“ ලොකු පුතේ .. ලොකු පුතේ..නැගිටින්න.. හතරයි වෙලාව.. පරක්කු වෙයි සැරිය අල්ලගන්න..”

උදේ පාන්දරම අම්මා මාව ඇහැරවද්දි මං ඇස් ඇරියේ අමාරුවෙන්.. ඇස් කෙවෙනි එකට එක ඇළිලද කොහෙද. ඒ තරම් ඇස් පියන් අරින්න ආමාරුයි..

“ම්ම්ම්...”

මං අමාරුවෙන් කෙදිරිගෑවා.. අම්මා කුස්සියේ පොල් බිඳින පොල් ගාන සද්ද මට හීනෙන් වගේ ඇහෙනවා.

“ හතරයි කාලයි.. කෝ යන්නේ නැද්ද.. අද..” අම්මා මං ළගට ඇවිත්  කකුළෙන් ඇද්දා.

“ ලොක්කා.. කෑ ගහන්න බෑ ළමයෝ තවත් පරක්කු වෙනවා.. මට වැඩ තියෙනවා තව.. හා හා නැගිටින්න..” අම්මා නෙට් එකත් අකුළලා මගෙ මූණට තට්ටු කළා..

“ දෙවියනේ.. උණ නේද..ඇඟ රස්නෙයි පුතේ හොඳටම.. අද ඉස්කෝලේ යන්න බෑනේ මේ විදියට.. යමු උදේම ඩොක්ටර් ගාවට ගියොත් බේත් ගත්තහැකි.”

ඇඟ හොල්ලන්න බැරි තරම් රිදෙනවා.. දහයක් දොළහක් එකතු වෙලා පොල්ලකින් තඩි බාලා වගේ.. පිටතින් දැනෙන සීතලට මං තවත් ටිකක් ඇද සීට් එකට ගුළි වෙද්දි අම්මා ආයෙ කුස්සියට ගියා උයන්න..

කඩියෙක් වගේ අම්මා වැඩ. තාත්තාට තේ හදනවා. ඒ අතරේ නංගිවත් ඇහැරවලා ඉස්කෝලේ යන්න ලෑස්ති කරවනවා. නින්දත් නොනින්දත් අතර හිටියට මට ඇහෙනවා. අපේ නංගි මං තරම්වත් නැගිටින්නේ නෑ ඉක්මන්ට.. සිය පාරක් විතර එයාට කතා කරලත් ඇහැරෙන්න නැති තැන මට ඇහුණා තාත්තාත් කතා කරනවා. මෙච්චර පරක්කු වෙලා තියෙද්දිත් නැගිටින් නැති කොට මට ගිහින් නංගිගේ හක්කට අයින්න හිතුණත් නැගිටගන්න බැරි අමාරුවම හින්දා නිකම් හිටියා .

“ ලොකු පුතේ .. කෝ.. ඇස් ඇරලා මේ කොත්තමල්ලි එක බීලා ඉන්න..”

“ අම්මා කොත්තමල්ලිත් තැම්බුවද..” මට කොත්තමල්ලි එකයි සීනි චුට්ටකුයි අතට දීලා අම්මා ආයේ ගියේ නංගිව ලෑස්ති කරන්න..

 හැමදාම අම්මා නංගී ගැන  කිව්වත් පහමාරට විතර වෙනදට මං ගෙදරින් යන හින්දා අද තමා නංගිගේ හැටි බලා ගත්තේ .. කොහොමින් කොහොමහරි අම්මා නංගිවත් ලෑස්ති කරලා එයාගේ කොණ්ඩේ ගොතලා කෑම පෙට්ටි වතුර බෝතල් දාලා හය හමාර වෙද්දි වෑන් එකටත් යැව්වා.

“ ලොකු පුතේ හතට ඩොක්ටර් එනවලු.. තාත්තා නොම්බරයක් අරන් ඇවිත්.. “

බේතුත් එපා වෙනවා. නැගිටගන්න ගිහාම.. ඒතරම් මගේ ඇඟට පණ නෑ..

“ උණු වතුර ටිකක් ලිපේ තිබ්බා.. දුම් ටිකක් අල්ලලා ඒකෙන්ම මූණ හෝද ගමු.. යං..” අම්මා අණ කරද්දි මං අම්මා පස්සෙන් ගියේ සීට් එකත් ඔළුවේ පොරෝගෙන..

සැහ්.. කුස්සියේ එක ලූණු පොත්තක් නෑ.. ඒ තියා පොල් කුඩක්වත් නෑ ..අතුගාලා.. ලිපේ අළුත් අයින් කරලා. අම්මා ඔක්කෝම අස් කරලා.. තාත්තට ගෙනියන්න කෑම බැඳලා. උදේ කැමත් ලෑස්ති කරලා..



