හාන් ක්‍රිස්ටියන් ඇනඩර්සන්ගේ The little match girl කෙටි කතාවේ සිංහල පරිවර්තනයකි

එය ඉතා සීතල දවසක් විය. හිම වැටෙන්නට වූ ඒ සන්ධ්‍යාව ඉතා අඳුරු වූ අතර, එය වසරේ අවසන් සන්ධ්‍යව විය. මේ අඳුරු සීත සැඳෑවේ පුංචි දිළිඳු ගැහැනුළමයෙක්, හිස්වැස්මක් හෝ පාවහන් යුවළක් නොමැතිව වීදිය දිගේ ඇවිද ගියා ය.  ඇය නිවසින් පිටත්වන විට ඇය පාවහන් යුවළක් පැළඳ සිටි බව සත්‍යකි; එහෙත් එයින් ඇති යහපත කුමක් ද? ඒවා ඇයට පෙර ඇගේ මව පැළඳි ඒවා වූ අතර ඒවා ඇයට තරමක් විශාල විය. ඇය අසලින් ඉතා වේගයෙන් ඇදී ගිය කරත්ත දෙකකින් බේරීමට ඇය වීදියේ පසෙකට පැනීමේ දී ඒවා ගැලවී විසිවී ගියේ ය.

එක් පාවහනක් සොයාගන්නට වත් නොවූ අතර, අනෙක වීදිකොණේ සිටි කුඩා අනාත කොලුවෙක් ඩැහැගෙන දිව්වේ ය; ඔහු සිත් වූයේ යම් දිනක ඔහුට දරුවන් සිටියහොත්, තොටිල්ලක් සෑදීමට එය කදිම බවය. ඉතින් මේ පුංචි ගැහැනුළමයා පාවහන් යුවළක්වත් නොමැති ඇගේ නිල් වී තිබූ කුඩා දෙපාවලින් වීදිය දිගේ පියමැන්නා ය. ඇය තම ගවුම් සාක්කුවේ ගිනිකූරු මිටි කිහිපයක් රැගෙන ගිය අතර, ඉන් මිටියක් ඈ අතට ගත්තා ය. එදා දවසටම කිසි කෙනෙක් ඇගෙන් කිසිවක් මිලදීගත්තේවත්, ඇයට සතයක්වත් දුන්නේවත් නැත.

ඇය සීතලෙන් හා කුසගින්නෙන් ගැහෙමින් ඉදිරියට ගෑටුවා ය. අසරණ කෙලි පොඩ්ඩ, එය ඉතා ශෝකානුකූල දසුනක් විය!

ඇගේ ගෙල වටා අලංකාර ලෙස වැටී තිබූ දිගු කෙහෙරැලි හිම කැටවලින් වැසී තිබිණි. ඇය ඒ ගැන සිතුවේ නැත. සෑම කවුළුවක් ම ඉටිපන්දම් එළියෙන් ආලෝකවත් වී තිබූ අතර, රෝස්ට් කළ කුකුළ් මස් සුවඳ දසතින් හමන්නට විය. ඒ අලුත් අවුරුද්ද ලැබීමට පෙර අවසන් සැඳෑව එය වූ බැවිණි. ඔව්, ඒ ගැන නම් ඇය සිතුවා ය.

වීදියේ කොනක ඈ වාඩිවී, ගුලි ගැසුණා ය. ඇගේ කුඩා කකුල් ඈ තව තවත් ඈ වෙත ළං කරගත්ත ද, ඇයට එන්න එන්න ම තව තවත් සීතල විය. ඇය ආපසු නිවසට යාමට සිතුවේවත් නැත. ඒ මක්නිසාදයත් ඈට ගිනිකූරු විකුණා එක සතයක්වත් හොයාගන්නට නොහැකි වූ හෙයිනි. ඇය හිස් අතින් ගෙදර ගියහොත්, තාත්තාගෙන් ගුටි සංග්‍රහ ලැබෙනවා නිසැකය. ගෙදර ගියා කියා ඒ හැටි වෙනසක් නොවීය. එහි ද මෙලෙස ම සීතල විය. එහි වූයේ හිසට ඉහළින් වහලයක් පමණි. එහි ද වඩාත් ම විශාල සිදුරු, පිදුරු හා කඩමළුවලින් වසා තිබුණ ද, සීත සුළං නැවැත්වීමට එය ප්‍රමාණවත් නොවීය. 

