කේට් චොපින්ගේ The Story of an Hour කෙටිකතාවේ සිංහල පරිවර්තනයකි.

මැලර්ඩ් මහත්මිය හෘද රෝග තත්ත්වයකින් පෙළුණු හෙයින් ඇගේ සැමියාගේ මරණය පිළිබඳ පුවත සැල කිරීමේ දී ඉතා ප්‍රවේශම්කාරි විය.

බිඳුණු වාක්‍ය එකට ගොත ගසමින්, ඉඟි සැඟවීමට දරන ලද ඇතැම් අසාර්ථක ප්‍රයත්න ද සමඟ එය ප්‍රකාශ කරන ලද්දේ ඇයගේ සහෝදරිය වන ජොසෆින් විසින් ය. ඇගේ සැමියාගේ මිතුරකු වූ රිචර්ඩ් ද ඈ අසල විය. දුම්රිය අනතුර පිළිබඳ ව තතු සැල වන අවස්ථාවේ දී පුවත්පත් කන්තෝරුවේ සිටියේ ඔහු ය. සිදු වූ විනාශයෙන් ජීවිත අහිමිවූවන්ගේ ලැයිස්තුවේ මුලින් ම තිබුණේ බ්‍රෙන්ට්ලි මැලර්ඩ්ගේ නම ය. දෙවන ටෙලිග්‍රෑමයකින් පුවතෙහි සත්‍යතාව තහවුරු කරගැනීමට පමණක් ඔහු කාලය වැයකර මේ දුක්ඛදායක පණිවුඩය අපරික්ෂාකාරී වෙනත් තැනැත්තකුට ළඟාවීමට පෙර ඉක්මන් කළේ ය.

අනෙක් කාන්තාවන් මෙන් එහි බරපතලකම අදහාගත නොහැකි ස්වාභාවයකින් ඇය එයට සවන් දුන්නේ නැත. දරා නොසිට සහෝදරියගේ දෑත් මතට කඩා වැද  ඈ එක්වර ම විලාප දෙන්නට වූවා ය. කුණාටු දුක් සුසුම් අවසන් වූ කල ඇය තනිව ම තම කාමරයට ගියා ය. කිසිවෙක් ඈ පසුපස පැමිණයේ නැත.

කාමරයේ විවෘත කර තිබෙන ජනේලයට මුහුණලා සැපපහසු, ඉඩකඩ සහිත හාන්සි පුටුවක් විය. ශරීරය පුරා දුව ගොස් ඇය ව අඩපණ කළ අධික තෙහෙට්ටුව ඇගේ ආත්මයට ද රිංගා නිරායාසයෙන් ම ඈ ව එහි වාඩි කරවූවා ය.

නිවස ඉදිරිපිට තිබෙන විවෘත චතුරස්‍රයෙහි ගස් මුදුන් නව වසන්ත දිවියට හැඩ වන අයුරු ඈට පෙනිණ. වර්ෂාවෙන් හමා ගිය නැවුම් සුවඳ වාතලයට මුසු වී තිබිණ. පහළ මාවතේ ගෙන් ගෙට ගොස් බඩු වෙළඳාම් කරන්නෙක් කෑ ගසමින් යන ආකාරය දක්නට ලැබිණ. ඈත සිටින අයෙකු විසින් ගායනා කරන ලද ගීත නාදය යන්තමින් ඇගේ කන වැකුණි. පියැසි කොනේ වසා සිටි ගේ කුරුල්ලෝ කිචි බිචි නාද තැබූ හ.

ඈ මුහුණලා සිටි ජනේලයේ බටහිර පෙදෙසෙහි එකිනෙකට යා වී තැනිත් තැන පොදි බැඳුණ වළාකුළු අතරින් පතර ආකාසයේ නිල් පැහැ හිඩැස් දක්නට ලැබිණ.

ඇය පුටුවේ පිටුපසට හාන්සි වී හිස හේත්තු කර සිටි අතර අඬා වැළපී නින්දට වැටුණ බිළිඳකු සිහින දැක නඟන ඉකිබිඳුම් වැනි ඇගේ උගුරෙහි හිරවන ඉකිබිඳුමකින් කරන තිගැස්මක් හැරුණ විට ඈ වෙතින් කිසි දු හැලහොල්මනක් දක්නට නොවී ය.

