උපාධි ප්‍රදානෝත්සවය සඳහා සියලු කටයුතු සූදානමින් පැවතුණි.   බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දොරටු තුළින් දෙපිළ සැදී ඇතුළු වුණු පිරිස තමාට හිමි අසුනේ නිශ්ශබ්දව අසුන් ගත්හ. පිරිස අතර සමිත් ද විය. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලය බෙර වාදන මධ්‍යයේ පිරිස අතරින් වේදිකාව වෙත ගමන් කරද්දී පිරිස තමන් හුන් අසුනෙන් නැගී සිටියහ. චාරිත්‍රානුකූලව සභාවේ වැඩකටයුතු ආරම්භ විය.

"සූකිරි, සූකිරි, නැගිටපං පුතේ, ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා" සමිත්ගේ මව පොල් සම්බෝලයක් පිළියෙල කරමින් කෑ මොර දෙන්නට විය. "අනේ අම්මේ තව චුට්ටක් නිදාගන්නම් කෝ... අයියා තාම නැගිටලා නෑ නේද?" ඔහු පැදුරේ ඒ මේ අත පෙරළෙමින් විමසුවේය. "අයියා නැගිටලා හුඟක් වෙලා. උඹ නැගිටින්නැති නිසා ඕං තනියම ලිඳට ගියා මූන හෝදන් එන්නම් කියල" අම්මා කෑම පිළියෙල කර අවසානයේ සමිත් නිදාසිටි පැදුර අසලට පැමිණියාය. "අනේ රත්තරනේ, මදැයි ඔය නිදා ගත්තා. දැන් නැගිටින්න" ඇය ඔහුගේ හිස අත ගෑවාය. තම සැමියාගේ වියෝවෙන් පසුව දිනපතා කුමන ආකාරයේ හෝ කුලියක් කරමින් තම දරුවන් දෙදෙනා උස්මහත් කිරීමට අසීමිත උත්සහයක් ගන්නා ඇය නිතර වෙහෙසෙන්නේ දරුවන් දෙදෙනාගේ අනාගතය සාර්ථක කිරීමට ය. ඇය සාමාන්‍ය පෙළ සමත් වූ නමුත් ඉහලට ඉගනීමට වත්කමක් නොතිබුණු බැවින් ඇයගේ දෙමව්පියෝ නන්නාදුනන පුද්ගලයකුට ඇය විවාහ කර දුන්නෝ ය. ඔහු තනිකරම බේබද්දෙකි. විවාහ වූ දා පටන් ඇයට අසීමිත දුකක් විඳීමට සිදුවිය. නමුත් ඇය කිසිදා තම දෙමව්පියන්ට ශාප කිරීමට හෝ තම සැමියාගෙන් වෙන් වීමට උත්සාහ නො කළා ය. තමා පෙර කළ පවක් යැයි සිතා විඳ දරා ගත්තා ය.

"අම්මේ ඔන්න මං නැගිට්ටා... අම්මත් එනවද මාත් එක්ක මූණ හෝදන්න යන්න" සමිත් නැගිට තම හිස අතගාමින් සිටින මවට තුරුළු වූයේය. "හරි පුතේ මමත් කොහොමත් වැඩට යන්න එපැයි. අයිය නම් ආවද කොහෙද මූනත් හෝදන්"

දෙදෙනා ළිඳට ගොස් මුහුණ සෝදාගෙන විත් සමිත් සහ ඔහුගේ අයියා පාසල් යාමට සූදානම් වූහ. මව බත් බෙදාගෙනවිත් දෙදෙනාටම කැව්වා ය. මේ වන විට සමිත් 9 ශ්‍රේණියේ අවසන් වාර විභාගයට සූදානමින් සිටි අතර ඔහුගේ අයියා 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවේය. තිදෙනාම සූදානම්වී නිවසින් පිටත් වූ අතර දෙවැට ළඟ දී දෙදෙනාම දණ ගසා තම මවට වැන්ඳහ. මව දෙවැටෙන් අනිත් පාරේ ගමන් කළාය. දරුවන් දෙදෙනා කඩිමුඩියේ පාසල වෙත දිව ගියහ.

