වචනවල රසය රසවින්දනයක් දක්වා වැඩි දියුණු කිරීම කවිය මඟින් සිදු කරයි.ළදරු වියේ ඇසූ නැළවිලි  කවියේ සිට වර්තමාන කවියාගේ මනෝභාවයන් ස්පර්ශ කරමින් ලියැවෙන කවිය දක්වාම රස විඳීමක් මෙන් ම සහෘද රසවින්දකයාගේ අත්දැකීම් සමඟ කවිය මුසුවීමත් සමඟ ඇතැම් කවි ජීවමාන වෙයි. සමාජ අඩුලුහුඬුකම්,විෂමතාවයන් වස්තු විෂයක් ලෙස අත්දකිමින් නූතන තරුණ කවියා බොහෝ මිනිසුන්ගේ ජීවන අත්දැකීම් හරහා ගමන් කිරීමට උත්සාහ ගනී. එසේ සමාජ මානුෂීය අත්දැකීම් කැටිකර ගැනීම තුළ සහෘද රසිකයාට මතුපිටින් බලා අත්විඳිය හැකි රසයකට අමතරව ගැඹුරු සංවේදී ස්ථාන පවා ස්පර්ශ කිරීමට මනස යොමු කරවයි. එමඟින් නූතන පරපුර කවි රසයෙන් ඈතට නොයවා කාව්‍ය කලාවට ඇදබැඳ තබා ගැනීමට ප්‍රබල ලෙස දායක වේ.

සමාජය තුළ විශේෂයෙන්ම සංවේදී හැඟීම් සමඟ ඝට්ඨනය වන්නේ සමාජ සම්බන්ධතාවයන් වෙයි. එය දෙමාපියන් සහ දරුවන්,ගුරුවරුන් සහ ළමයි, සහෝදර බැඳීම්, මිත්‍රයන් අතර ඇතිවන බැඳීම්, ප්‍රේමණීය බැඳීම් ලෙස විවිධාකාර වෙයි. සතුට ප්‍රීතිය, දුක, සංකාව, පරාජය, ජයග්‍රහණය වැනි විවිධ මානසික තෘප්තීන් සහ වියැකීම් මෙම සමාජ සම්බන්ධතා මත ගොඩනැගෙයි. කවියා තමන් ලද හෝ අසන දැනෙන අත්දැකීම් මනරම් වචන මුසුකොට නිදහසේ ගලා යාමට පූර්වාපර සන්ධි ගළපා මතුපිටින් හෝ ගැඹුරින් අර්ථ පූර්ණ කර සමාජයට පණිවුඩයක් දියත් කරයි.

වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා බොහෝ කතාබහට ලක්වූ කවියකු වන පොලිස් නිලධාරී ඉලක්ෂ ජයවර්ධන කවියා විසින් රචනා කර ජන ගතකරන ලද “කඩා වැටෙනා තරුවක්” යන ග්‍රන්ථයේ  එන “දුවගේ චිත්‍රය” නම් අතිසංවේදී ලෙස මනස ග්‍රහණය කරගන්නා කවි පන්තිය තුළ දුවක් සහ පියකුගේ සංවාදයක් ගලායන අතර එම ගලායාම සංවේදී රසික හදවත් තුළ අනුකම්පා සහගත සිතිවිල්ලක් ජනිත කරවන්නේ එම දියණිය සහ පියාගේ සංවාදයේ කෙළවර දී සහෘද රසිකයා කම්පා කරමින් එම දියණියගේ මවගේ වෙන්වීමක් වියෝවක් හෝ අහිමි වීමක් පිළිබඳව ව්‍යංගාර්ථයෙන් ඉස්මතු කිරීමෙනි. ඉලක්ෂ ජයවර්ධන කවියා මෙසේ එම පද්‍ය පන්තිය පෙළගස්වා ඇත.

