දෙදෙනෙකු හදවතින් බැදීම නම් වූ බන්ධනයට ආදරය යන නාමය ලැබී ඇත. එම බැදීම් අතර ඇතැම් බැදීම් ඉතා සුන්දරව ගලාගෙන ගිය අතර ඇතැම් බැදීම් වලට ඇත්තේ ඉතා ඛේදනීය සමුගැනීම් ය. එකී බැදීම් වලට ඇති ඛේදනීය සමුගැනීම් නිසාම එවැනි බැදීම් බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇත. එය අදත් එදත් එසේය. අද සමාජයේ මෙන්ම අතීතයේ ද එවැනි වූ බැදීම් හා සමුගැනීම් බොහොමයක් තිබී ඇත. සාලිය, අශෝකමාලා කතාව ඉතිහාසයේ එන එක් පෙම් කතාවකි.එලෙසම ප්‍රමිලාගේ හා දස්කොන්ගේ ආදර කතාව ද  කාගෙත් ආදරයට ලක්වූ ඉතිහාසයෙන් හමු වූ එවැනිම පෙම් කතාවක් වන අතර එහි සුවිශේෂීත්වය වන්නේ එම ප්‍රේම වෘත්තාන්තයට හිමි වූ විරහව මුසු ඛේදනීය අවසානය නිසාය.

 එලෙස ඛේදනීය වූත් අනුවේදනීය වූත්  අවසානයක් සහිත  එම  ඉතිහාසගත පෙම්  පුවත වස්තු විෂය කර ගනිමින් බොහෝ කලා නිර්මාණ බිහි වී ඇති අතර ඒවාද උක්ත සඳහන් කළ පෙම් පුවත මෙන්ම බොහෝ  සහෘද සිත් සතන් ආක්‍රමණය කරන්නට සමත් වී ඇත. ජයලත් මනෝරත්නයන්ගේ   "සෙල්ලම් නිරිදු නාට්‍ය, කරුණාරත්න දිවුල්ගනේ ශූරීන්ගේ සක්මන් කරන මළුව පාළුයි දේවී" ගීතය ඒ අතර ප්‍රධාන තැනක් ගනී. 

අද මේ ලිපිය තුළින් එකී දස්කොන් සහ ප්‍රමිලා ගේ අවසන් වූ ආදරය  මූලික කරගෙන ගොඩනැගුණු පෙම් පුරාවත වස්තු බීජය කරගනිමින් රත්න ශ්‍රී විජේසින්හ කිවිඳුන්ගේ පබැඳුම ට ලක්වූ, ගුණදාස කපුගේ ශූරීන්ගේ සංගීතයට නතු වූ කරුණාරත්න දිවුල්ගනේ ශූරීන්ගේ හා සමිතා මුදුන්කොටුව මහත්මියගේ මනරම් හඬින් සුවපත් වූ "සක්මන් කරන මළුව පාළුයි දේවී" ගීතයට විචාරයක් ඉදිරිපත් කෙරේ. මෙය මහනුවර යුගයට අයත්  ඉතිහාසගත කතාවකි.මෙහි එන දස්කොන් නමින් ප්‍රසිද්ධ තැනැත්තා පෘතුගීසි හා ප්‍රංශ  සම්භවයක් සහිත පුද්ගලයෙකු වූ අතර ඔහුගේ  සැබෑ නම ගැස්කොන් ය. පසු කාලීනව ඔහු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ අධිකාරම් ධූරයට පත්විය. එකල අදිකාරම් ධූරය වර්තමානයේ අග අගමැතිකම් හා සමාන ධූරයකි.  නරේන්ද්‍රසිංහ රජු රජකමට වඩා කෙළිලොල් ජීවිතයක් ගත කිරීමට පුරුදු වී  සිටියේය.  එලෙසම ස්ත්‍රීන් කෙරෙහි දැඩි ලොල් බවක් දැක්වූ නිසා ජනතාව අතර සෙල්ලම් නිරිඳු ලෙස මොහු ලෙස ප්‍රසිද්ධ විය. මෙහි ප්‍රමිලා නමින් ප්‍රසිද්ධියට පත් තැනැත්තිය එම නරේන්ද්‍රසිංහ රජුගේ බිසවයි. ඇගේ නිවැරදි නාමය වූයේ සුමිත්‍රා යන්නයි. ඒ අනුව මෙම ප්‍රේම සම්බන්ධය ගොඩ නැගෙන්නේ රජුගේ බිසවත් රජුගේ අදිකාරම් අතරත්ය.එම  සම්බන්ධය  රජතුමාට සැලවීම නිසා දඩුවමක් ලෙස  දස්කොන්ට තම ජීවිතය අවසානයේ අහිමි විය. මෙම නිර්මාණයට වස්තු විෂය වූයේ එම පෙම් කතාවයි. 

