ආනබා සාහාගේ The Choice කෙටි කතාවේ සිංහල පරිවර්තනයකි.

කොරිඩෝවේ තිබූ බංකුවක් මත මා අසුන්ගෙන සිටිය යුතු විය. කොරිඩෝව කෙළවර, කාමරයකි.යම් අයෙක් මා කැටුව යාමට පැමිණි පසු, මා එම කාමරයට ඇතුළු විය යුතු විය. මම තරමක් තැතිගෙන සිටියෙමි.  තාත්තා, මාහට සන්සුන් ව සිටින ලෙස පැවසීය. අම්මා, බිය වීමට කිසිවක් නොමැති වග පැවසුවාය. මා ප්‍රශ්නවලට නිවැරදි ව පිළිතුරු ලබා දුන්විට, සියල්ල හොඳින් සිදුවනු ඇතැයි දෙදනා ම මාහට පැවසූහ. ඔවුන් මගෙන් ඇසීමට සැරසෙන්නේ කුමක් ද යන්න පිළිබඳ යම් අදහසක් මාහට තිබිණි. මම නොදැන සිටියේ එම ප්‍රශ්නයට "නිවැරදි" පිළිතුර කුමක් ද යන්නයි.

බොහෝ වේලාවකට පසු, කාන්තාවක් පැමිණ, මාහට ඇයත් සමඟ පැමිණෙන ලෙස පැවසුවා ය. ඇගේ දෑස්වල යමක් ඇඳී තිබෙනු මම දුටිමි. ඒ අනුකම්පාව ද කනගාටුව ද? මට නො වැටහිණි. අප දොරටුව වෙත ළඟා වනවාත් සමඟ ම, මාහට කටහඬවල් කිහිපයක් ඇසිණි; ඉන් එකක් අම්මාගේත්, දෙවැන්න තාත්තාගේත් වූ අතර, නන්නාදුනන කටහඬවල් කිහිපයක් ද විය.  කාන්තාව දොර විවරකරනවාත් සමඟ ම කාමරය ම මීයට පිම්බාක් මෙන් නිහඬ විය. කාන්තාව මට කාමරයට ඇතුළු වන ලෙස සංඥා කළා ය. මම එසේ කළෙමි. මාගේ මව්පියන් දක්නට ලැබීම මාහට යම් අස්වැසිල්ලක් විය. ඔවුහු මා දෙස බලා, නිහඬ ව ම සිටියහ. ඔවුන් මේසයෙහි එක්පසක අසුන්‌ගෙන සිටි අතර තවත් පුද්ගලයෙකු ඔවුන් පිටුපස සිටගෙන සිටියේ ය. මේසයේ අනෙත් කෙළවරහි තවත් පුද්ගලයෙක් අසුන්‌ගෙන සිටියේ ය.

ඔහු අසල ඇති පුටුව වෙත පැමිණ, අසුන්‌ ගන්නා ලෙස එම පුද්ගලයා මාහට පැවසීය. මම ඔහුට කීකරු වීමි. ඉන්පසු ඔහු මට තරමක් ප්‍රසන්න ව ආමන්ත්‍රණය කළේ ය."කොහොමද පුතා", ඔහු පැවසීය. "ඔයාව මෙතෙන්ට එක්කන් ඇවිත් තියෙන්නෙ ඇයි කියලා ඔයා දන්නවා නේ?". මම ඔළුව වැනීමි. "එහෙනම් මට කියන්න ඔයාට කාත් එක්ක ද ඉන්න ඕනෙ: අම්මා එක්ක ද තාත්තා එක්ක ද?" මම නිහඬ ව සිටීමි. ඔහු නැවත වතාවක් මට පිළිතුරු දෙන ලෙස පැවසීය. එහෙත් මම නිහඬ ව ම සිටීමි. ඇයි ඔය ළමයා සද්ද නැත්තෙ? ඔයා කැමති දෙයක් ඇතිනෙ? ඔය ළමයා කාටද වැඩිපුර ආදරේ? ඔයා ජීවිතේ ඉතිරි ටික කාත් එක්ක ද ඉන්න කැමති?", ඔහු අසාගෙන ගියේ ය. එහෙත් මම කිසිවක් නොපවසා ම සිටීමි. මාගේ මුනිවත රැකීම පිළිබඳ මඳක් කෝපයට පත් වූ ඔහු "මොනවා හරි කියන්න ළමයො. ඔයා මොනවද හිතන්නෙ?" යැයි පැවසීය. 