කාලය සෙමින් ගෙවී  ගියේය. සමිත්ගේ අයියා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේය. ප්‍රතිඵල එනතුරු ඔහු ද කුලිය කරන්නට විය. මව එයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. 10 ශ්‍රේණියට යාමට සමිත්ට දිග කලිසමක් හා අලුත් සපත්තු ජෝඩුවක් අවශ්‍ය විය. අයියාගේ කලිසම් ද ඉතා පැරණි වී තිබුණි. එබැවින් සමිත් මව සමග ඉරිදා දිනයක නගරයට යාමට පිටත් වුණි. ඔවුන් දෙදෙනා මුලින්ම නගරයේ ඇඳුම් මසන වෙළඳසැලට ගියහ. සමිත්ගේ මිම්ම මැන ලියාගත් ඇඳුම් මසන්නා එයට අය කරන මුදල රුපියල් එක්දහස් පන්සියයක් බව මවට කීවේය. මව තම ලේන්සුවේ ගැටය සෙමින් ලිහා එහි වූ දින තුනක කුලිය වන රුපියල් තුන් දාහෙන් එක් දහස් පන්සියයක් ඔහු වෙතට දිගු කළා ය. ඇඳුම් මසන්නා එය සටහන් කරගත් කොලේ පිටපතක් මවට දුන්නේ "තව සතියකින් මහල තියන්නම්" කියමිනි.

ඔවුන් දෙදෙනා වෙළෙඳසැලෙන් පිරිතට පැමිණ අනතුරුව සපත්තු වෙළඳසැල සොයා ගියහ. ඒ යන අතරමග අවන්හලක් පසුවිය. එයින් හොඳ සුවඳක් හමායන අතර ශබ්ද ද ඇසෙයි. සමිත් පාරේ අයින් පැත්තෙන් ගමන් කළ හෙයින් ඔහුට හොඳින් අවන්හල තුළ දර්ශනය විය. පිටතට පෙනෙන අයුරින් වීදුරු යොදා සකස් කළ අවන්හල තුළ නානාප්‍රකාර කෑම දර්ශනය වේ. වීදුරුව අසලම මෙසේ මත තිබුණු එක්තරා කෑමක් ඔහුගේ නෙත ගැටිණ. ඔහු අම්මාගේ අතේ එල්ලී සිටි බැවින් අනෙක් අතින් මවගේ අතට තට්ටු කළේය.

"අම්මෙ, අම්මෙ, අර මේසේ තියල තියන කෑම මොනවද? අර දෙන්නත් එක්ක බෙදාගන්නවා පේන්නේ" ඔහු ඉතා සෙමෙන් මව ගෙන් විමසුවේ වීදුරුවෙන් අනෙක් පස සිටි පුද්ගලයන්ට එය ඇසෙතැයි බියෙනි. අම්මා ඒ දෙස බැලුවේ එතරම් උනන්දුවෙන් නොවේ. "අනේ අම්මෙ, කියන්නකෝ..." දරුවාගේ ඇවිටිලි නිසාවෙන් නැවතත් හැරී ඒ දෙස බැලූ ඇය ගමනේ ඉදිරියට ගියාය.

"ඒවට පුතාගේ සීය නම් කියන්නේ උඩ දාන බත් කියලා, හැබැයි මම අහල තියෙනවා ඔව්වට රයිස්ද මොකක්ද කියලත් කියනවා" "රයිස්, ඒ කියන්නේ බත්නෙ. ඒවා රස ඇති නේද අම්මේ" අම්මගේ නෙත් කඳුළින් තෙත් වුණු දුටු සමිත් නිහඬ විය. අනතුරුව ඔවුහු සපත්තු වෙළඳසැල වෙත ගොස් සපත්තු ජෝඩුවක් ද මිලදී ගත්තෝ ය.

නගරයේ සිට ඔවුන්ගේ ගමට පැය භාගයක පමණ දුරක් තිබෙන අතර ඔවුන්ට බසයෙන් යාමට සහ ඒමට රුපියල් 40ක් පමණ වැයවේ. නමුත් ඔවුන් ගමෙන් නගරයට පිටත් වුණේත් නැවත පැමිණියේත් පා ගමනින් ය. නැවත පැමිණෙන විට ඔවුන් අත මුදල් ඉතිරි නොවුණ බැවිනි.