වතුර ටිකක් බොනකොටයි මං දැක්කේ සින්ක් එක ගාව තිබුණ තේක ඇල් වෙලා කියලා. ඒ අම්මගේ කෝප්පේ..

 හ්ම්ම්.. අපිට රහට තේ හදලා දෙන අම්මා හැමදාම බොන්නේ නිවිච්ච තේ නේද..

“ කෝ කෝ.. හැරි හැරි ඉන්න වෙලාවක් නෑ.. දුම් ටික අල්ලන්න.. නොම්බරේ පහු වුණොත් හවසට තමයි බේත් ගන්න වෙන්නෙ..”

මං දුම් අල්ලපු වතුර එකට ඇල් වතුර කලවම් කරලා අම්මා මට දත් බුරුසුව  ගෙනත් දීලා ගෙට ගියේ සිතල අල්ලන්නේ  නැතුව ඉක්මන්ට එන්න කියලා.

මං ගෙට එනකොට අම්මා මට ඇඳන් යන්න ඇඳුමක් අයන් කරලා එයත් ලෑස්ති වෙනවා. ඒ අතරේ තාත්තාගේ කෑම වල අඩු වැඩිය බෙදනවා.. තාත්තාගේ බේත් ලෑස්ති කරනවා.

“ ලොක්කා.. ඔළුව පීරගෙන ඉවර නම් එන්න බත් කටක් කවන්න.. “

“ බෑ අම්මා.. කන්න බෑ.. පිරියක් නෑ..”

“ ලුණු මිරිසකුත් හදලා තියෙන්නේ..”

“ කමක් නෑ ..ඇවිල්ලා කමු..”

“ එහෙනම් මේ සුප් කෝප්පේවත් බීලා යං.. නැත්තං එතන හිටන් ඉද්දි කලන්තේ එයි..”

අම්මා සුප් කෝප්පේ අරන් ඇවිත් මගේ අතට දික් කරද්දි මං අම්මා දිහා බැලුවේ පුදුමෙන්.. බත් උයලා මාලුපිණි දෙක තුනකුත් හදලා සුප් හදන්නත් අම්මට වෙලාව තිබ්බද කියලා.

“ බලන් ඉන්න නෙමේ දුන්නේ.. ඕක බොන්න වාඩි වෙලා.. “ මං පුටුවකට වෙලා සුප් එක බිව්වා.. ලොකුවට එළවළු දාලා තිබුණේ නැති වුණත් ගම්බිරිස් රහට සැරට තිබුණ හින්දා සුප් කෝප්පෙට බඩ පිරුණා.

තාත්තාත් ලෑස්ති වෙලා ඉවර වුණාම අපි තුන් දෙනා ගෙයින් එළියට බැස්සා. තාත්තා අපිව ඩොක්ටර් ගාවින් දාගෙන යන්නම් කිව්වා.

අපිට මහා ලොකු මිදුලක් තිබ්බේ නෑ.. ඒත් මිදුලේ ඉරටු පාරවල්.. අම්මා මිදුලත් අතුගාලා.

“ ඊයේ රෑ වැස්සද අම්මේ.... “ වාහනේට ගොඩ වෙන ගමන් මං අම්මගෙන් ඇහුවා.

“ නෑ..”

“ එහෙනම් අර මල් පැළ තෙමිලා තියෙන්නේ.. වැලේ රෙදිත් තෙමිලා..”

“උණ විකාරෙන් කියවනවද පුතේ .. “ අම්මා මගේ නළලට අත තියලත් බැලුවා.

“ අම්මා පැළවලට වතුර දාලා රෙදි හෝදලනේ..”

තාත්තා කියනවා. අම්මා හිනා වෙනවා. එයා හිතන්නේ මං උණ විකාරෙන් කියවනවා කියලා. නෑ මට උණ විකාරයක් නෑ.. මං කල්පනා කළේ අම්මා පැය දෙක තුනට මේ ඔක්කොම වැඩ කොහොම කරාද කියලා. එක හොද්දක් හදාගන්නම මට පැයක් යයිනේ..

බේත් අරගෙන ඉවරවෙනකම් ම අම්මා හිටගෙන.. මං හිතන්නේ පාන්දර හතරේ විතර ඉදන් තමා ඔය හිටන් ඉන්නේ.. මට එක පුටුවක් හම්බුණා වාඩි වෙන්න. අම්මා මාව ඒකේ වාඩි කෙරෙව්වා. අම්මා පව්.. මං මගේ පුටුව දෙන්නද ඇහුවත් එපා කිව්වා..