ඇගේ කුඩා දෙඅත් සීතලෙන් ගල් ගැසී තිබිණි. එක ගිනිකූරකට ඇයට මුළු ලෝකයක් තරම් වටිනා සහනයක් ගෙනදිය හැකිවිය. ඇයට කිරීමට තිබුණේ ගිනිකූරු මිටියෙන් එකම එක ගිනිකූරක් රැගෙන, එය අවුළුවාගෙන, ඇගේ දෑඟිලි උණුසුම් කරගැනීමට පමණි.  ඇය සෙමෙන් එකක් අතට ගත්තාය. "චිස්!" එය දැල්වුණු සැටි, එය ඇවිලුණු සැටි! ඇය එය තම අත්ලෙන් වසාගෙන සිටියදී, එය උණුසුම්, ආලෝකවත් දැල්ලක් විය, හරියට ඉටිපන්දමක් මෙන්: එය ඉතා මනස්කාන්ත එළියක් විය. ඇයට හැඟුණේ, ඇය ඉතා විශාල පිත්තල ගිනි උඳුනක් අසල වාඩි වී සිටින්නාක් ලෙස ය. ඇයව උණුසුමෙන් වෙලාගනිමින්, ගින්න දැල්විණි. ඇය තම දෙපා ද උණුසුම් කරගැනීමට ඇගේ කුඩා දෙපා ඒ වෙත දිගු කළා ය: එහෙත් ගිනි දැල්ල නිවී ගියේ ය, ගිනි උඳුන නොපෙනී ගියේ ය: ඇයගේ අතෙහි ඉතිරිව තිබුණේ දැවී ගිය ගිනිකූරේ අවශේෂ පමණි.

ඇය තවත් ගිනිකූරක් ගෙන එය ද දල්වාගත්තාය: එය දීප්තිමත්ව දැල්විණි. බිත්තියේ එහි ආලෝකය වැටුණු තැන සේද සළුවක් මෙන් විනිවිද විය, ඇයට කාමරයේ ඇතුළත පෙනිණි. මේසය මත හිම මෙන් සුදෝසුදු වූ සළුවක් එලා තිබිණි; ඒ මත දුම් දමන රෝස්ට් කළ කුකුළෙකු විය. ඇයට එයටත් වැඩියෙන් අදහාගන්නට නොහැකි වූයේ, කුකුළා බන්දේසියෙන් බිමට පැන, නටන්නට වීමයි. ඌ ගෑරප්පුවක් සහ පිහියක් තම පපුවට තබා ගනිමින්, මේ අසරණ පුංචි කෙල්ල අසළට පැමිණෙනවිට ම; ගිනිකූර නිවී ගොස්, ඝණ, තෙත බරිත, සීතල බිත්තිය පමණක් ඉතිරිවිය. ඇය තවත් ගිනිකූරක් දැල්වීය. දැන් ඇය ඉතා අලංකාර අති විශාල නත්තල් ගසක් යට වාඩිවී සිටියාය: එය, ඇය පෝසත් වෙළෙන්දාගේ ජනෙල් කවුළුවෙන් දුටු නත්තල් ගසට වඩා විශාල විය.

හරිත පැහැති අතු මත විදුලි බුබුළු දහස් ගණනක් දැල්වෙමින් තිබිණි. ඇය සාප්පු කවුළුවලින් දුටුවා මෙන් වර්ණවත් මනස්කාන්ත දසුන් ඈ නෙත් ඉදිරියේ මැවෙන්නට විය. කුඩා දැරිවි ඒ වෙත තම දෑත් දිගු කළා ය.ගිනි දැල්ල නිවී ගියේ ය. නත්තල් ගසේ එළි දැන් ඉහළට ඉහළට ගොස්, ස්වර්ගයේ තාරකා මෙන් ඇයට දිස් විය; ඉන් එකක් කඩා වැටී දිගු ගිණි පාරක් සෑදිණි.