සතියකින් පසුව සමිත්ගේ මව නගරයට ගොස් සමිත්ට මසා නිම කළ ඇඳුම රැගෙන පැමිණි අතර එය පැළඳ හැඩවුණු පුතු දැක සතුටු වූවාය. සමිත්ට තම අලුත් ඇඳුම් හා සපත්තු දකින හැම විටම සිහිවන්නේ අවන්හලේ දුටු රසවත් කෑම ය. ඒත් සමගම ඔහුට සිහි වන්නේ එදින මවගේ කඳුළින් බර වුණ නෙත් ය. ඔහු සැම විටම තමා තුළම අධිෂ්ඨානයක් තබාගත්තේය. "මං කොහොමහරි ඒ බත් හදනවා. කවදා හරි අම්මට මගේම අතින් කවනවා. හොඳ තැනකට යනවා අනිවාර්යෙන්" එතෙක් ඔහු තුළ තිබූ අනාගත බලාපොරොත්තු වෙනස් වූයේ නගරයට ගිය දිනයේ පටන් ය. අයියාගේ විභාගයේ ප්‍රතිඵල ආවත් පවුලට කිසිදු සතුටක් නොමැති වූයේ අයියා සමත් විය යුතු විෂයයන් හෝ සමත් නො වීමයි. නමුත් සමිත්ගේ මව අයියට අවවාද කළේ නැවත විභාගය කරන ලෙසයි. ඔහු කුලී වැඩ අත්හරින්නට සූදානම් නැත. එහෙයින් ඇය ඊට බල කළේ ද නැත. අය්යා ඔහුගේ වියදම් සියල්ල සොයාගනී. අම්මට සුළු සහනයක් එයින් හිමි විය.

සමිත් නිතරම තම අධිෂ්ඨානයේ හිඳිමින් පාඩම් වැඩ කටයුතු හොඳින් කරගෙන ගියේය. ඔහු අයියා භාවිතා කළ පොත් පවා පරිශීලනය කළේ ය. සාමාන්‍ය පෙළ කඩඉමට ඉතා හොඳින් මුහුණ දී විශිෂ්ට ජයක් ලබා ගත්තේය. ප්‍රතිඵල පැමිණි දින පවුලේ සතුට පිරි ඉතිරී ගියේය. අයියා ද සතුටු වූයේය. උසස් පෙළට අවශ්‍ය අලුත් ඇඳුම් සඳහා වියදම් දැරීමට ඔහු සූදානම්ව සිටියේය. ප්‍රතිඵලවලට අනුව කොළඹ පාසලකට අයදුම් කිරීමට ඔහුට හැකි විය. ගමේ පාසලේ ගුරුවරුන් ද ඔහුට කියා සිටියේ මෙම අනගි අවස්ථාව මඟ නොහරින ලෙස ය. සමිත් තම මවට මේ පිළිබඳව කියා සිටියේය. "මගේ කොල්ලා ඉහළටම යන්න ඕන. තුනුරුවනේ පිහිටයි රත්තරනේ" ඇය සතුටු කඳුළු පිසදා ගත්තාය. අයදුම්පතට අනුව ඔහුට කොළඹ ඉහළ පෙළේ පාසලකට තේරී පත්වීමට  සුදුසුකම් ලැබුණු අතර ඔහු බාර ගන්නා දිනයට අවශ්‍ය සියලු කටයුතු මව සහ අයියා එකතු වී සිදු කළෝය. උසස් පෙල අධ්‍යාපනය හදාරන සිසුන්ට නවාතැන් පහසුකම් පාසලෙන් නොසපයන බැවින් ඔවුන්ට පාසල අසලින් නවාතැනක් සොයා ගැනීමට සිදුවිය. ඒ සඳහා පාසලේ ගුරුවරයකු මැදිහත්ව උපකාර කළේය. මීට පෙර උසස් පෙළ සිසුන් සිටි නවාතැනක් ඔහු සොයා දුන්නේ ය. එයට මාසික ගාස්තුව රුපියල් 5000 කි. සමිත් සමඟ පිටිසර ගමකින් පැමිණි තවත් ළමයෙකු නවාතැනේ නතර විය. මාස කීපයක් තම මව කුලී වැඩ කරමින් මුදල් එකතුකර නවාතැන් කුලිය සහ කෑම වියදම් සඳහා ලබා දුන් අතර සමිත්ට මෙය මහත් පීඩාකාරී තත්ත්වයක් විය.තම මවගේ වියදම් තව තවත් වැඩි වී ඇත්තේ තමා නිසා යැයි ඔහු නිතරම සිතීය. ඔහු සේම නවාතැනේ සිටි තම මිතුරාට ද මෙවැනිම ප්‍රශ්නයක් තිබුණි. ඔවුන් දෙදෙනා පාසල් යනෙන අතරතුර වටපිට රැකියාවක් සොයා බැලිය. අවන්හලක රාත්‍රි සේවය සඳහා සේවකයන් අවශ්‍ය බව සමිත් දිනක් අහම්බෙන් දුටුවේය. ඔහු මේ පිළිබඳව තම මිතුරාට ද පැවසීය. පාසල් ගොස් අනතුරුව නවාතැනට පැමිණි ඔවුන් ඇඳුම් මාරු කරගෙන අවන්හල වෙත පිය නැගීය. අවන්හල වෙත ළංවෙත්ම පෙරදින නගරයේ දුටු අවන්හල හා රසවත් කෑම සමිත්ට සිහිවිය. නගරයේ අවන්හල ද සාදා ඇත්තේ මේ ආකෘතියටම වුවත් මෙය දෙගුණයක් පමණ විශාල බව ඔහුට වැටහිණි. ඔවුන් දෙදෙනා අවන්හලට ඇතුළු වී සේවකයන් අවශ්‍ය බවට වූ දැන්වීම පිළිබඳ එහි සේවකයෙකුගෙන් විමසූ අතර ඔහු අත දිගු කොට අවන්හලේ කළමනාකරුගේ කාර්යාලය පෙන්වීය.

