යහපත් මානසික සෞඛ්‍යයක් පැවතීම සෑම පුද්ගලයෙකුගේම දියුණුවට හේතුවකි. එදිනෙදා ජීවිතයේ පවත්නා වූ නොයෙකුත් වැඩ කටයුතු අභියස මෙකී මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම අසීරු විය හැක.විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය හදාරන පාසල් ළමුන්ගේත්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේත් යහපත් නිරෝගී මනසක් පවත්වා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම කාලෝචිත මාතෘකාවක් වී තිබේ.පාස්කු ප්‍රහාරය කොවිඩ් වසංගතය හා මේ වන විට ශ්‍රී ලංකාවේ උද්ගත වී තිබෙන ආර්ථික අර්බුදය නිසා ඉගෙන ගන්නා විද්‍යාර්ථීන් ද සාමාන්‍ය පුරවැසියා ද යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට දැඩි අරගලයක යෙදෙමින් සිටී. 

රටක අධ්‍යාපනය යනු එරට ප්‍රධාන කොඳුනාරටිය යි. අධ්‍යාපනය හදාරන සියලු විද්‍යාර්ථීන් විද්‍යාර්ථීන් සුවදායක මානසික සෞඛ්‍යයක ට හිමිකම් නොකීම එරට වර්තමානයත් අනාගතයත් අඩපන වීමට හේතුවකි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ගත් කළ මානසික ආතතිය, කාංසාව හා විශාදය වැනි මානසික රෝග විශ්වවිද්‍යාල සිසුන් අතර පවතින බව පර්යේෂණ මඟින් අනාවරණය කරගෙන ඇත. මෙවැනි මානසික නිරෝගී බවට හානිකර රෝග තත්ත්ව නිර්මාණය වීමට විවිධ හේතු බලපා තිබේ. ආර්ථික ප්‍රශ්න, ප්‍රේම සබඳතා බිඳවැටීම්, මිත්‍ර සම්බන්ධතා ගැටලු, දෙමාපිය සහෝදර ගැටලු, විභාග සඳහා කලට වේලාවට සූදානම් නොවීම, අමතර රැකියාව හා අධ්‍යාපන කටයුතු සමබරව පවත්වාගෙන යාමට නොහැකි වීම, අභියෝගවලට හා විවිධ සමාජ වෙනස්වීම් වලට මුහුණ දීමට නොහැකි වීම යන ආදිය මීට නිදසුන් සේ ගත හැකිය. කුමන ගැටලු අර්බුද ජීවිතයට පැමිණියත් සෑම ශිෂ්‍යයෙකුම, විද්‍යාර්ථියෙකුම මේ සඳහා මුහුණදීමට අවශ්‍ය පෞරුෂය නිර්මාණය කිරීම ගුරු දෙගුරු සැමගේ කාර්යයයි. 

දරුවන් රටේ අනාගතයයි. දරුවන් ඉගෙන ගෙන සමාජයට සමාජගත වීමේදී විවිධ හැලහැප්පීම් වලට මුහුණ දීමට සිදු වීම ස්වභාවිකය. නමුත් එවැනි හැලහැප්පීම් මැද ජීවිතයෙන් පලා යන්නට නොව කුමන බාධක පැමිණියත්, ඒ සෑම ශක්තිමත්ව දරාගැන ගැනීමට විද්‍යාර්ථීන් තම මනස ශක්තිමත් කර ගත යුතුය. මේ සඳහා විද්‍යාර්ථීන් පුහුණු කරවීම ගුරු දෙගුරු කාර්යභාරය වුවද, විද්‍යාර්ථීන්ට ද එහිලා ගත හැකි ගතහැකි ක්‍රියාමාර්ග තිබේ. නොයෙක් බාධක මැද ජීවිතය දිනූ පුද්ගලයන්ගේ අත්දැකීම්, චරිතාප්‍රදාන, ඒ පිළිබඳව ඇති පොත පත හා අන්තර්ජාල මූලාශ්‍ර කියවීම හා භාවිතය, විශ්වසනීය පුද්ගලයෙකු සමග තම ගැටලු බෙදාගැනීම, සෞන්දර්ය හා කලා කටයුතු වල නියැලීම, අවශ්‍ය වූ විට නොපමාව උපදේශන සේවය ලබාගැනීම, කුමන බාධක පැමිණියත් අටලෝ දහමට කම්පා නොවී සිටීමට තම මනස පුරුදු කරලීම යන ආදිය ඒ අතර වේ. පවත්නා සමාජ ආර්ථික වපසරිය තුළ සුවදායක නිරෝගී මනසක් ඇති කර කර ගැනීමට කෙනකුට අපහසු යැයි හැඟුණ ද එම අවස්ථාවද කළමනාකරණය කර ගැනීමේ ක්‍රම ඇති බැවින් කිසිවිටෙක උත්සාහය අත් නොහැරිය යුතුය. ඔබගේ අගනා මිනිස් ජීවිතය සුවදායක මානසික සෞඛ්‍යයකින් පොහොසත් කරගැනීමට ඔබ ඔබටම වගකිව යුතුය. එය හැදෙන වැඩෙන ඉගෙන ගන්නා විද්‍යාර්ථියෙකුගේ නොසැලෙන ශක්තිය බවට පත්කර ගත යුතුය. ඉන් විද්‍යාර්ථීන්ට පමණක් නොව රටට ද සුවදායක යහපත් මානසික සෞඛ්‍යයක් නිර්මාණය කරගත හැක.

 

සංස්කාරක