විශ්වවිද්‍යාලයේ විභාග කාල සීමාව යනු විද්‍යාර්ථීන් මෙන්ම අචාර්යවරු ද කාර්යබහුල කාලයකි. විශ්වවිද්‍යාලයේ එක් අධ්‍යයන වර්ෂයක් පළමු හා දෙවන ලෙස අධ්‍යයන වාර දෙකකින් සමන්විත වේ. එක් අධ්‍යයන වාරයක් අවසානයේ සති දෙකක අධ්‍යයන නිවාඩුවක් විද්‍යාර්ථීන්ට හිමි වේ. ඉන් අනතුරුව මාසයකට අධික කාලයක් විශ්වවිද්‍යාලයේ විභාග කටයුතු පැවැත්වේ. වෙනදාට අධ්‍යයන නිවාඩු සති දෙක විශ්වවිද්‍යාල පුස්තකාලය හා කියවීම් ශාලා විද්‍යාර්ථීන්ගෙන් පිරී ඉතිරී ගොස්ය. පොත් පත් අතැතිව පැවරුම් සම්පූර්ණ කරමින්, එකිනෙකා අතර සටහන් හුවමාරු කරගනිමින් හා කුප්පි දමමින් විශ්වවිද්‍යාලයේ විවිධ ස්ථානවල අධ්‍යයන කටයුතු කරන විද්‍යාර්ථීන් විභාග කාලයේ වෙනදාට වඩා මහත් උනන්දුවෙන් කටයුතු කරනු දැකිය හැක. 

කොවිඩ් වසංගතය පැමිණීමත් සමඟ විශ්වවිද්‍යාල සංස්කෘතිය බොහෝ වෙනස්කම් රැසකට ලක් වූ අතර විභාග ක්‍රමය ද මාර්ගගත ක්‍රමයට පැවැත්වීමට කටයුතු යෙදිනි. භෞතිකව විශ්වවිද්‍යාලට පැමිණ විභාගයට මුහුණ දෙනවාට වඩා මාර්ගගතව විභාගයට මුහුණ දීම විද්‍යාර්ථීන්ට පමණක් නොව ආචාර්යවරුන්ට ද අලුත් අත්දැකීමක් විය. අනෙක් අතට එය අභියෝගයකි. විශ්වවිද්‍යාල සම්පුර්ණයෙන්ම වසා තැබු කාලය තුළ නිවසේ සිට මාර්ගගත විභාග කටයුතු පැවැත්වූ අතර ඒ සඳහා විශේෂිත ක්‍රමවේද භාවිතා විණි. ආරම්භක අවස්ථාවේදී මාර්ගගත විභාග ක්‍රමයට විද්‍යාර්ථීන් අතර විවිධ මතභේද තිබුණද මෙවැනි ගෝලීය වසංගත කාලසීමාවක තැනට සුදුසු පරිදි පිළියම් යොදා ඉදිරියට යෑම නුවණට හුරුය. නැතිනම් විද්‍යාර්ථීන්ගේ කාලය නිරපරාදේ ගෙවී යනු ඇත. 

පෙර පරිදි විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නම් සෑම විද්‍යාර්ථියෙකුම කොවිඩ් -19 පූර්ණ එන්නත්කරණයට ලක් විය යුතු බවට රජයෙන් හා විශ්විද්‍යාල පරිපාලනයෙන් ගත් තීරණය ක්‍රියාත්මක වුයේ මේ අනුවය. ඒ අනුව විද්‍යාර්ථීන්ගේ හා අචාර්යවරුන්ගේ කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක වී ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කර විභාග පැවැත්වෙන සිසුන් පමණක් විශ්වවිද්‍යාලයට ගෙන්ව පෙර පරිදි විභාග පැවැත්වීම ආරම්භ වී ඇත. එය සියලු දෙනාටම සතුටු විය හැකි කරුණකි. පුස්තකාලයට ගොස් අවශ්‍ය පොත පත පරිහරණයට කිරීමට, ආචාර්යවරු මුහුණට මුහුණ මුණ ගැසී විෂය කරුණු සාකච්ඡා කිරීමට, විවිධ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට, මිතුරු මිතුරියන් හමු වීමට හා  විශ්වවිද්‍යාල  පරිශ්‍රය තුළ ගැවසීමට ඔවුනට දැන් අවස්ථාව එළඹ ඇත. කොවිඩ්-19 නව සාමාන්‍යකරණය යටතේ අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කරමින්, නිසි පරිදි එන්නත් ලබාගෙන මෙම මහඟු අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම සෑම විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙකුගේම වගකීමකි. ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුට හිමි නොවන නිදහස් අධ්‍යාපන වරප්‍රසාය උපරිමව ප්‍රයෝජනයට ගැනීමත්, ඉන් තමන්ගේ අනාගත සාර්ථකත්වයට මඟ පාදාගෙන රටට සමාජයට වැඩදායක පුරවැසියෙකු වීමට විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා සතුව විශාල වගකීමක් හා යුතුකමක් ඇත. විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා රටෙහි අනාගත ශ්‍රම සම්පතෙහි කොටසකි. එබැවින් විද්‍යාර්ථියෙකු ලෙස කොවිඩ් වසංගතයට ඔබව පරාජය කිරීමට ඉඩ නොදී සුදුසු සෞඛ්‍ය ක්‍රමවේද භාවිත කර අභියෝගවලට සාර්ථකව මුහුණ දී විභාග කටයුතුවලට කැපවි ඉහළ ප්‍රතිපල ලබා ගත යුතුය. එමෙන්ම සෑම විටම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අමතක නොකළ යුතුය. එය ඔබගේත්, විශ්වවිද්‍යාලයේත් මෙන්ම  අවසන රටෙත් ජයග්‍රහණයකි.

සංස්කාරක