"සක්මන් කරන මළුව පාළුයි දේවී

මං විතරයි ඔබ කිසි දිනෙක නො ඒවි"

වෙනදා ප්‍රමිලා හා දස්කොන් යන දෙදෙනා එක්ව සක්මන් කළ සක්මන් මළුව අද පාළුවට  ගොස් ඇති බවත් අද එයින්  දස්කොන් පමණක් තනි වී ඇති බවත් ප්‍රකාශ කරයි. ඒ වගේම නැවත කිසිම  දිනක ප්‍රමිලාට දස්කොන් හා මෙම සක්මන් මළුවේ සක්මන් කිරීමට නොහැකි වනු ඇති බවත් ගීත රචකයා පෙන්වා දෙයි. ඒ  තුළින්  සහෘද සිත් වලට ගම්‍ය කරනුයේ ඔවුන් දෙදෙනාගේ රහස් ප්‍රේමය රජතුමාට හෙළිවී ඇති බවයි. එලෙසම උක්ත පද්‍ය පන්ති දෙකෙන් දස්කොන් ගේ සිත තුළ ඇති අහිමිවීමේ වේදනාව ඉතා අපූරුවට පෙන්නුම් කරයි.

"ඉක්මන් ගමන් එපා පා පැකිලේවී

දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී"

 මෙහිදී ප්‍රමිලා දස්කොන් ට පවසනුයේ ඉක්මන් ගමන් එපා පා පැකිලේවී යනුවෙනි. එසේනම් දස්කොන් අද සක්මන් මළුවේ සක්මන් කරනුයේ වෙන්දාමෙන් නිවිහැනහිල්ලේ නොව ඉක්මන් අඩි තබමිනි.  එලෙස ඉක්මන් අඩි තබමින් ගමන් කිරීම තුළින් දස්කොන් ගේ සිතෙහි ඇති නොසන්සුන් භාවය ප්‍රකට කරයි. එකී නොසන්සුන් භාවයට හේතුව ඔහුගේත් ප්‍රමිලාගේත් රහස් ප්‍රේමය රජතුමාට අණාවරණය  වීමයි. ඒ නිසා අනාගතයේ දී ඔවුන්ට ඇති විය හැකි ගැටලු නිසා ඔහුගේ සිත කනස්සල්ලට පත්වී ඇත. ඔහුගේ සිතේ ඇති වී ඇති කණස්සල්ල ඔහුගේ බාහිර ක්‍රියාවෙන් හරි අපූරුවට  ප්‍රතිරූපණය කිරීමට ගීත රචකයා සමත් වී ඇත. එලෙසම අවසානයේදී ප්‍රමිලා ප්‍රකාශ කරන්නේ දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී යනුවෙනි. එනම් ප්‍රමිලා රජතුමාගේ බිසව වුවත් ඇය හදවතින් දස්කොන්ගේ ප්‍රේමිය, කුමරිය බව ප්‍රකාශ කරයි. රජුගෙන් නොලැබුණු ප්‍රේමයක් දස්කොන්ගෙන් ලැබීම නිසා ඇයත් දස්කොන්ට බෙහෙවින්ම ප්‍රේම කරන බවත්, එනිසා තමන් ප්‍රාර්ථනා කරන්නේ දස්කොන්ගේ ඇසුර පමණක් බවත් රජුගේ ඇසුර නොවන බවත් ඒ ප්‍රකාශ තුළින් පැහැදිලි කරයි. එලෙසම ප්‍රමිලාගේ සිතේ දස්කොන් කෙරෙහි ඇති අව්‍යාජ ප්‍රේමය ඒ ප්‍රකාශය තුළින් ගම්‍යමාන කරයි. 