කළමනාකරු අසුනේ විය. ඔවුන් දෙදෙනා අවසර ගෙන කාර්යාලය තුළට පිවිසි අතර අසුන් ගත් ඔවුන් දෙදෙනා කළමනාකරු විසින් සම්මුඛ පරීක්ෂණයට භාජනය කළේය. අවසානයේ ඔවුන් දෙදෙනාට අත්වැඩකරුවන් ලෙස රාත්‍රී සේවය කිරීමේ අවස්ථාව හිමිවිය. දිනපතා පාසල් නිමා කිරීමෙන් නිමාවීමෙන් පසු දෙදෙනාම විගසින් සූදානම් වී අවන්හලට පැමිණෙන අතර රැකියා කාලය හවස 6 සිට රාත්‍රී 10 ට පසු වන තුරුය.

දෙදෙනාම මාසයක් පමණ පිඟන්, වළං ආදිය සේදුවේය. පසුව සමිත්ගේ වැඩ පිරිසුදු බැවින් ඔහු මුල්තැන්ගෙයි වැඩවලට උදවු කිරීමට යොදා ගත්තේය. මුළුතැන්ගෙයි සුවඳ ඔහුව පෙර දිනයට රැගෙන ගියේය. ඔහුට කාලයක් ගිය පසු මුළුතැන්ගෙයි සකසන සියලු කෑම පිළිබඳව අවබෝධයක් ලැබුණි. නමුත් ඔහුට කෑම පිළියෙල කිරීමේ අවස්ථාව නොලැබුණි. ඔවුන්ට ලැබුණු වැටුපෙන් නවාතැන් ගෙවීම් හා අවශ්‍ය කෑමබීම ආදිය සපයා ගැනීමට හැකිවිය. එබැවින් ඔහු මවට නැවත මුදල් නොඑවන ලෙස පැවසීය. සමිත් තම මවට පැවසුවේ තමාට ආධාර දෙන ගුරුවරයකු ලැබුණු බවයි. ඇය ඒ පිළිබඳව ඉතාමත් සතුටට පත්විය. දින ගෙවී ගොස් උසස් පෙළ විභාගයද ළංවිය. ඉදිරි මාස කිහිපය සඳහා ගෙවීමට මුදල් ඇති හෙයින් ඔවුන් අවන්හලේ රැකියාව නැවැත්විය.දෙදෙනාම එකසේ මහන්සි වී පාඩම් කටයුතු කළ අතර විභාගයට මුහුණ දුන්හ.

ප්‍රතිඵල එනතුරු අවන්හලේ නැවත වැඩ සාදාගන්නට සමිත්ට හැකිවිය. ඔහුගේ මිතුරා නැවත ප්‍රතිඵල එනතුරු ගමේ ගියේ ය. මුළු දවසම වැඩ කළ හැකි බව කළමනාකරුට පැවසූ පසු ඔහු අවන්හලේ නවාතැන් කටයුතු  සමිත්ට සලසා දුන්නේය. මාසයක් පමණ වැඩ කර නිවාඩු ලැබුණු පසු තම මව හා අයියා බැලීමට ගියේය. පුදුමයකි. අම්මා වැහැරී ගොස් ය. අයියා ගෙදර සිටියේ නැත.

