කැලණිය විශ්විද්‍යාලයට නවක විද්‍යාර්ථීන් පැමිණෙන වසන්තය උදා වී ඇත.පසුගිය සති කිහිපයක් පුරා උසස් පෙළ ඉහළ සාමාර්ථ ලද විද්‍යාර්ථීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ විශ්වවිද්‍යාලයට පිළිගැණිනි. වෙනදා නවක විද්‍යාර්ථීන් පැමිණීම යනු, සරසවි උප භාෂාවෙන් නම් අලුත් නැවක් පැමිණීම තොරණ් බැඳ, එන මඟ සරසා ජ්‍යෙෂ්ඨ විද්‍යාර්ථීන් විසින් මහත් ඉහළින් පිළිගනු ලබන මංගල්‍යයකි. ඒ දවස්වල විශ්වවිද්‍යාලයම කඩිගුලක් මෙන්ය. බැලූ බැලූ අත විද්‍යාර්ථීහු නොයෙකුත් ක්‍රියාකාරකම්වල යෙදී සිටිති. එහෙත් කොරෝනා වෛරසය හා පැමිණි අලුත් සංස්කෘතිය තුළ වර්තමානයේ සියල්ල වෙනස් වී ඇත. දැනට වසර කිහිපයක් තිස්සේ නවක විද්‍යාර්ථීන් පිළිගැණුනේ මාර්ගගත ක්‍රමයට ය. ඉන් විද්‍යාර්ථීන්ට  සුන්දර මතකයන් මෙම ඉගැනුම් ඉගැන්වීම් අත්දැකීම් සම්භාරයක් ද අහිමිව ගියේ ය. විශ්වවිද්‍යාලයට ඉගෙනීමට පැමිණෙන මෙරට සතර දිශාවම නියෝජනය කරන ශිෂ්‍යයින්ට මෙය කොතරම් අවාසනාවන්ත ඉරණමක් ද යන්න වචනයෙන් කියා නිම කළ නොහැකිය. නමුත් නුදුරු දිනකදීම නැවතත් විශ්විද්‍යාලයට පා තබා ඉගෙනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇත.

නවක විද්‍යාර්ථීන් විශ්වවිද්‍යාලයට හරසරින් පිළිගත් පසු ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව නම් තමන් සරසවිය තුළ ඉගෙන ගන්නා විෂයන් නිවැරදිව තොරාගන්නේ කොහොමද යන්නයි. අප ඉගෙනගන්නා සමයේ බොහෝ ආචාර්යවරු, ජ්‍යෙෂ්ඨ විද්‍යාර්ථීන් මුණගැසී නොයෙකුත් උපදෙස් ලබා ගෙන සුදුසුම විෂයන් තොරාගැනීමට අවස්ථාව ලැබිණි. නමුත් දැන් විද්‍යාර්ථීන්ට එම අවස්ථාව මඟ හැරී ඇත. එසේවුවත් විශ්වවිද්‍යාලය ඊට මාර්ගගත ක්‍රමය ඔස්සේ කිසියම් වැඩපිළෛවෙළක් යොදා තිබුණද එය පෙර මෙන් සාර්ථක නොවන බව අප කවුරුත් දනිමු. තමා තොරාගන්නා විෂයන් මත අවුරුදු හතරක හෝ තුනක සරසවි ජීවිතය පදනම් වන බව විද්‍යාර්ථීනි, ඔබ සිහි තමා ගත යුතුය. එමපණක් නොව ඒ මත ඔබේ අනාගත සිහිනය, රැකියාව ද තීරණය වනු ඇත. එම නිසා හොඳින් අසා බලා තමාගේ සිතට එකඟව, තමන්ට මහන්සි වී උනන්දුවෙන් කළ හැකි යැයි සිතෙන විෂයන් තොරාගන්න උත්සහ කරන්න. මෙතනදි මතක තබා ගත යුතු කරුණ නම් උසස් පෙළ හදාරන ලද විෂයන් විශ්වවිද්‍යාලයේ විෂයක් තෝරාගැනීමේදී සලකා නොලැබීමයි. ඔබට කැමති විෂයක් තෝරාගෙන ඉගෙනීමට අවස්ථාව තිබෙන අතර කවදාවත් ඉගෙන නොගත් විෂයන් ද ඉගෙන ගත හැක. මොන විෂය තොරාගත්තත් ඉන් ඉදිරියට යා හැක්කේ ඔබගේ උනනදුව හා කැපවීමේ ප්‍රමාණය මතය. ඔබට විවිධ විෂයන් හා එහි අනාගත රැකියා අවස්ථා පිපිළිබඳව අන්තර්ජාලයෙන් වුවද සොයා බලා අවබෝධ කරගත හැක. එම නිසා ඔබේ අනාගත සිහිනයට අවැසි විෂයන් තොරාගැනීම ඔබේ සාර්ථකත්වයට ඉක්මණ් මඟ පාදනු ඇත.

මෙතනදී ඔබට විශේෂයෙන් කිව යුතු කාරණා කිහිපයක් ඇත. ඔබ පාසල් සමයේ කුමන භාෂාවකින් ඉගෙනගත්තද විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීම අනිර්වාරය බව සිහි තබා ගන්න. එපමණක් නොව මව් භාෂාවට හා ඉංග්‍රීසි භාෂාවට අමතරව තවත් අමතර භාෂාවක් ඉගෙනීමටද අමතක නොකරන්න. ඔබේ සරසවි ජිවිතය බොහෝ දිගු යැයි ඔබට සිතුණද එය ඉතා ඉක්මණින් ගෙවී යනු ඇත. එම නිසා බාහිර ක්‍රියාකාරම්වලටද, ප්‍රධාන විෂයන්වලටද, අමතර භාෂාවක් ඉගෙනීමටද තරයේ සිහි තබාගන්න. විශ්වවිද්‍යාල ජිවිතයේ ජය පරාජයන් නොයෙක් ලෙසින් ඔබ හමුවට පැමිණිය ද ඒ හැම දෙයක්ම ඔබේ ඉදිරි ගමනට ආශිර්වාදයක් කරගන්න. ඔබ කුමන විෂයක් තොරාගත්ත ද එහි ඉහළ ප්‍රගතිය ඔබ තුළින් පමණක් ලබා ගත හැකි බව ද මතක තබා ගන්න. එමනිසා තෝරාගැනීම නිවැරදිව සිදු කිරීමට පසුබට නොවන්න. 

සංස්කාරක