"කවුරුහරි මේ දැන් මැරිලා!" කුඩා දැරිවි තෙපලීය; ඇයගේ මිත්තනිය, තවදුරටත් ජීවතුන් අතට නැති, ඇයට සැබවින්ම ආදරය කළ එකම පුද්ගලයා, ඇයට පවසා තිබුණේ, තාරකාවක් කඩා වැටෙන විට, ආත්මයක් ස්වර්ගයේ දෙවියන් වෙත එසවෙන බවය.

ඇය තවත් ගිනිකූරක් දැල්වීය: නැවතත් ආලෝකය පැතිරිණි. එම දීප්තිය මධ්‍යයේ සිටගෙන සිටියේ, මෘදු, ආදරෙන් පිරීගිය සිනහවක් මුවගේ රඳවාගත්, ඇගේ දයාබර මිත්තනියයි.

"අත්තම්මා!" ඈ සතුටින් මොරගැසීය. " අනේ මාවත් ඔයත් එක්ක එක්කන් යන්නකෝ! මේ ගිනිකූර පත්තු වෙලා ඉවර වෙද්දි ඔයා නැති වෙලා යනවා; උණුසුම් ගිනි උඳුන, රසම රස රෝස්ට් කරපු කුකුළා, ලොකුම ලොකු නත්තල් ගහ වගේ ඔයා අතුරුදහන් වෙනවා!" ඇය හණිකට ගිණිකූරු සියල්ලම එකවිට දැල්වුවාය. ඒ මන්දයත් ඇයට නිසැකවම තම මිත්තනිය තමා අසළ රඳවාගැනීමට අවශ්‍ය වූ නිසා ය. ඒ ගිනිකූරු ගිනි මද්දහන මෙන් දීප්තිමත් ආලෝකයක් ගෙන දුනි: ඇගේ මිත්තනිය මින් පෙර කිසි දාකටත් වඩා පියකරු ලෙසත්, උස් ලෙසත් ඇයට දිස් විය.  ඇය පුංචි දැරිවිගේ අතෙන් අල්ලාගෙන, දීප්තිමත් ආලෝකය වෙත පියඹා ගියාය, ඉහළට ම පියඹා ගියාය. ඉන් පසු සීතල, බඩගින්න, බය-- ඒ කිසිවක් තවදුරටත් නොදැනිණි-- ඔවුන් දෙවියන් සමඟ විය.

එහෙත්, වීදි කොණේ, ඉර බැසගෙන යන ගොම්මං යාමේ, රෝස වූ කම්මුල් ඇතිව, මුවගේ සිනහවක් රඳවාගත් අසරණ කෙලි පොඩ්ඩ, වසරේ අවසාන සන්ද්‍යාවේ, බිත්තියට හේත්තුවී, සීතලෙන් ගල් ගැසී මිය ගොස් සිටියා ය. ඇගේ දැවී ගිය ගනිකූරු අහුරත් සමඟ ඇය ගල් ගැසී වාඩිවී සිටියාය. "එයා ගිනිකූරුවලින් උණුසුම හොයන්න ඇති." මිනිස්සු කසු කුසු ගෑහ. ඇය දුටු මනස්කාන්ත දසුන් ගැන කිසිවෙකුට හාංකවිසියකවත් අදහසක් නොවීය; තම මිත්තනිය සමඟ ඇය නව වසරට ඇතුල් වූ තේජස පිළිබඳ කිසිවකු සිහිනෙකින්වත් සිතුවේ නැත.

මල්කි ඇපාසිංහ

වාග් විද්‍යා අධ්‍යයන අංශය

 

මානව ශාස්ත්‍ර පීඨය