Image

කොවිඩ්-19 වසංගතයෙන් පසු සියලුම විශ්වවිද්‍යාල පසුගිය සතියේ ආරම්භ වීමත් සමඟ සරසවියේ වසර හතරටම අදාළ විද්‍යාර්ථීන් විශ්වවිද්‍යාලට පැමිණියේය. ඒ අතර අලුත් නැවක් ද විශ්වවිද්‍යාලයට ඇවිදින්ය. විශ්වවිද්‍යාල උප භාෂාවෙන් අලුත් නැවක් යනු පළමුවසරට පැමිණෙන නවක විද්‍යාර්ථීන්ය. මාර්ගගත අධ්‍යාපනය හරහා නිවසේ සිට අධ්‍යාපනය කළ සියලුම විද්‍යාර්ථීන්ට භෞතිකව අධ්‍යාපනය ලැබීමට, ක්‍රීඩා කිරීමට, විවිධ උත්සව හා සැණකෙලි කිරීමට දැන් අවස්ථාව  උදා වී තිබේ. විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උපාධිය ලබන විද්‍යාර්ථීයෙකුට වසර තුනක කාලයකුත්, ගෞරව උපාධි අපේක්ෂකයෙකුට වසර හතරක කාලයකුත් හිමිවේ. වෛද්‍ය උපාධිය හා නීති උපාධිය හදාරන විද්‍යාර්ථියෙකුට මීට වඩා කාලයක් විශ්වවිද්‍යාල උපාධිය වෙනුවෙන් වැය කිරීමට සිදු වේ. මේ කුමන විද්‍යාර්ථියෙකුට වූවත් පොදු වන විශ්වවිද්‍යාලයේ වටිනාම සම්පත හා මහා පොදු සාධකය නම් කාලයයි.

ඕනම පුද්ගලයෙකුට කාලය වැදගත්ය. නමුත් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න විද්‍යාර්ථියෙකුට කාලය ප්‍රයෝජනවත්ව ගත කිරීම පිළිබඳ දෙවරක් සිතිය යුතුය. මන්ද ඔවුන් විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාදයෙන්ය. අතිශය තරඟකාරී උසස් පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ථ ලබා ගෙන විශ්ව විද්‍යාලයට පැමිණෙන විද්‍යාර්ථියෙකුට මෙරට අනාගතයට වැඩදායී පුරවැසියෙක් වී සේවය කිරීමේ වගකීම පවතී. එබැවින් සීමිත පිරිසකට පමණක් හිමිවෙන විශ්වවිද්‍යාල වරප්‍රසාදය  වසර තුනක හෝ හතරක සීමිත කාලසීමාව තුළ උපරිමව උපයෝජනය කිරීම කළ යුතුය. කාලය උපයෝජනය කිරීම යන්නෙන් අදහස් වන්නේ විශ්වවිද්‍යාලයෙන් වසර අවසානයේ ලැබෙන උපාධිය කෙසේ හෝ ලබා ගැනීම පමණක් නොවේ. ඊට එහා ගිය විවිධ කුසලතා හා නිපුණතා වර්ධනය කරගැනීමට, ක්‍රීඩා ජයග්‍රහණ ඔස්සේ අත්දැකීම් ලබා ගැනීමට, පොත පත කියවීමට පමණක් නොව පොත පත ලිවීමටද, විවිධ අංශයන්ගෙන් පවත්නා තරඟවලට සහභාගී වී ජයග්‍රහණ ලැබීමට යනාදී නොයෙකුත් දේ හරහා තම සරසවි ජීවිතය ආලෝකමත් කරගැනීමය. පාසල් කාලය මෙන් නොව විශ්වවිද්‍යාලයේ  ඕනම ක්‍රීඩාවක්, භාෂාවක් ඉගෙනීමට තමන්ට කැමැත්ත හා හැකියාව ඇත්නම් ඊට අවස්ථාව තිබේ. මෙහිදී වැදගත් වන්නේ ප්‍රධාන අධ්‍යාපන කටයුතු අතරතුර අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් සඳහා කාලය බෙදා වෙන් කරගැනීමයි. විශ්වවිද්‍යාල නේවාසිකපහසුකම් ද ඇති නිසා රාත්‍රී කාලයේ වුවද බාහිර ක්‍රියාකාරකම් සඳහා උපයෝජනය කළ හැකිය. සරසවියේ විවිධ ඒකක හා අංශ මගින් විද්‍යාර්ථීන්ට නොයෙක් පහසුකම් සලසා තිබුණද ඒ සෑම දෙයක් ම නොව තමන්ට සුදුසු, තමන්ගේ අනාගත බලාපොරොත්තුවට සරිලන හා ඊට රුකුලක් වන දේ තෝරාගැනීමද වඩා සුදුසුය. මේ සඳහා උපදෙස් ආදාළ ආචාර්යවරුන්ගෙන් ද, ඉහළ සහෝදරත්වයෙන් ද දැන ගත හැකිය. 

Image

කාලය රන් මිණි මුතුවලටත් වඩා වටිනා බැවින්, ඉගෙනගන්නා කාලයේ අමතර ආදායමක් උපයා ගැනීමටද කාලය වෙන් කරගත හැකි නම් විද්‍යාර්ථීන්ගේ විවිධ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත්ය. තවමත් ඉගෙනගන්න බැවින් සුළු ආදායමක් හෝ ලැබෙන රැකියාවක් කිරීමේන් මුදල් අවශ්‍යතා පිරිමසා ගත හැකිය. වසර හතරක් යනු දීර්ඝ කාලයක් සේ පෙනුනද එය ඉක්මණින් ගත වෙනු ඇත. අද නවක විද්‍යාර්ථියෙකුට ව සිටින ඔබට සිවවසරක් තුළ විශ්වවිද්‍යාලයෙක් ලබා ගත හැකි ප්‍රයෝජන බොහෝය. සරසවියෙන් විවිධ විදේශීය භාෂවන් ඉගෙන ගෙන, නොමිලේම විදේශීය අධ්‍යාපනය ලැබීමට ගිය ජේෂ්ඨ විද්‍යාර්ථීන් ඊට නිදසුන් ය. සැබැවින්ම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය උදෙසා සරසවියකට පැමිණීම යනු ම දුෂ්කර කාර්යයකි,පැමිණී පසුත් ඉන් උසස් ප්‍රතිපල ලබා ගැනීම යනු ද අතිශය දුෂ්කර කාර්යයකි. මෙය සෑම විද්‍යාර්ථියෙකුටම ළඟා කර ගත හැකිය. ඊට අවශ්‍ය වන්නේ උත්සහය, කැපවීම හා කාල කළමනාකරණයයි. ගිය කාලය ඇතුන් ලවාවත් ආපසු ඇද්දවිය නොහැක. එබැවින් විද්‍යාර්ථියනි, නොපමාව සරසවි අධ්‍යාපනයේ උපරිම ප්‍රයෝජන ලබා ගන්න.  

සංස්කාරක