"අම්මේ, අම්මා තාම කුලී වැඩ කරනවද අම්මේ?"සමිත් අම්මා බදාගෙන විමසුවේය. "අනේ ඔව් පුතේ, අයියත් තාත්ත වගේම හම්බකරන මුළු සේසතම ඉවරවෙනකල් බොනව. මම මගේ වියදමට කීයක් හරි හොයාගන්න ඕනිනෙ පුතේ. අනික, පුතාට දැන් ඔය හම්බවෙන ආධාරෙ කැම්පස් ගියාම හම්බ වෙයිද කියලා කවුද දන්නේ දන්නෙ. මං ඒවට වියදම් කරන්න එපැයි මගේ පුතේ"

සමිත් ගෙදර එන ගමනේදී නගරයෙන් බැස එදා අවන්හලේ බලා සිටි රසවත් කෑම පාර්සලයක් ද රැගෙන පැමිණි අතර එය අම්මා අතට දුන්නේය. "අපි දෙන්නම කමු අම්මේ, අයියා නෑනේ ඉතිං" සමිත්  ෆ්‍රයිඩ් රයිස් පාර්සලය ලිහා බත් කටක් ගෙන තම මවට කැවිය. සමිත් ද බත් කටක් කෑවේය. ඒ රස නහරයක් පාසා ගලා ගියේය.

එදා කළ අධිෂ්ඨානය අඩක් සම්පූර්ණ වී ගොස් ය. ඔහු නැවත කොළඹට පැමිණියේ තමන් අත වියදමට සුළු මුදලක් තබාගෙන මවට අනෙක් මුදල් ලබා දී කුලී වැඩට නොයන ලෙස පවසමිනි.

ඔහු අවන්හලේ වැඩ කරන අතරතුර කෝකියා ආහාරපාන සකස් කරන අයුරු නොඉවසිල්ලෙන් බලා සිටියේය. කාලය ගත වී උසස් පෙළ ප්‍රතිඵල පැමිණි අතර ඔහු කලා විෂය ධාරාවෙන් ඉහළ ප්‍රතිඵලයක් රැගෙන තිබුණි. කැලණිය විශ්වවිද්‍යාලයට ද සුදුසුකම් ලැබුණු අතර පළමු වසර සිංහල, කොරියන් භාෂාව සහ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය යන විෂය ත්‍රිත්වය හැදෑරිය. විශ්වවිද්‍යාලයේ නේවාසික පහසුකම් ලැබුණු අතර නැවත ඔහු අවන්හලේ රාත්‍රී සේවය කළේය. ඔහුට මහපොළ ලැබුණු අතර එය ඔහු ප්‍රයෝජනයට ගත් අතර මාවත වියදම් මුදල් ද යැවිය.

ඔහු අධ්‍යන නිවාඩු සමයේ සිය නිවසට යන විට තමා ඉගෙන ගත් ආහාර සෑදීමට අවශ්‍ය බඩු භාණ්ඩ ආදිය ද රැගෙන ගියේය. ඔහුගේ සිත් තැවුලට එකම හේතුව ඔහුගේ අයියා ය. පියා සේම බීමත්කමින් යුත් ඔහු දැන් දහවල ගෙදර නොසිටින අතර රෑ පානේ ඇවිත් යන බව මව පැවසුවාය. ඇය සතු මුදල් පවා සොරකම් කර රැගෙන යන බව කීමෙන් සමිත්ට කේන්තියක් ඇති විය. නමුත් ඔහු එය උපේක්ෂාවෙන් දරා ගත් අතර තම මවට තමා අවන්හලේ දී බලා හිඳිමින් උගත් ආහාරපාන සකසා දෙන අතර ශරීරයට අහිතකර ද්‍රව්‍ය කිසිවක් එකතු නොකරන්නට ඔහු වග බලා ගත්තේය. ඔහුගේ සතුටට කාරණය වූයේ මව ඔහු පිළිබඳව ඉතාමත් ආඩම්බරයෙන් සතුටු වීමයි. සමිත්ගේ මව ද එම කෑම පිළියෙල කිරීමට ඉගෙන ගත්තා ය.

