සිටින මිනිසුන්ගෙ රළු ප්‍රතිචාර රැගත් චිත්‍රපට පමණි.

දුරස්ථීකරණය යන වදන සමස්ත දේශපාලන මෙන් ම කලා විෂය පරාසය තුළ ද සාකච්ඡාවට ගැනෙන වචනයකි. එය මාක්ස්වාදි දර්ශනයට අනුව බුලට් තුඩින් ඔළු කුඩු කරන, දරුවන් දූෂණය කරන, අනුන් මෙන්ම තමන්ද හුවමාරු වටිනාකමකට විකිණෙන ධනවාදී ම්ලේච්ඡ සමාජය සමඟ තම ආත්මය ඇති කරගන්න දුරස්ථ බව අර්ථ ගැන්වේ. කලා විචාරය හා නාට්‍ය නිර්මාණකරණය තුළ දුරස්ථීකරණය (Alienation Effect) වර නඟන්නෙ බ්‍රටෝල් බ්‍රෙෂ්ට් විසිනි. ඔහු කලාවේ තදනුභූතික ස්වරූපය ඉවත් කොට කලාව කලාවක් බවට හැඟෙනෙ ලෙස නිර්මාණය කිරීමට උත්සහ කරයි.සරලව, ඔහු නාට්‍යයක් බවට පෙනෙන පරිදි නාට්‍යයේ චරිත වෙස් මාරු කිරීම් වැනි  දෑ වේදිකාව මතම සිදු කරයි.ඒ තුළින් විනෝදය තුළ තදනුභූතිකව නාට්‍ය හා බැඳෙන ප්‍රේක්ෂකයා එහි මානවීය හැඟීම් තුළින් මිදි එහි දාර්ශනික හා දේශපාලන හරය සමඟ සෘජුව සම්මුඛ වේ (නාට්‍ය නාට්‍යක් බව දැන වීම).

දුරස්ථීකරණය යනු කලාව සඳහා සහෘදයාට ඇති අති සමීප දෘෂ්ටිය  ඉවත් කොට ප්‍රෙක්ෂක ෆැන්ටසික හා ආත්මමූලික ආශාවන් නිර්මාණය තුළින් ජනන වීමෙන් දුරස් කොට එහි ම දාර්ශනික ආස්ථානයට සම්මුඛ කිරීම ලෙස වර නැඟුවහොත් මෙම න්‍යාය ගොඬනැගි ඇත්තේ ප්‍රේක්ෂක ෆැන්ටසික  ආශාවට, විනෝදයට එරෙහිව යම් දේශපාලනික දාර්ශනික යමක් ලබාදීමට ය (මේවාද අවසාන අර්ථයේදී ආශාවක් වේ). මේ හා සමානම අඛ්‍යාන රීතියක් ලෙස සාන්දෘෂ්ටිකවාදය(existentialism) හැඳින්විය හැකි ය.සාන්දෘෂ්ටිකවාදය තුළ නවකථාවක නම් එහි වචන, වාක්‍ය තුළ පවතින පුද්ගල විනෝදය ඉවත් කර සෘජු වාර්තාකරණ ස්වරූපයකට නුදුරු ක්‍රමවේදයකට ආඛ්‍යානකරණය මෙහෙයවයි. එහිදී සිදුවන්නෙ පෙර ලෙස ම ආශාව පිටමන් කොට වෙනත් උත්තරීතර හරයක් (දාර්ශනික හා දේශපාලනික) වෙත සහෘදයා ගෙන යාමයි. උදාහරණයක් ලෙස අල්බෙයා කෙමුගේ 'පිටස්තරයා' නවකථාව තුළ ඇත්තෙ ප්‍රධාන චරිතය සිදු කරගෙන යන යම් යම් කටයුතු ඇති සැටියෙන් විස්තර කරගෙන යාමයි. අවසානයේ ඒ තුළින් නව දාර්ශනික තලයක් හෙළි කරදීමට ලේඛකයා සමත් වේ.

ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය ගොඬනැගී ඇති ආඛ්‍යානය තුළ නිසරු වාර්තාගත ස්වරූපයක් දැකිය හැකි ය. සිද්ධි දාමය වේගයෙන් ඇමිණි ගොස් ඇත. ඒ තුළ පුද්ගල ආශාවට ඉඩක් නො මැති ව වෘත්තාන්ත චිත්‍රපටයක් වාර්තා චිත්‍රපටයක් ලෙස හණ්වඩු ගැසෙන තෙක් ම දිව යයි.විජේවීර සිරගත වීමෙන් මිදී, පක්ෂ තහනමට ලක් ව, සැඟවී සිට පසුව සන්නද්ධ අරගලය අරඹා, විජේවීර අත්තඩංගුවට පත්වීම දක්වාම වේගයකින් මෙන් විජේවීර හා ඔහුගේ පක්ෂ නායකයින්ට ම යොමු වුණු කැමරා කෝණයක් සහිතව දිව යයි. සුළු බාහිර සිද්ධි කිහිපයකි හැරුණු කොට විජේවීරගේ නවාතැන් මාරු කිරීමට චිත්‍රපටය සීමාවේ.