ගෙදර ඇවිල්ලත් අම්මා මට කෑම බෙදලා කැව්වා. බේත් ටිකත් ළඟටම ගෙනත් දුන්නා. විසබීජ කියලා මගෙ ඇඳේ සීට් මාරු කරලා අලුත් සීට් දැම්මා.. මට ඇඳට වෙලා ඉන්න කියලා අම්මා ඉතුරු වුණු මගෙ, තාත්තාගෙ නංගිගේ රෙදි සීට් අරන් ළිඳ ගාවට ගියා.

 උණයි බේත්වල සැරටයි මට ආපහු ඇහැරෙන කොට දවල් එකට විතර ඇති. අම්මා නාලා ඇවිත් මගේ නළලේ ඕඩික්ලෝන් තියලා.. ඔළුව අත ගගා ඉන්නවා.

“ ඇහැරුණා නේ.. බත් ටිකක් කමුද පුතේ... බේත් බොන්නත් තියෙනවනේ..”

“ හා..”

“ කන්න කලින් ලුණු වතුර ටිකකින් කට සෝදලා ඉන්න.. උගුරට හොඳයි ඒක..”

කෑමයි බීමයි ඔක්කොම ළගට අරන් අම්මා මං ගාවින් වාඩි වුණා. මට බත් කවලා බේත් දීලා අම්මා බත් කටක් කන්න ගන්නකොට තමයි නංගි ආවේ..

දඩිබිඩි ගාලා බත් කටක් දෙකක් කාපු අම්මා නංගිව නාවන්න එළියට ගියා. මට අම්මා පව් කියලා හිතුණා. වැඩ මත්තෙමයි. කෑමක් බීමක්වත් නෑ..

ඊට පස්සේ  ගෙට ඇවිත් නංගිටත් බත් බෙදුවා.. පස්සේ නංගිට තුන හමාරට පන්ති නිසා අම්මා නංගිවත් ලැස්ති කරගෙන එක්ක ගියා.

පන්ති ඉවර වෙන්නේ හයට. ටවුන් එකට ම ගිහින් ආයේ යන්නයි එන්නයි වෙලාව නැති හින්දා අම්මා නංගිව එක්කගෙනමයි එන්නේ.. ඒ එනකොටත් හතට විතර කිට්ටු වෙනවා.

ඒ ඇවිත් මටයි නංගිටයි තේ හදලා දීලා අම්මා ආයෙම වැඩ.. පොඩ්ඩක්වත් ඉඳගන්නේ නෑ.. දවස පුරාම හිටගෙන..පන්තිය ගාව පැය දෙකක්..ගෙදර ඇවිල්ලත් එහෙට මෙහෙට දුව දුව වැඩ.. ගේ අතුගානවා. පහන තියනවා. මං ඉතින් අමාරු නිසා ඇඳේනේ  හිටියේ..

“ අම්මේ.. පොඩ්ඩක් වාඩි වෙලා තේක බීලා ඉන්නකෝ.. අපිටත් දැන්මම බඩගිනි නෑ..”

“ ඕනේ නෑ ලොක්කා.. දැන් තාත්තා එන්නේ කන්න බලාගෙන..පව් මහන්සිත් ඇතිනේ.. අනික ඉක්මන්ට ඉව්වාම ලේසීනේ..”

අම්මා එතනත් හිතන්නේ එයාගේ සැප පහසුවට වඩා අපි ගැන.. එක තප්පරයක් වාඩි වුණේ නෑනේ ගිහින් ඇවිල්ලා.

අම්මා රෑට හදන්න ඕන ඔක්කොම දේවල් කපලා ෆ්‍රිජ් එකේ දාලා යනවා. ඇවිත් පට පට ගාලා උයන්නේ.. කොහොමහරි අට වෙන්න කලින් මාලු පිණි දෙකක් එක්ක බත් උයලත් ඉවරයි.

ඒ අතර තුර නංගිගේ ඉස්කෝලේ වැඩවලට උදව් වෙනවයි. එයා අහන ප්‍රශ්නවලට උත්තර දෙනවයි.. නිව්ස් දාලා ඒකත් අහන් ඉන්නවා. ටීවි එක දිහා බලන් හිටපු අපිට වඩා අම්මාට මතකයි මොනාද නිව්ස් කියන්න..

තාත්තා ආවාම එයාට කැම බෙදලා දීලා අපිටත් බෙදලා දුන්නා. මට බේත් වෙන් කරලා දුන්නා. අම්මත් කාලා ඉවර වෙලා කුස්සිය අස්පස් කරලා ඉවර වෙද්දි දහයටත් කිට්ටුයි.

