විශ්වවිද්‍යාලයට පිවිසීම උසස් අධ්‍යාපනය ලැබීමට කැමති කාගේත් සිහිනයකි.අද වන විට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය ද උසස් අධ්‍යාපනය සඳහා ප්‍රවිෂ්ට වී ඇති අතර ගෝලීය වශයෙන් උසස් අධ්‍යාපන ආයතනවල පුළුල් ව්‍යාප්තියක් දැකිය හැකිය. ශ්‍රී ලංකාවේද උසස් අධ්‍යාපනය සඳහා දැඩි ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවති. විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපන ආයතනවල නැගී සිටීමක් දැකිය හැක. පෞද්ගලික ව්‍යවසාය හා රාජ්‍ය ව්‍යවසාය යන ද්විත්ව අංශයේ රැකියා සඳහා අවශ්‍ය නිපුණතා හා කුසලතා පිරිපුන් ශ්‍රම බලකායක් හෙවත් මානව සම්පත නිර්මාණය කිරීමේ වගකීම මෙකී උසස් අධ්‍යාපන ආයතනවල අවසාන ප්‍රතිපලයයි. නිපුණතා පූර්ණව සහතික පත්‍ර, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධිදාරී හා පශ්චාත් උපාධිදාරී ලෙස සුදුසුකම් සපුරන ලද මානව සම්පත් නිර්මාණය කරමින් රටේ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය පසුබිම ගොඩනැංවීම මෙමගින් සිදු වේ.

තරඟකාරී අධ්‍යාපන රටාව තුළ ශ්‍රී ලංකාවේ සියලුම උසස් පෙළ හදාරන සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමට රජය සතුව ප්‍රමාණවත් පහසුකම් නොමැත. එම නිසා පෞද්ගලික අංශයේ හෝ උසස් අධ්‍යාපනය ලැබ තම වෘත්තිය දියුණුව ඇති කරගැනීමට ශිෂ්‍යයෝ හා දෙමව්පියෝ උනන්දු වෙති. පෞද්ගලික උසස් අධ්‍යාපනය සඳහා යොමු වීම තුළ රාජ්‍ය අංශයේ උසස් අධ්‍යාපනය ලැබීමට වඩා වෙනස නම් වැඩි මුදලක් ගෙවීමට සිදු වීම, උපාධිය හදාරන අතරතුර රැකියාවක් කිරීමට හැකි වීම හා එමගින් තම වෘත්තීය අත්දැකීම් වැඩි කරගැනීමට හැකි වීමයි. රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉගෙනගන්නා විද්‍යාර්ථීන්ට පවතින විෂය නිර්දේෂ ආවරණය කිරීම තුළ අමතර රැකියාවක් සිදු කිරීමට කාලය සොයා ගැනීම අසීරුය. හුදෙක් වෘත්තීය අත්දැකීමට ලඝු කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් පිටව එන උපාධිදාරියාට වඩා පෞද්ගලික විශ්වවිද්‍යාලයේ පළපුරුද්ද සහිත උපාධිදාරියාට රැකියා වෙළඳපොළ තුළ ඉඩ හිමි වීම වර්තමානයේ දැකිය හැකි ප්‍රවණතාවයකි. මේ තත්වය රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනගන්නා උසස් පෙළ ඉතා ඉහළින් සමත් වූ විද්‍යාර්ථීන් අධෛර්‍යමත් කිරීමටත්, නිදහස් අධ්‍යාපනය අතහැර විශාල මුදලක් වියදම් කර පෞද්ගලික ආයතනවලින් ඉගෙන ගැනීමටත් හේතු වේ. මේ නිසා සමාජය තුළ ද කැම්පස් ගිහින් අවරුදු හතරක් නාස්ති කරනවට වඩා රස්සාවක් කරන් ඉගෙනගන්න ගන්න එක හොදයි යනුවෙන් මතයක් නිර්මාණය වෙමින් පවති. 

සියල්ල මුදල මත තීරණය වූ සමාජයක නොමිලේ විශ්වවිද්‍යාල උපාධිය ලබා ගැනීමට ඇති අවස්ථාව මඟ හැර රැකියාවක් කිරීම ආවස්ථික පිරිවැය පිළිබඳ ගැටලුවකි. රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න විට සියල්ල නොමිලේ ඉගෙනගත හැකි අතර විද්‍යාර්ථීන්ට අන්තර්ජාල පහසුකමේ සිට සියලු වරප්‍රසාද හිමි වේ. කාලය කළමනාකරණය කරගැනීමේ දක්ෂතාවය මත අමතර රැකියා කරන විද්‍යාර්ථීන්ද රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිටිති. රාජ්‍ය විශ්වවිද්‍යාලයක හැදෙන විද්‍යාර්ථීන්ට විදේශ ශිෂ්‍යත්ව ලබා ගෙන තම උසස් අධ්‍යාපනය ආලෝකමත් කරගැනීමට ඇති ඉඩකඩ වැඩිය. විශේෂයෙන්ම ජාත්‍යන්තර පිළිගැනීම ද ඉහළය. පශ්චාත් උපාධි සඳහා ඉල්ලුම් කරන විට රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිදාරියාට ඇති පිළිගැනීම ද වැඩිය. මේ නිසා අවශ්‍ය වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ ගත වෙන කාලය ඉගෙනීමටත්, අමතර ක්‍රියාකාරකම් සඳහාත්, අර්ධකාලීන රැකියාවක් කිරීම සඳහා හෝ කළමනාකරණය කරගැනීමයි. ඒ සඳහා රැකියා වෙළඳපොළ තුළ ද ඉඩ ප්‍රස්ථාව සකස් කරදීම සුදුසුය. විශ්වවිද්‍යාලයක ගෙවන කාලය ස්වයං නිර්මාණ කිරීමට, ස්වයං රැකියා ආරම්භ කිරීමට ද ප්‍රයෝජවත් කාලයකි.  නිදහස් අධ්‍යපනයේ වරප්‍රසාදයෙන් මහජනතාවගේ මුදලින් ඉගෙනගන්නා උපාධිදාරීන් රටට බරක් නොවී ඔවුන්ගෙන් රටට අවශ්‍ය වැඩකටයුතු කරගැනීමට ව්‍යවසායකයින් උපක්‍රමශීලී විය යුතුය. රාජ්‍ය ආයතනවලද මේ සඳහා සුදුසු ක්‍රමවේද සකස් විය යුතුය.  පෞද්ගලික හෝ රාජ්‍ය විශ්වවිද්‍යාල වේවා අවසානයේ රටට යහපත් පුරවැසියන් බිහි කිරීම ඉලක්කය වෙන බැවින් මෙරට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව රටේ උන්නතිය වෙනුවෙන් සකස් කිරීම අප සැමගේ අභිවෘද්ධියට හේතු වේ. 

 

සංස්කාරක