රටක් සතු වටිනාම සම්පත මානව සම්පතයි. රටක මානව සම්පතක හදවත ඔවුන්ගේ අධ්‍යාපනයි. අධ්‍යාපනය නිසි පරිදි සිදු වන විට රටක අනාගත දියුණුව හා අභිවෘධිය පිළිබඳ බියක් ඇති නොවේ. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ඉහළ මට්ටමක පවති. ලියවීමේ හා කියවීමේ සාක්ෂරතාවය ඇති මානව සම්පතද මෙරට ඉතා ඉහළ අගයක් ගනි. නමුත් පෙර පැවැති පාසල් අධ්‍යාපන ක්‍රමය කොවිඩ්-19 වසංගතය හමුවේ යම්තාක් දුරකට බිඳ වැටීමකට ලක් වුණි. භෞතිකව පාසලට පැමිණ ගුරුවරුන් හා ඇසුරෙහි සිට ඉගෙන ගැනීමට, විවිධ පර්යේෂණ හා ක්‍රියාකාරකම් කිරීමට කොවිඩ් වසංගතය නිසා ඉඩ ඇහිරිණි. මෙය වසර දෙකකට ආසන්න කාලයක් පැවැතීමත් ඊට විකල්පයක් ලෙස මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබා දීමට රජය කටයුතු සැලසීමත් නිසා විභාග පැවැත්වීම හා අනෙකුත් කටයුතුවල යම් පසුබෑමක් සිදුවුණි. 

මාර්ගගත ක්‍රමයට දුරස්ථව සිට අධ්‍යාපනය ලැබීමට සිදු වීම එතරම් ඵලදායී නොවීමට හේතු කිහිපයකි. ශ්‍රී ලංකාව පුරා ප්‍රමාණවත් අන්තරජාල පහසුකම් නොතීබීම, සෑම ශිෂ්‍යයෙකුට ලැප්ටොප්, ජංගම දුරකථන හෝ පරිගණක පහසුකම් නොතිබීම, තාක්ෂණික සාක්ෂරතාවය ගුරුවරුන්, සිසු සිසුවියන් හා මව්පියන් අතර ප්‍රමාණවත්ව නොතිබීම වැනි කාරණා මේ අතර විණි. නමුත් භෞතිකව පාසලට පැමිණ ඉගෙන ගැනීමට බලා සිටිනවාට වඩා මාර්ගගතව හෝ යම් පමණකට අධ්‍යාපනය ලැබීමට හැකි වීම යහපතකි. නමුත් කොවිඩ් වසංගතය නිසා පසුගාමී වූ මෙරට අධ්‍යාපනය තවදුරටත් පසු බැසීමට කාරණවාක් වර්තමානයේ මතු වී තිබේ. එය පවත්නා ආර්ථික අර්බුදයයි. අර්ථික අර්බුදයේ එක් ප්‍රවාහයක් වන ඉන්ධන අර්බුදය මෙරට අධ්‍යාපනයේ නිසි පැවැත්මට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. ගමනාගමන හා ප්‍රවාහන පද්ධතිය ඉන්ධන හිඟ වීම නිසා අඩාල වී තිබීම පෙර පාසල්, පාසල්, විශ්වවිද්‍යාල පමණක් නොව වෙනත් තෘතීක අධ්‍යාපන කටයුතුවල නිසි පැවැත්මට සෘජු අයහපත් බලපෑමක් එල්ල කර තිබේ. නියමිත වේලාවට පොදු ප්‍රවාහන කටයුතු නොතිබීම නිසා පාසල් දරුවන්ටත්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ටත් සිය ඉගෙනුම් හා පුහුණුවීම කටයුතු නිසි පරිදි ඉටු කරගැනීමට නොහැකිව ඇත. මේ තත්වය රටේ අනාගත සංවර්ධනයට කරන අයහපත් බලපෑම සුළු පටු නොවේ. 

කොවිඩ් වසංගතය හා පවත්නා අර්ථික අර්බුදය, ඉන්ධන හිඟය නිසා රටක්, ජාතියක් ලෙස අධ්‍යාපන කටයුතු මන්දගාමීව සිදු වුණත් මෙරට මානව සම්පතෙහි කාලය ඉතා වේගයෙන් ගමන් කරමින් තිබේ. වසර දහතුනක පාසල් අධ්‍යාපනයත්, වසර තුනක හෝ හතරක විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් දරුවෙකුට ලැබෙනුයේ ජීවිතයේ එක් වරක් පමණි. මේ නිසා පවත්නා අර්බුද මැද වුවත් කෙසේ හෝ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට හා අධ්‍යාපනය ලබා ගැනීමට ගුරුවරුන් හා දරුවන්ද දිරිමත් විය යුතුයි. ඒ සඳහා වන විකල්ප ක්‍රම සොයා බැලිය යුතුයි. ආර්ථික අර්බුදය නිසා විදුලිය විසන්දි වීම් තිබුණත් පොදුවේ සැමටම විදුලිය විසන්දි නොවන පාන්දර කාලයේ මාර්ගගත ක්‍රමයට පන්ති පැවැත්වීමේ හැකියාව තිබේ. සමාජ මාධ්‍ය භාවිත කර සටහන් හුවමාරු කරගැනීමට, යූ ටියුබ් හරහා ස්වං අධ්‍යාපනය ලැබීමේ ක්‍රම තිබේ. මේ සඳහා මුදල් තරමක් වියදම් වුවුද අවම මුදලක් යන පුස්තකාල පහසුකම්, විද්යුත් ඊ සටහන් භාවිත කරා අධ්‍යාපනය ලැබීමේ ක්‍රම තිබේ. මේ නිසා ගුරු දෙගුරු සැවොම අර්බුද හමුවේ කුමන හෝ විකල්ප ක්‍රමයකින් තම යුතුකම ඉටු කර රට ගොඩනැගීමට එක් විය යුතු කාලයයි මේ