පෝෂණය යන වචනය කුඩා කල සිටම අපට අසා හුරු පුරුදුය. දරුවෙක් මෙලොවට බිහි වුණ දා සිට නිසි පෝෂණය සහිතව උස් මහත් කිරීම පිළිබඳ සමාජ අවධානය යොමු වේ. නමුත් මෙම සමාජ අවධානය ළමයා උස් මහත් වී අධ්‍යාපනය හමාර කරන තුරු පවතීද යන්න ගැටලු සහගතය. ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනය හා පාසල් අධ්‍යාපනය ගත්තද දරුවන්ගේ පෝෂණය නිසි පරිදි නොමැතිකම හෙවත් මන්ද පෝෂණය වැඩි වන බව සෞඛ්‍ය වාර්තාවලින් හෙළි වේ. සරසවි විද්‍යාර්ථීන් ගත්තද මෙහි සැලකිය යුතු වෙනසක් නොමැත. දිනෙන් දින උග්‍ර වන සමාජ ආර්ථික ගැටලු අභියස සරසවි අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන් තුළද මන්ද පෝෂණය වර්ධනය වීමක් දැකිය හැකිය. 

 

විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් තුළ පෝෂණ ඌණතා ඇති වීමට බලපාන කාරණා කිහිපයකි. නිසි ප්‍රමිතියෙන් තොර ආහාර පැවැතීම, නිසි වෙලාවට ආහාර නොගැනීම හා සමාජ ආර්ථික පසුබිම මීට නිදසුන්ය. සරසවි විද්‍යාර්ථීන්ට ආර්ථිකමය ගැටලු හා නිසි ගුණාත්මකබවින් තොර ආහාර තිබීම යන කාරණ පෝෂණ ඌණතා සඳහා දැඩිව බලපානු ලැබේ. සාමාන්‍යයෙන් වෙළඳපළේ පවත්නා මිල ගණන්වලට සාපේක්ෂව අඩු මුදලකට විශ්වවිද්‍යාල අභ්‍යන්තර ආපනශාලාවලින් ආහාර මිල දී ගත හැකිය. නමුත් මෙම මුදලට සරිලන සේ ආහාරවල ගුණාත්මකභාවය ඉහළ ද යන්න නැවත නැවත පරීක්ෂා කළ යුතු තත්වයකි. 

විශ්වවිද්‍යාල විද්‍යාර්ථින් කායිකව මෙන්ම මානසිකව ශක්තිමත් කිරීමට නිසි පෝෂණය සහිත ආහාර ඉතා වැදගත් වේ. පාඩම් කිරීමටද, ක්‍රිඩා කිරීමටද, මතක ශක්තිය වර්ධනය කරගැනීමටද, අමතර රැකියාවක් කර අත්දැකීම් ලැබීමට යනාදී එදිනෙදා සියලු කාර්යකටම මෙය බලපායි. කොවිඩ්-19 නිසා පසුගිය වසර දෙකක පමණ කාලය විද්‍යාර්ථීන් නිවසේ සිට මාර්ගගතව අධ්‍යාපනය ලැබීමද, පවතින අධික උද්ධමය නිසා ගෘහස්ථ ආර්ථිකයද දැඩි අර්බුදයකට මුහුණ දී තිබීම ද විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ අධ්‍යාපනයටත්, නිසි පෝෂ්ණයටත් වක්‍රාකාව දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. 

 

එපමණක් නොව විද්‍යාර්ථීන් අධික ආතතිය හා මහන්සිය නිසා ද නියමිත වේලාවට ආහාර නොගැනීම නිසාද විවිධ කායික හා මානසික රෝගවලට ලක් වේ. එබැවින් නිසි පෝෂණ සහිත ජීවන රටාවක් විද්‍යාර්ථින් තුළ නිර්මාණය කිරීම වැදගත් වේ. තම පෝෂණ අවශ්‍යතා සපුරාගැනීම සදාහා නිසි වෙලාවට ආහාරගැනීම, පිරිසිදුවට ආහාර සකස් කරගැනීම, අරපිරිමැස්මෙන් ආර්ථිකය කළමනාකරණය කරගැනීම ද විද්‍යාර්ථියෙකුට මේ වෙනුවෙන් කළ හැකි කැපකිරීම් වේ. නිසි ප්‍රමිතියෙන් යුතු ආහාර වේල් සාධාරණ මුදලකට මිලදී ගත හැකි පරිදි ආපනශාලා හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමද මෙහිලා වැදගත් වේ. මේ වෙනුවෙන් ගත් එක් සාධණීය පියවරක් ලෙස පසුගිය දා  කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් විවෘත වී ආචාර්ය මණ්ඩලය විසින් පාලනය වන ආපාන ශාලාව දැක්විය හැක. එක් එක් ව්‍යාංජනයද සතියේ මිලගණන්වලට සමානුපාතිකව මිල ගණනය කර, නිසි පෝෂණ ගුණයෙන් යුතුව, එක් ප්‍රධාන අහාර පිසින ප්‍රධානියෙකුගේ මාර්ගෝපදේශ අනුව, ඉතා පිරිසිදුවට ක්‍රියාත්මක වන මෙම ආපනශාලාව මෙරට විශ්වවිද්‍යාල ප්‍රජාවට පමණක් නොව සමස්ත සමාජයටම ආදර්ශයකි. මෙහි විශේෂත්වය නම් විද්‍යාර්ථියාගේ අතැති මුදලට කැමති ව්‍යාංජනයක් තොරා ගැනීමට හැකි වීමයි. ඉන් ආහාර අපතේ යාමද වැළකේ. මෙලෙස සරසවි අධ්‍යාපනය පෝෂණයෙන් පෝෂණය ලැබීමට අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම මෙරටට අවශ්‍ය කායික මානසික ශක්තියෙන් හෙබි උගත් පුරවැසියෙකු බිහිකිරීමට සාර්ථකව දායක වනු ඇත. 

 

සංස්කාරක