 

යන්තමින් දීමට පිළිතුරක් ඇති ප්‍රශ්නයක් ඔහු අවසන මගෙන් ඇසීය. "මට... තේරෙන්නේ නෑ සර්" මම මඳක් පැකිළෙමින් කීවෙමි. ඉන්පසු කිව යුත්තේ කුමක් දැයි මම නොදැන සිටියෙමි.මගේ සිතිවිලි එකලාසයක් කර ගැනීමට පෙර වේලී තිබූ තොලකට මම තෙමාගතිමි. ගිය අවුරුද්දේ අවුරුදු උත්සවයේ දී ඉදිරිපත් කිරීමට සිටි කවිය මට අමතක වූ විට, මොන්ටිසෝරියේ ටීචර් මට කිරීමට කී පරිදි… මම හොඳ හුස්මක් ගෙන, කලබල නොවී, "මේ ප්‍රශ්නෙට හරි උත්තරේ මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ සර්. මගේ අන්තිම උපන්දිනේට මගේ අම්මයි තාත්තයි මාව සත්තුවත්ත බලන්න එක්කන් ගියා. එහේ සත්තු ගොඩක් හිටියා… අලි, ජිරාෆ්ලා, තව කොටියකුත් හිටියා." යි පැවසීමි. මීට මාස හයකට පෙර සුන්දර අත්දැකීම් මගේ මතකයට නැගිණි. මට නිදහසේ කතා කිරීමට හැකි වූවා මෙන්ම සතුටක් ද දැනිණි. "එහෙ කූඩු ගොඩක් තිබ්බා. ලොකු අයගේ කරවල්වලට වඩා උඩට මාව උස්සලා තාත්තා මට ඒවා ඇතුලේ හිටපු සත්තු පෙන්නුවා. කූඩුවකින් තවත් කූඩුවක් ගාවට යද්දි අම්මා මගේ අතෙන් අල්ලන් ගියා." 

 

මගේ කියවිල්ල කළු කබායක් හැඳ සිටි පුද්ගලයාට නුරුස්සනා බව මාහට පසක් වූයේ පසුව ය. "ළමයෝ," ඔහු තදින් කීවේය, "මට ඔයාගේ අන්තිම උපන්දිනේ ගැන දැනගන්න උවමනාවක් නෑ. කරුණාකරලා මම අහපු ප්‍රශ්නෙට විතරක් උත්තර දෙන්න." සුන්දර මතකාවර්ජනයෙන් පසු, මගේ ආත්ම විශ්වාසය මදක් ගොඩනැගී තිබිණි. "අනේ සර්... කරුණාකරලා මට මේක කියලා ඉවර කරන්න දෙන්න… මට ඒක ගොඩක් වැදගත්." මම ඔහුට පැවසීමි. ඔහුගේ මුහුණේ ඇඳී තිබූ කෝපය මදක් පහව යනු මම දුටිමි. ඔහු ඉතා කෙටියෙන්, "හරි කියන්න." යැයි කීවේ ය.

 

නැවුම් වූ ප්‍රාණවත් බවකින් යුතු ව, මම මගේ කතාව කියාගෙන ගියෙමි. "අපි දවසම හිටියෙ එකට. අපි අම්මා ගෙදරින් හදාගෙන ආව පාන් කෑවා. ඊට පස්සේ තාත්තා කිව්වා අයිස්ක්‍රීම් කමු කියලා. මම අයිස්ක්‍රීම්වලට ගොඩක් කැමතියි, සර්.

 

"අපි කවුරුත් කැමතියි පුතා." මෙම වතාවේ දී ඔහු පෙරට වඩා තරමක් කාරුණික විය.

 

"ඒත් හැම වෙලේම මට වැනිලා අයිස් ක්‍රීම් කන්න ද චොකලට් අයිස්ක්‍රීම් කන්න ද කියලා හිතාගන්න බැරුව යනවා. මම අම්මාගෙනුයි තාත්තාගෙනුයි ඇහුවා මම මොනවා ගත්තොත් ද හොඳ කියලා. එයාලා එතන තිබ්බ අයිස්ක්‍රීම් කෝන්, පලම්, කෝප්ප හැම එකම බලලා, මට හොඳ එකක් තෝරගන්න උදව් කළා." ඔහු නැවතත් නොඉවසිලිමත් ව, "ඔයා කියන්න හදන්නෙ මොකද්ද පුතේ?" යැයි ඇසීය.

 

මම නැවත වතාවක් හොඳ හුස්මක් ‌ගෙන, "සර්, මට සෙල්ලම් බඩු, අයිස්ක්‍රීම්, ඇඳුම්, ඒ විතරක් නෙමෙයි, යාළුවෝ පවා තෝරගන්න, අම්මා හරි තාත්තා හරි හැම වෙලාවෙම මගේ උදව්වට හිටියා. 

 

මම මඳක් නිහඬ වූයේ මගේ උගුර සිර වූ නිසා ය. "ඒත්… අද… කාව තෝරගන්න ද කියලා එයාලා එක්කෙනෙක් වත් මට කිව්වේ නෑ…"

 

පරිවර්තනය

මල්කි සත්සරණි ඈපාසිංහ

විශේෂවේදී තෙවන වසර

 

වාග් විද්‍යා අධ්‍යයනාංශය