මෙසේ දිවෙන චිත්‍රපටය තුළ චිත්‍රපටය බැලීම සඳහා පිවිසෙන ප්‍රේක්ෂකයාගේ ආශාව, ෆැන්ටසිය කුමක් වන්නට ඇත්ද? අසුන මත හිඳගන්නා ප්‍රේක්ෂකයා තුළ ඇත්තෙ මනුෂ්‍යත්වය පිරුණු මිනිසුන්ය, වධකාගාර තුළ වීරත්වයෙන් මියැදෙන මිනිසුන්ය, හෘර්දයාංගම විප්ලවවාදියෙකු වන විජේවීර හා ඔහුගේ සගයන්ය; එලෙසම පෞද්ගලික දුරවල්තා කෙසේ වුව ද අසාධාරණට එරෙහි වන තරුණ කැළක්ය. නමුත් චිත්‍රපටය  හා ඒකාත්මික වන අපගේ ෆැන්ටසික ආස්ථානයන් සිඳි බිඳි විසිරි යයි.මෙම බිඳි යාම ලෝක සිනමාවේ හෘදයාංගම චරිතාපදාන චිත්‍රපට කියවමින් දෝෂාරෝපණය කිරීම දක්වා උඩු දුවා යා හැකි ය. පෙර කියන ලෙස ම විජේවීර යනු ලාංකීය  සමාජයේ රහස් ආශාවයි (පැතීමයි). විමුක්ති අර්ථයෙන් මෙන්ම හිංසනීය තත්වයෙන් ද ලාංකීකයා තුළ හොල්මන් කරන ෆැන්ටසික අවතාරය විජේවීර ය. එහෙයින් විජේවීර අදහන හා ගරහන ලාංකීකයාගේ ෆැන්ටසික අවකාශය පැහැදිලි ය. මෙකී ගැලරියේ ප්‍රේමයට භාජනය වන විජේවීරගේ චරිතය තුළින් හෘදයාංගම මෙන්ම උද්වේගකර නිර්මාණයක් සිනමාවකරුවා මෙන්ම ප්‍රෙක්ෂකයා ද බලාපොරොත්තු වේ.

නමුත් කලාව හා සිනමාව යනු අපේ ආශාවේ සීමා රේඛාවන් උල්ලංඝනය කොට ලක්ෂයන්, ලම්බකයන් විකෘති කරන්නා වූ භාෂාවකි. එය ම කලාවේ හා සිනමාවේ විප්ලවීය සාරය වේ. විජේවීර මෙන් ම වෙනත් ඕනෑම විප්ලවාදි නායකයෙකු තුළ ඔහුට ම අනන්‍ය වූ  ජීවිතයක් ඇත. එය අතිශය අතෘප්තිකර සීමා සහගත යම් පමණක එ්කාකාරි වන එකකි. විමුක්ති ගී තුළ,විප්ලව න්‍යායික ග්‍රන්ථ තුළ, සංවිධානයේ පහළ සටන් කාඩර්වරුන් තුළ තිබෙන පමණක් නොව සිනමා ප්‍රේක්ෂකයින් තුළ ද තිබෙන ජීවයක් එකී චරිතය තුළ නො මැත (කිසිඳු ජීවයක් නොමැතයැයි නො කියවේ). විමුක්තිය හා විමුක්තිය දායාද කරනු ලබන නායකයෙකු තුළ ඇත්තෙ ඊට පරස්පර වූ ජීවිතයකි. ඔවුන්ගෙ ජීවිතය සීමා වන්නෙ පවුල තුළින් යළි යළි වෙන් කිරීම, මර්දනයේ අතකොලුවෙන් බේරීමට හා ජීවත ලාලසාවෙන් කරනු ලබන ප්‍රයාත්නයන් (චිත්‍රපටයයේ නිවාස මාරු කිරීම), සටන් සගයන් කිහිප දෙනෙකු අතර පමණක් දෝලනය වන සබඳතාවය හා එතුළ ම බිහි වූ හුදකලාව තුළ ය. තව ද, ප්‍රේමදාස ආණ්ඩුවේ මාධ්‍යකරණයේ සිට ලාංකීය සමාජය විජේවීර පිළිබඳ ව පවත්වන නිගමනය වනුයේ අහිංසක තරුණ තරුණියන් වධකාගාර බිත්ති තුළ අඳෝනා දෝන්කාරය තුළ මිය යද්දී බංගලාවන්වල සිට සුර සැප වින්දනය කළ බව ය. ප්‍රභාකරන් හා සාමගාමී යථාර්ථය ද මෙය ම ය.අඟල් කිහිපයක් ඝනකම වෙඩි නොවදින මැඳුරු තුළ වාසය කළ ප්‍රභාකරන් උතුරේ ද දකුණේ ද අහිංසක සිවිල් වැසියන් (අහිංසක බව වෙනම ප්‍රශ්න කළ යුතුය) බිල්ලට දෙන, ඝාතනය වන යුද්ධයක් ආරම්භ කළ බවයි. නමුත්, එකී විඛල්පයක් සෙවීම මගින් විජේවීරට, ප්‍රභාකරන්ට මෙන්ම අනෙකුත් විමුක්තිකාමී නායකයන්ට අහිමි වූ නිදහස හා හිමි වූ හුදකලාව මෙන්ම දරා ගත නොහැකි උගුරට එන තරමේ ජිවිතයේ දෝලනය (චලතාව) ජන විඥානය තුළ ඥනනය කරගැනීමට අපොහොසත් භාවයක් දක්වයි.