මං ඇඳට වෙලා කල්පනා කළේ  අම්මා කොහොමද මේ වැඩ එකක්වත් මගාරින්නේ නැතුව කරන්නේ කියලා. ලාවට ඇස් පියන් හිටපු නිසා අම්මා හිතුවේ මං නිදි කියලා. මට නෙට් එක දාලා අම්මා මං ගාවින් ගියේ මගෙ ඔළුව අතගාලා.

අම්මේ.. ඔච්චර වැඩ ගොඩක් කරලා ඔයා කොහොමද උදේ පාන්දරම ආයෙ ඇහැරෙන්නේ.. ? නිදිමත නැද්ද.. ?මහන්සි නැද්ද.. ? පැය දෙක තුනට වැඩ කන්දරාවක් කරන්නේ කොහොමද .? ගේ අස්පස් කරන වැඩයි.. මල් පැළ සාත්තු කරන එකයි.. අහළ පහළ අයගේ සුව දුක් ගැනයි.. මේ ඔක්කොම ගැන ඔයා හොයලා බලන්නේ කොහොමද අම්මේ..? දවස් දෙකකට සැරයක් ආච්චි අම්මාටත් කතා කරනවා...

ඔයා කැමති දේවල් පැත්තක දාලා අපි වෙනුවෙන් එක දිගට වැඩ කරන්නේ..? ඔයාගෙ කෑම බීම අසනීප අමාරුකම් ගැන වගක්වත් නැතුව..? කකුල් දෙක රිදෙන්නෙම නැද්ද අම්මේ..?

අපේ ඉස්කෝලේ වැඩවලටත් උදව් දෙන ගමන්.. අපිට හොඳ නරක කියලා දෙන ගමන්.. අම්මා දන්නේ නැති දේකුත් නෑ.. හැමදේම දන්නවා.. හැම ප්‍රශ්නයකටම අම්මා ළඟ උත්තර තියෙනවනේ .. මේ ඔක්කොම කරන්නේ කොහොමද..?

තාත්තවත් හොදින් බලාගෙන අපිවත් හොදින් බලාගෙන අපි පුංචි කාලෙදි එහෙම මේ ඔක්කොම තනියම කොහොමද කළේ.?

අනේ මට නම් බෑ අම්මේ.. හරි මහන්සියිනේ එතකොට.. මෙච්චර වැඩ ගොඩක්..?

මං ඔයාලගේ අම්මනේ පුතේ.. මං නැත්තම් කවුද මේවා කරන්නේ.. ආ..

අම්මේ.. මං ඇස් අරිනකොට අම්මා මං ළඟ..

ලොක්කා.. ඇයි පුතේ.. ඔයා මොනවදෝ හීනෙන් කියවනවා ඇහුණ නිසා මං ආවේ..

මගේ ඒ සද්දෙත් ඇහුණද අම්මට.. මට නම් නිදන් ඉන්න වෙලාවට කෝච්චියක් ගියත් ඇහැරෙන්නේ නෑ..

ෂික්  .. අයියෝ ඒත් මං ඒවා අම්මට ඇත්තටම ම කියලා නැද්ද එතකොට.. මං මගෙන් ම ඇහුවා.

“ මං ආදරෙයි අම්මා ඔයාට ගොඩක්..” මං අම්මව තුරුල් කර ගත්තා.

“ දැන් නිදා ගන්න පුතේ.. පාන්දර දෙකටත් කිට්ටුයි දැන්..” අම්මා තව ටිකක් වෙලා ඉඳලා මං ළඟින් නැගිටලා ගියා.

අපිට දැන් අම්මට උදව් කරන්න පුළුවන් වයස. පුංචි පුංචි වැඩ හැම එකකටම අම්මට උදව් වෙන්න ඕනේ.. නංගිටත් මේවා කියලා දෙන්න ඕනේ.. අම්මා කොයි තරම් අපි වෙනුවෙන් මහන්සි වෙනවද කියලා. නංගියි මායි දෙන්නම උදව් කළොත් අම්මගෙ වැඩ අඩු වෙයි.. මහන්සිය අඩුවෙයි.. පව්.. කකුල් අත පය කොයි තරම් රිදෙනවා ඇත්ද.. කිලෝ මීටර් බාගයක් දිව්වත් අපිට කකුල් රිදෙනවා.. අම්මා ගේ ඇතුළෙම කිලෝමිටර් සීයක් විතර ඇවිදිනවා ඇති.. කිව්වෙ නැති වුණාට කමක් නෑ.. අම්මට උදව් කරලම පෙන්වනවා එයා අපිට ආදරේ වගේම අපිත් එයාට ආදරෙයි කියලා..

 

නවෝදා දෙව්මිණි ප්‍රනාන්දු

ප්‍රථම වසර

අලෙවි කළමනාකරණ අංශය

 

වාණිජ හා කළමණාකරණ අධ්‍යයන පීඨය