දුවගෙ චිත්‍රය

අහසකට ලස්සනම ගෑවමයි දම් පාට

හඳත් අයිනෙන් අඳිමු එය නැතුව බැහැ රෑට

දුවේ නුඹ දන්නවද දුරයි හඳ හාවාට

අඳින්නට ඕන නැහැ ඒ නිසා ආවාට

චිත්‍රයට නගද්දී එක ළඟින් ඇන්දාට

අහස සයුරට දුරයි බර වැඩියි මගෙ දූට

ගගනතේ මායිමේ නුඹ ඇඳපු වව්ලාට

ළඟින් තවකෙක් අඳිමු තනිය හොඳ නෑ ඌට

ටීචරුත් ලකුණු දෙයි නොවෙන් බිය සංකාව

දැන් හරිම ලස්සනයි වෙරළ ළඟ හැන්දෑව

චිත්‍රෙ අපි නොඇඳ ඉමු දුවේ අපි දෙන්නාව

එහෙම උනොතින් ළමයි හොයයි නුඹෙ අම්මාව

-ඉලක්ෂ ජයවර්ධන - 

එමෙන්ම සමාජශීලී තරුණ කවියා තම සමාජ ගවේෂණය සංවේදීත්වයම අරමුණු නොකර ඇසට මතුපිටින් නොපෙනෙන සත්‍යය සමාජ ප්‍රශ්න මනසට දැනවීමට හොඳම අවියක් ලෙස කවිය භාවිතා කරයි. කවිය යනු හුදෙක්  රසවිඳී පමණින් ඉවත ලෑමට හැකි වචන පෙළක් නොව, නොදකින පැතිකඩක් විනිවිද දැක ගැනීමට අවැසි මගකි. වර්තමානයේ සමාජ පන්ති ක්‍රමය තුළ පවතින උස්මිටිකම් සහ විඳින විඳවන මිනිසුන්ගේ ජීවන කතාව අලුත් මානයකින් සහෘද රසිකයාට පිළිගන්වයි. එසේ ලියැවුණු කවි අතර “රුවන් බන්දුජීව”  නම් කවියා විසින් රචිත “කපුටන්ට කෝ උත්තර?” යන කවි පංතිය තුළ ඉතාම සූක්ෂම ලෙස කපුටකුගේ ජීවන චරිතය ආරෝපණය කරමින් කොළඹ නගරයේ පිටකොටුව තුළ ජීවත් වන දෛනික රැකියා වලින් ජීවිතය ගැටගසාගන්නා පුංචි පවුලක කුඩා දරුවා විසින් තමන් මේ ගෙවන ලෝකය අපටම උරුම වූවක් ද යන්නත් ඉන් මිදීමට හැකිද නොහැකිද යන්නත් ප්‍රශ්න කරමින් නිදහස සැප සම්පත් විඳින පාර්ශ්වයන් දෙස බලා කරනු ලබන ආවර්ජනයක් ඉස්මතු කරයි.රුවන් බන්දුජීව කවියා ප්‍රබල උපමාරූපීව පද්‍ය පන්තිය ගොඩනගන්නේ මෙසේය.

කපුටන්ට කෝ උත්තර

මේ දැනුත් පිටකොටුවෙ - ජෑම්, බෝ, කොට්ටම්බා පැල් තුළ

පිපිරෙමින් ඇති කපුටු බිත්තර

පැටව් එළියට ආවම - උන් අහන පැන වලට 

කපුටන්ට කෝ උත්තර?

අම්මා ඉදලත් තුඩින් අරගෙන පාන්දර කූඩුවෙන් ඉගිලෙයි

මල් උයන් - ලොකු මිදුල් - මංපෙත් ඉදල් පහරින් මෙල්ල කර එයි

මොනවා කෙරුවත් නරුම තුරු පත් පුරුදු විදිහට හෙටත් ගිලිහෙයි

අම්මෙ අපිටත් පුංචි මිදුලක් තියෙන තැනකට නොයන්නේ ඇයි?

තාත්තා මල්වත්ත පාරේ සුදු යකඩ මුදු - මාල විකුණයි

කටු ඇනී වණවුණු පියාපත් දවස ගානෙම බඳෙන් ගිලිහෙයි

බලන් ඉද්දිම වගේ හවසට තාත්තගෙ යටි පතුල් ඉදිමෙයි

කහ කුරුල්ලන් - නිල් කොබෙයියන් වගේ අපිටත් ඉන්න බැරි ඇයි?

මේ දැනුත් පිටකොටුවෙ - ජෑම්, බෝ, කොට්ටම්බා පැල් තුළ

පිපිරෙමින් ඇති කපුටු බිත්තර

පැටව් එළියට ආවම - උන් අහන පැන වලට 

කපුටන්ට කෝ උත්තර? “

ලෙස මෙච්චර අගහිඟකම් තිබුණත් ඒ පවුල්වලිනුත් අලුත් පරපුරවල් බිහිවන බවත් නමුත් ඒ අලුත් පරපුරට ගෙවන ජීවන රටාව පිළිබඳව තෘප්තිමත් නොවන විට දෙමව්පියන්ගෙන් අසන ප්‍රශ්න වලට උත්තර දෙමව්පියන්ට ම සොයාගත නොහැකිව අසරණ වන බවයි. බන්දුජීව නම් තරුණ කවියා සහෘද රසිකයා ඉදිරියේ චිත්තරූප මවමින් එය ඉදිරිපත් කරයි.