මේ ආකාරයෙන් විමුක්ති නායකයෙකුගේ ජීවිතය ආකාර 2කින් එනම්,

විමුක්ති විප්ලවයේ උත්කර්ෂයේ හා

ව්‍යාජ විමුක්තිකාමී උන්නති දේශපාලනය 

යන අධිපතිවාදී ජනමතවාදයන් හෙවත් බහුතර ෆැන්ටසික උන්මාදය ඡේදනය කරමින් හුදු විනෝදයට එහා ගිය අර්ථයකින් විප්ලවය නිර්වචනය කිරීමට චිත්‍රපටය උත්සහ ගෙන ඇත. අනෙත් අතට විප්ලව නායකයෙකු පිළිබඳව උන්නතිකාමී, විප්ලවාදී, නිදහස්කාමී රසික අධිපතිවාදී ෆැන්ටසියන් සුණු විසුණු කරමින් ඒ වෙත හිස්, එඬේර නමුත් ගෘහයට කොටු කරන ලද මානව ප්‍රාණියෙකු කැමරා කාචයේ සටහන් කර ඇත. විජේවීර සිරෙන් නිදහස් වීමේ සිට යළි මරණය සඳහා අත්තඩංගුවට පත්වීම තෙක් ඔහුට ඇත්තතෙ ජයග්‍රහණය, පරාජයක්, හොඳක් නරකක් අත් නොවනා වූ අතිශය වැසුණු නිවාසයන්ට කොටු කරන ලද ජීවිතයක් ය.එකී ස්ව කැමැත්තෙන් උරුමකරගත් විජේවීර සහෝදරයාගේ නීරස ජීවිතය (ආශාව ඈත් කරන ලද), දුරස්ථීකරණ හා සාන්දෘෂ්ටික අර්ථ යෙන් යුතු ආඛ්‍යාන රටාවකින් චිත්‍රපටය චිත්‍රණය කරයි. අවසානයේ තදානුභූතික ව වැළඳ හැකි ගීතයක් සමඟ ඒකාත්මික වීමෙන් හෙළි කරනුයේ අපගේ ආඥාදායක,බොළඳ ෆැන්ටසී ලෝකයක් බිඳ දමමින් නීරස, අධිවේගී ශුෂ්ක ජීවිතයක් හිමි විප්ලවවාදි, පරාර්ථකාමී මිනිසෙකුගේ අවසානයයි (එනම් නීරස අජීවිභාවයේ පවතින සජීවි වීරත්වයේ අංෂුවයි). නමුත් එය අප සිතනවාටත් වඩා එහා ගියා වූ කටුක අත්දැකීමයි. එ නිසා අප බලා සිටි සොඳුරු ජනාදරයට පත් විමුක්ති නායකයෙකු චිත්‍රපටය තුළින් හමු නො වේ. වාර්තාකරණයක් බඳු ආශාව පලවාරින ලද ආඛ්‍යාන රටවක් (සාන්දෘෂ්ටික හා දුරස්ථීකරණ) තුළින් ගෙනෙන අවසන් දාර්ශනික අස්ථානය එය ය. පුළුල් අර්ථයෙන් අපගේ ෆැන්ටසික සිතීම් නිම්ළලුවලට එයා ගිය යථාර්ථ ලෝකයේ විප්ලවයයි. එහිලා විජේවීරගේ පරිශ්‍රමය සමඟ සැසඳිමේදි විප්ලවය පවතින සමාජයට වඩා විප්ලවය තව බොහෝ දුරය.

 

ඉසුරු උදාකර යකන්දාවල

දෙවන වසර

භූගෝල විද්‍යා අධ්‍යනය අංශය

සමාජ විද්‍යා පීඨය