වසර දෙකකට අධික කාලයක් කොවිඩ්-19 වසංගතය නිසා වසා තැබු මෙරට සියලු විශ්වවිද්‍යාල යළි ආරම්භ විය. සියලු විද්‍යාර්ථීන් දවස් ගණන් ඇඟිලි ගනිමින් බලාසිටී සරසවි යළි ඇරඹුම ආචාර්යවරුන්ගේද, දෙමව්පියන්ගේද සිතට සහනයක් ගෙන දෙන්නේ මාස ගණනාවක් මාර්ගගත අධ්‍යාපනයෙන් ලද තෙහෙට්ටුව ද නිසාය. පැවැති වසංග තත්වය හමුවේ මාර්ගගත අධ්‍යාපනය විකල්පයක් ලෙස භාවිත වුවත් එය සමාජය බලාපොරොත්තු වන කුසලතා පූර්ණ විද්‍යාර්ථියෙකු නිර්මාණය කිරීමෙහි අරමුණට සියයට සීයයක් සාර්ථක නොවේ. විශ්වවිද්‍යාලට පැමිණ, නව මිත්‍ර, සහෝදර සම්බන්ධතා නිර්මාණය කරමින්, පොත පත හා ආචාර්යවරු නිරන්තර අසුරු කරමින් ලබන ශික්ෂණය මාර්ගගතව ලබා ගැනීම ඉතා උගහටය. රටේ පවත්නා ආර්ථික අර්බුදය අබියස අධ්‍යාපනයේ උන්නතිය සඳහා අනාගත ශ්‍රම බලකාය නිර්මාණය කිරීමට නම් විශ්වවිද්‍යාලයට විද්‍යාර්ථීන් පැමිණිය යුතුමය. දැන් නැවතත් පෙර පැවැති වසන්තය උදා වී තිබේ.

පෙර මෙන් නටන්නට, ගයන්නට, වයන්නට, දුවන්නට, පනින්නට හා සෙල්ලකාර යෞවන සිතුවිලි සමඟ ආදරයෙන් බැඳෙන්නට නැවතත් කාලය පැමිණ ඇත. නොයෙක් සැණකෙළි, උත්සව, සම්මාන ප්‍රදානයන් ඔස්සේ විද්‍යාර්ථීන්ගේ දැනුම පමණක් නොව කුසලතා, නිපුණතා වර්ධනය කිරීම අවස්ථාව උදා වී තිබේ. ක්‍රිඩා පිට්ටනිවල තිබූ පාළු මූසල බව, දේශනශාලාවල තිබූ හුදෙකලාව බිඳිමින් කෙළි දෙළෙන් සරසවියේ මතකයන් අලුත් කරන්නට යළි කාලය එළඹ ඇත. 

නමුත් සිව්වසරක් අධ්‍යාපනය ලැබීමට සරසවියට පැමිණි උගත් ඔබ මතක තබා ගත යුතු කරුණ නම් කොවිඩ්-19 වසංගතය තවමත් අප අතරින් තුරන් නොවී ඇති බවයි. නැවතත් පෙර මෙන් සතුටින් සරසවියේ ඇවිද යමින් අකුරු උගනින්නට අවස්ථාව ලැබුණද ඔබ දේශනශාලාවල, නේවාසිකාගාරවල, ආපනශාලාවල පිරිස සමඟ කටයුතු කරන විට කොවිඩ්-19 ආරක්ෂණ නිතී රිතී ගැන අවධානයෙන් පිළිපැඳිය යුතුමය. ඔබේ ජිවිත ආරක්ෂාවට නිවැරදි ලෙස කොවිඩ්-19 එන්නත් ලබා ගත යුතුය. සැම විටම ඔබගේත්, ඔබේ පවුලේත්, ඔබ අවට සිටින සමාජයේත් ආරක්ෂාව වෙනුවෙන් වගකීමෙන් කටයුතු කළ යුතුය. එසේ වු විට යළි උදා වු සරසවි වසන්තය සැබෑ වසන්තයක් මෙන් ඔබට ආශිර්වාද කරනු ඇත. 

 

සංස්කාරක