වර්තමානය වන විට තරුණ කවියන් තම කාව්‍ය නිර්මාණ ගෙනහැර දැක්වීමට සමාජ මාධ්‍ය භාවිතා කරයි එහිදී වත්මන් සමාජ තත්වය ගැන කවියන් යාවත්කාලීන වීමක්, මනාව දක්නට ලැබෙයි. රට තුළ මේ දිනවල උද්ගතවී ඇති දේශපාලනික අර්බුදකාරී තත්වය සහ මහජන පිබිදීම්, අරගල හා සම්බන්ධව කවි කිවිඳියන් වස්තු විෂය කොට ගෙන තිබෙන බව සමාජ මාධ්‍ය පාඨකයන් ලෙස අපට මනාව පිළිබිඹු වෙයි. මේ දිනවල දේශපාලනික ධනපති පංතිය නිර්ධන පංතියේ සම්පත් සොරාකෑම් පිළිබඳව ඇතිවන අරගලකාමී කතාබහ මනා උපමාරූපීව ජනප්‍රිය කිවිඳියක වන “දිනූ රාජගුරු” සහෘද කිවිඳිය මෙසේ ඉදිරිපත් කර ඇත.

"ඔබේ උයනට හලාගත්තම

ගඟේ තිබෙනා සියලු දිය බිඳු

මගේ ගෙමිදුල පිපාසාවෙනි

මල් මියෙයි නැත කැකුළු එකකුදු 

එයින් නොනැවත මහ දවාලක 

පැහැරගෙන ගොස් අහසෙ හිරු සඳු

කුටිය ඇතුලෙන් තියාගත්තම

මැවෙන එක වරදක්ද ගිනි කඳු"

           -දිනූ රාජගුරු

ඉතා සූක්ෂම ලෙස දේශපාලන බලවතුන් පීඩිත පන්තිය සූරාගෙන කෑම තුළ පීඩිත පන්තිය අර්බුදයකට ඇද දැමූ ආකාරය මෙම කවිය තුළින් මනාව ග්‍රහණය කරගෙන ඇත. තවදුරටත් කවිය තුළ යොදා ගන්නා උපමා ආදිය මඟින් කවියා සමාජය ස්පර්ශ කිරීමත් එම ස්පර්ශයෙන් ලද අත්දැකීම් රසාස්වාදයකින් හා සමාජ පණිවිඩයකින් සමාජගත කිරීමත් නූතන කවියා සහ සහෘද රසිකයා කෙතරම් දුරට නිර්මාණාත්මක වී ඇද්ද යන්න මනාව වැටහේ.

කෙසේ වෙතත් නූතන තරුණ කවියන් ඉතා ඉක්මනින් සමාජ යථාර්ථයන් ග්‍රහණය කර ගැනීම තුළ කාව්‍ය කලාවට නවමු නිර්මාණ රාශියක් එකතු වී රසවින්දනයට සහෘද රසිකයාට වෙනස්ම ආකාරයේ තෘප්තියක් එක්කරනු ලබයි. වර්තමානය වන විට නූතන කවියාගේ සමාජ ස්පර්ශයත් සමඟ පොත පතින් ඈත් වූ තරුණ පරපුර සමාජ මාධ්‍ය හරහා මෙම කවි රස විඳීමට පුරුදුව සිටීම ඉතාම සතුටට කරුණකි. සෘජුව සමාජයේ ගැටලු සංවාදාත්මක ව ඉදිරිපත් කරනවාට වඩා රසවත් වාක්‍ය එකතු කොට කවියකින් සහෘද රසික මනසට කා වැද්දීම තුළ නිර්මාණශීලී ආකල්ප සහිත සිතීමට පුරුදු වන නව පරපුරක් ගොඩනැගීමත් සිදුවෙයි. එය කාව්‍ය කලාවේ ප්‍රගමනයට මෙන්ම රසවින්දනයෙන් පෝෂිත නව පරපුරක් අනාගතයට ගොඩනැගීමට අවශ්‍ය තාර්කික බුද්ධියක් මෙන්ම කලාත්මක සංවේදීතාවක් තරුණ මනසෙහි ජනිත කරවයි.

 

සමීර සම්පත් වන්නිආරච්චි

කැලණිය විශ්වවිද්‍යාලය