තාරුණ්‍යයේ පසු වූ ඇය‌‌ගේ පැහැපත් සහ සන්සුන්බවකින් පිරි වතෙහි වූ රේඛාවන්ගෙන් පීඩාකාරීබවක් සහ යම් නිශ්චිත ධෛර්යවන්තබවක් ද විද්‍යාමාන විය. එනමුත් දැන් ඈගේ දෑස්වල තිබුණේ උදාසීන බැල්මකි. ඒවා ඈත ආකාසයේ වළාකුළු අතරින් පෙනෙන එක් නිල් පැහැ ඉඩක් වෙත යොමු වී තිබිණ. එය හුදු කල්පනාකාරී බැල්මක් නොව යම් බුද්ධිමත් සිතුවිල්ලක නැවතීමක් පිළිබිඹු කළේ ය.

යමක් ඇය වෙත පැමිණෙමින් තිබුණ අතර ඇය ද ඒ වෙනුවෙන් භීතියෙන් බලා සිටියා ය. ඒ කුමක් ද? ඇය නොදන්නී ය. පැහැදිලි කර නම් කිරීමට නොහැකි තරම් එය අද්භූත ය. තේරුම් ගත නොහැකි ය. නමුත් ඇයට එය හොඳින් ම දැනේ. වාතලයේ මුසු වුණ ශබ්ද, සුවඳවල්, වර්ණ දිගේ පැටලී ආකාසයෙන්  පැන ඇය වෙත එය පැමිණෙමින් තිබිණ.

ඇගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. තමා අයිති කරගැනීමට පැමිණෙන්නේ කුමක්දැයි ඈ කෙමෙන් කෙමෙන් හඳුනාගත් අතර එයට විරුද්ධ ව සටන් වැදුණු ඇගේ ඉච්ඡාව දුර්වල ව ගිය ඈගේ සිහින් සුදුපැහැ දෑත් මෙන් දුර්වල ව පරාජය විය. පොර බැදීම අතැර දැමූ කල මදක් විවෘත වූ ඇගේ දෙතොල් අතරින් යම් වචනයක් පිටවිය. ඇගේ හුස්ම අතරින් එය නැවත නැවත ඇය පවසන්නට විය: “නිදහස, නිදහස, නිදහස!” එය පසුපස හඹා ආ හිස් බැල්ම සහ භීතිය ඇගේ දෑස්වලින් ඉවත් ව ගියේ ය. දෑස්වල ඇත්තේ උද්‍යෝගිමත්බවක් සහ දීප්තිමත්බවක් වය. ඇගේ නාඩි වැටීම වේගවත් වූ අතර වේගයෙන් සිරුර පුරා දිව ගිය රුධිරයෙන් ඇගේ මුළු සිරුර ම උණුසුම් වී සැහැල්ලුබවක් ඇති කළේ ය.

ඇය දරාගෙන සිටියේ කෲර සතුටක් ද නැද්ද යන පිළිබඳ ව ඈ තැවුණේ නැත. ඉතා නිරවුල් සහ ප්‍රත්‍යක්ෂ හැඟීමක් එ් පිළිබඳ ව ලතැවීමේ පළක් නොවන බව ඈට පසක් කර දුන්නේ ය. එක්කොට තිබෙන කරුණාවන්ත, මෘදු ‌දෙඅත් මෙන් ම  ඈ වෙත ආදරයෙන් ම පමණක් බැලූ නිශ්චල ව අඳුරු ව ගොස් තිබෙන එම නිසල මුහුණ දුටුවහොත් නැවත විලාප තබන බව ඇය දැන සිටියා ය.  එනමුත් එම අමිහිරි මොහොතට එහා සම්පූර්ණයෙන් ම ඈට පමණක් අයිති වසර ගණනාවක් ඈ වෙනුවෙන් බලා හිඳින බව ඈට වැටහිණ. ඒවා පිළිගැනීමට ඈ දෑත් හැර ඉදිරියට දිගු කළා ය.

එම කාලයේ දී කිසිවෙකුත් වෙනුවෙන් ජීවත් වියයුතු නැත; ඇය ජීවත් වන්නේ හුදෙක් ඈ උදෙසා ම පමණි. ගැහැනු සහ පිරිමි, තම පෞද්ගලික අභිමතාර්ථයන්ගෙන් අනෙකාට බලපෑම් කිරීමට අයිතියක් ඇතැයි යන අන්ධ අදහසක එල්බ සිටි තත්ත්වයක ඇගේ අභිමතයට බලපෑම් කළ හැකි වෙනත් බලවත් අභිමතයක් එහි නොමැත. සිතෙහි සුළු වේලාවකට දැල් වූ ආලෝකය පිළිබඳ ව කල්පනා කිරීමේ දී  කරුණාවන්ත හෝ කුරිරු කුමන සිතුවිල්ලක් පෙරදැරි වුව ද එය අපරාධයක් ම බව ඇයට හැඟුණි.    

