සමස්ත ජන ජිවිතය උඩු යටිකුරු කරමින් කොවිඩ්-19 වසංගතය පැමිණ වසර දෙකකටත් වැඩිය. එහි බලපෑම අප සැවොමගේ සෞඛ්‍යටත්, ආර්ථිකයටත් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයටද අති මහත් බලපෑමක් ඇති කළේය. එහි ප්‍රතිපලයක් ලෙස මෙරට උසස් අධ්‍යාපනයේ මුදුන් මල්කඩක් බඳු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය 2020 මාර්තු 15 වන දින වසා දැමිණි. කොවිඩ් නිසා විශ්වවිද්‍යාල වසා දැමූ පමණින් එහි අධ්‍යාපන කටයුතු නතර නොවිය යුතුය.මන්ද වසරින් වසර රටේ හෙට දවස නිර්මාණය කරන මානව සම්පත දැනුමින් හා ප්‍රායොගිකව සන්නද්ධ කිරීම ප්‍රමාද වීම රටේ ආර්ථිකයටත්, සමස්ත ජන සමාජයේ ක්‍රියාකාරීත්වයටත් සෘජුව බලපාන බැවිනි. 

වසා දැමූ කාලසීමාව තුළ ඉගැන්වීම් හා විභාග කටයුතු දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයක් වන මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවත්වුවද එය සෑම විෂය ධාරාවකටම එක සේ සාර්ථක නැත. නිදසුනක් ලෙස වෛද්‍ය විද්‍යාර්ථියෙකු මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගෙනගැනීම තැපෑලෙන් පීනන්න ඉගෙනගන්නවා හා සමානය. අනෙක් අතට සෑම විද්‍යාර්ථියෙකුම ඊට අවශ්‍ය පහසුකම් හා රට පුරා වේගවත් අන්තර්ජාල පහසුකම් නොතිබීම පවත්නා තවත් අඩුපාඩුවකි. එබැවින් සැලසුම් සහගත ක්‍රමවේදයක් හරහා විද්‍යාර්ථීන් නැවත විශ්වවිද්‍යාලයට ගෙන්වා සෞඛ්‍යාරක්ෂිතව අධ්‍යාපනය ලබා දිය යුතුය. කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද හමුවේ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම අනිවාර්ය බැවින් පවත්නා ඉඩ පහසුකම් අනුව විද්‍යාර්ථීන්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලය එකවර ගෙන්වීම අපහසු වුවත් පවත්නා එකම විකල්පය සියලු දෙනා කොවිඩ් එන්නත්කරණය වෙත යොමු වීමය. 

කොවිඩ් -19 වෛරසය සඳහා ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලද එන්නත් කිහිපයක් ඇත. ලෝකයේ කොවිඩ් එන්නත් හිඟ වකවානුවක ශ්‍රී ලංකා රජය හා සෞඛ්‍ය අංශ මැදිහත් වී විශ්වවිද්‍යාල කටයුතු යළි පණ ගැන්වීමට කාර්යමණ්ඩල හා විද්‍යාර්ථීන් එන්නත්කරණයට යොමු කළද  ඉන් පළමු හා දෙවන මාත්‍රාවත්, තුන්වන බූස්ටර් මාත්‍රාවත් ලබා නොගත් විද්‍යාර්ථීන් තවමත් සිටි. කොවිඩ්-19 එන්නත පිළිබඳ සමාජයේ පවත්නා විවිධ දුර්මත විශ්වාස කර එන්නත්කරණයට බිය වීම නිදහස් අධ්‍යාපනයේ වරම් ලද සරසවි සිසුන්ගේ පෞරුෂයට එතරම් සුදුසු නැත.මන්ද රටේ අසීරු උසස් පෙළ විභාගයෙන් ඉහළම සමාර්ථ ලබා ගෙන සරසවියට පැමිණෙන විද්‍යාර්ථීයාගෙන් සමාජය බලාපොරොත්තු වනුයේ බුද්ධිමත් ක්‍රියාකලාපයක් බැවිනි.

එබැවින් රටක තාරුණ්‍යයේ නව ජවය විෂද කරමින් බුද්ධිමත්ව කරුණු සොයා බලා එන්නත්කරණයේ පෙරමුණ ගෙන විශ්වවිද්‍යාලයට ඉක්මණින් පැමිණ සිය අධ්‍යාපන කටයුතු පෙර සේ ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා කාර්යක්ෂම විය යුතුය. මේ වන රටේ සෑම නගරයකම එන්නත්කරණය වැඩසටහන් පවතින බැවින් විශ්වවිද්‍යාලයෙන් හෝ තමාට පහසු ස්ථානයකින් එන්නත් ගෙන පූර්ණ එන්නත්කරණය වූවකු සේ විශ්වවිද්‍යාලට පැමිණීම ඔබටත් හුදු මහත් සමාජයටත් වගකීම ඉටු කිරීමකි. එය රටේ ඊළඟ පරම්පරාවටද මහඟු ආදර්ශයකි.එබැවින් සරසවි විද්‍යාර්ථියා සමාජ දුර්මත හඹායමින් එය විශ්වාස කරන්නෙකු නොව අභියෝග මැඩ, සත්‍ය ගවේෂණය කරමින් හා එම දැනුම නිර්මාණශීලීව බෙදා හරිමින් සමාජය ඉදිරියට කැටුව යන්නෙකු විය යුතුය. 

සංස්කාරක