ඔහු තම අධ්‍යයන කටයුතු නිසි ලෙස කරමින් දෙවැනි වසරේ දී මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය ගෞරව උපාධිය කිරීමට තේරී පත්වූයේය. එහි කරන අධ්‍යයන කටයුතු අතරතුර ඔහුගේ සිතට නැගුණේ තමා ආසාවෙන් ඉගෙන ගත් ෆ්‍රයිඩ් රයිස් වර්ග සහ විදෙස් රටවල ෆ්‍රයිඩ් රයිස් වර්ග ද දේශීය බඩු එකතු කර සාදමින් ශරීරයට හිතකර අයුරින් අඩු මිලට සියලු දෙනාටම මිලදී ගත හැකි වන ආකාරයෙන් විකිණීමට හැකි වෙළඳසැලක් ආරම්භ කිරීමට තමන්ටත් අවස්ථාවක් ඇති බවයි.ඔහු තම මවට මේ පිළිබඳ දැන්වූ අතර ඇයද එයින් සතුටට පත් විය. වෙළඳසැල විවෘත කිරීම සඳහා මුදල් නිසි පරිදි නොමැතිවීම ප්‍රධාන ගැටලුව වූ අතර ඔහුට මේ පිළිබඳව නිසි සුදුසුකමක් නොමැති වීම ඊළඟ ගැටලුවයි. ඔහු මාස හයක සූපවේදී පාඨමාලාවක් හැදෑරීම ආරම්භ කළ අතර වෙළෙඳසැලක් මිලදී ගැනීම සඳහා මවට යෝජනාවක් ඉදිරිපත් කළේය.

"අම්මේ, අපි මේ ගෙදර ඔප්පුව උගස් කරමුද? මට බේරගන්න පුලුවන් අවුරුද්දක් වගේ ඇතුලත අම්මේ " මේ අතර බේබදු අයියා ගෙට ගොඩවිණි. "මොකක්ද බල්ලො තෝ  කියන්නෙ? මේ ගේ උගස් කරල තොපෙ මගුල්වලට, අපිට පාරට බහින්න ද කියන්නේ ?" "අනේ අයියේ මම එහෙම කිව්වෙ නෑනෙ" " තෝ කොහොමද කිව්වේ එහෙනම්" අයියා සමිත් කම්මුල් පහරක් ගැසුවේය. අම්මා මැද්දට පැන අයියට වැරෙන් කම්මුල් පහරක් දුන්නා ය. අයියා ගෙදර බඩු පොළොවේ ගසා යුද්ධයක් කර ගෙදරින් පිටවිය.

අම්මා ඔප්පුව සමිත්ට දුන්නාය. සමිත් බැංකුවට ගොස් ඔප්පුව උගස් කොට මුදල් ගෙන වෙළඳසැල මිලදී ගත්තේය. ඒ අතර ඔහුගේ සූපවේදී පාඨමාලාව නිමාවිය. තම මව හා එකතුව වෙළඳසැලේ ආහාරපාන පිළියෙල කළේය. අධ්‍යයන කටයුතු ද සමබරව කළේය. බැංකුවට මහපොළ ආධාර වලින් ණය කැපුණේ ය.  මවගේ සෙනෙහෙබර  කැපවීම මත සුළු ආදායමක් ලබා ගැනීමට හැකි විය. කාලයත් සමඟ වෙළඳසැලේ ආදායම වැඩි විය. ලාභයෙන් පවා ණය ගෙවා අවුරුදු එකහමාරක් වැනි කාලයක් තුළ නිවසේ ඔප්පුව නිදහස් කරගැනීමට හැකිවිය. තමා පාඨමාලාව හැදෑරූ ආයතනයේ ඊළඟ කණ්ඩායමේ සිසුන් දෙදෙනෙකු තම වෙළඳසැලේ රැකියාවට බඳවා ගැනීමට සමිත්ට හැකිවිය.

සමිත් එකවරම පියවි ලොවට පැමිණියේ තමාට ඉදිරිපෙළ වාඩිවී සිටි විද්‍යාර්ථයින් තම නම් අනුව උපාධි සහතිකය ලබා ගැනීමට පෙළ සැදී ගමන් කරන අයුරු දැකීමෙනි. තමාගේ පෙළේ විද්‍යාර්ථයින් ද ගමන් කරන බැවින් සමිත් අසුනෙන් නැගී සිටි අතර ඔහු එකවරම දෙමාපියන් අසුන්ගෙන සිටි දිශාවට නෙත් හැරවීය. තම මව සියලු දෙනා අතරින් සතුටු කඳුළු පිරි දෙනෙතින් බලා සිටින අයුරු ඔහු පහසුවෙන් හඳුනා ගත්තේය. ඒ අතරම  "සමිත් කෞශල්‍ය ගුණතිලක" යනුවෙන් ඔහුගේ නම නිවේදනය විය.

නිමි!

 

ඩබ්ලිව්. ආර්. කෞශල්‍යා තිලකරත්න

විශේෂවේදී පළමු වසර

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

 

සමාජීය විද්‍යා පීඨය