 ඈ ඔහුට ආදරය කළා ය. එහෙත් ඒ නිතරම නම් නොවේ. ඉන් දැන් කුමන පලක් ද! ඇගේ වර්ගයාගේ ශක්තිමත් ම ආවේගය ස්වකීය වටිනාකම හඳුනාගැනීම යැයි ඇයට ක්ෂණික ව පසක් වූ අවස්ථාවේ විසඳා නොගත් අභිරසක් වන ආදරයට කළ හැක්කේ කුමක්ද!

“නිදහස! මගේ ඇඟටත් ආත්මයටත් නිදහස!” ඈ දිගට ම මිමුණුවා ය.

වසා තිබෙන දොර ගාව දණගසා ගත් ජොසෆින් යතුරු සිදුරට මුව තබා කෑ ගසමින් ඇතුළට එන්නට අවසර පැතුවා ය.  “ලුයිසා, මේ දොර අරින්න! මං ඔයාගෙන් මේ වැඳලා ඉල්ලන්නේ මේ දොර අරින්න- ඔයා ඔය තව ලෙඩක් හදාගන්නයි හදන්නේ. මොකක්ද ඔයා මේ කරන්නේ ලුයිසා? දෙයියන්ගේ නාමෙන් මේ දොර අරින්න.”

“යනවා යන්න මෙතැනිං. මං ලෙඩ හදාගන්න නෙවෙයි හදන්නේ.” නෑ; විවෘත වූ ජනේලයෙන් ඈ ජීවිතයේ නිදහස් අමෘතය රසවිඳිමින් සිටියා ය.

ඉදිරියේ පැමිණෙන කාලසීමාව ගැන සිතමින් ඇය ප්‍රීති ප්‍රමෝදයට පත් ව තිබිණ. වසන්තය, ග්‍රීස්මය ඇතුළු සියලු ම අනෙක් දිනයන් ඇගේ ම පමණක් වේවි. ජීවිතය දිගු වේවා යැයි ඈ ඉක්මන් ප්‍රාර්ථනාවක් සිදු කළා ය. ජීවිතය දිගු යැයි ඇය බියෙන් තැවුණේ ඊයේ වන තුරු පමණි.

අවසානයේ ඈ නැඟි සිටියා ය. සහෝදරියගේ පෙරැත්ත කිරීම් නිසා දොර විවෘත කළා ය. ඇගේ දෑස්වල තිබුණේ අරගල කර ලබාගත් ජයග්‍රහණයක සේයාවක් වූ අතර ඇයටත් නොදැනි ම ජයග්‍රහණය ලැබූ දෙවඟනක සේ ඈ ගමන් කළා ය. සහෝදරියගේ ඉඟ වටා අත යවා අල්ලා ගත්තා ය. දෙදෙනා තරප්පු පෙළ බැස බිමට පැමිණියෝ ය. පහළ රිචර්ඩ් ඔවුන් වෙනුවෙන් බලා සිටියේ ය.

කිසිවෙක් යතුර කරකවා ඉදිරිපස දොර විවෘත කරමින් සිටියේ ය. ගමන් තෙහෙට්ටුවෙන් යුතු ව ඔහුගේ බෑගය කරේ ලා කුඩය ද අතැති ව බ්‍රෙන්ට්ලි මැලර්ඩ් ඇතුල් විය. ඔහු අනතුර සිදු වූ ස්ථානයෙන් බොහෝ දුර සිටි අතර එවැන්නක් පිළිබඳ ව ඔහු දන්නේ ද නැත. ජොසෆින්ගේ පසාරු කරගෙන යන්නාක් මෙන් වූ කෑ ගැසීමත්, රිචර්ඩ් සිය බිරිඳ ව ආවරණය කරමින් හදිසියේ පැනීමත් හේතුවෙන් ඔහු වික්ශිප්ත ව ගල් ගැසී බලා සිටියේ ය.

වෛද්‍යවරු පැමිණ ඇය හෘදයාබාධයකින් මියගොස් ඇති බව සඳහන් කළ හ. සතුට නිසා වූ මරණයක්.

 

පරිවර්තනය

වරුණි සාරංගා දිසානායක

වාග් විද්‍යා අධ්‍යයනාංශය

 

විශේෂවේදී තෙවන වසර