"සෙංකඩගල වට  කළ පවුරු වළල්ලේ

පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ"

ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය රජුට ආවරණය වීමත්, ඒ නිසා එම ප්‍රේමය පෙරමග නැවැත්වීමට සිදුවීමත් යන කරුණ නිසා මෙතෙක් කාලයක්  ඔවුන්ගේ ප්‍රේමයට ආශිර්වාද කරමින් පෙම් ගී ගැයූ විහඟුන්  ද ශෝකයට පත් වී  සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ හැපී මියැදෙන බව ප්‍රකාශ කරයි. එනම් ඔවුන්ගේ ප්‍රේමයට සොබාදහමේ ද ආශිර්වාදය ලැබී ඇත.

"රන්තරු දෑස පියන රෑ හඳපානේ

අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ"

එලෙසින් දස්කොන් තමාගේ වේදනාව සභාව ස්වභාවධර්මය හා ගළපමින් ප්‍රකාශ කරද්දී ප්‍රමිලා ප්‍රකාශ කරනුයේ රන්තරු දෑස පියන රෑ හඳපානේ එනම් මැදියම් රැයේ පවා අත්තන මලක් වෙලා හදවතින් ඔහු ළඟම රැඳෙන බවයි. අත්තන මල් යනු ඉතා සුවඳවත් මල්  විශේෂයකි. කෙස් වුවද ඒ තුළින් ඔවුන්ගේ ආදරයේ ඇති අව්‍යාජ සුවඳ පෙන්නුම් කරයි. එලෙසම අත්තන මල් වල ඇට්ට්‍රොගන් නම් රසායනිකය අඩංගු බවත්. එකී රසායනිකය තුළින් උන්මාදයට පත් කරන බවත් විද්‍යාවේ පැහැදිලි  කරයි. එනම් අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ යනුවෙන් ප්‍රකාශ කරන්නේ ඔවුන් වෙන්වුවත් උන්මාදයෙන් යුතුව ඇය  සුපුරුදු  පරිදි ඔහු ළඟින්ම සිටින බවයි.

"වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ

දෑසින් වැටෙන කඳුළු මට සිහිනොවුනේ"

 තමාගේ ප්‍රේමය තමාට අහිමි වීම නිසා ඉතා කණස්සල්ලෙන් සිටින මෙම පෙම්වතාට රාජසභාවේදී පවා තමන් සිටින්නේ කොහෙදැයි අමතක වී ඇත. තමන්ගේ සිතේ ලැගුම් ගෙන ඇති විරහ වේදනාව කොතරම් ද යන්න පිළිබඳව ඒ අවස්ථාවේ දී ඔහුගේ ඇසෙන් කදුළු වැටුන බව ප්‍රකාශ කරමින් සහෘදයාට පෙන්වා දීමට ගීත රචකයා සමත් වී ඇත. සාමාන්‍ය සමාජයේ මතයක් වන්නේ පිරිමින්ට හැඬීම තහනම් බවයි. ඔවුන් සියල්ල දරා ගත යුතු බවයි.  එම නිසා අද සමාජයේ මෙන්ම එදා සමාජයේ ද බොහොමයක් පිරිමින් බොහෝ දේ දරා ගත්තේ බාහිරව කඳුළු වගුරවමින් නොව සිත් යටින් හඬා වැළපෙමිනි. ඔවුන් එයට පුරුදු වී ඇත. නමුත් මෙහිදී දස්කොන්ගේ ඇස්වලින් කඳුළු කඩා වැටෙයි. කිසි දෙයකට නොහඬන පිරිමින් පවා හඬවන මට්ටමට ම ප්‍රේමය බලවත් ය. රාජ්‍ය තාන්ත්‍රිකයෙක්යෙක් අඬන මට්ටමට පත් කිරීමට තරම් එම ප්‍රේමය බලවත් වී ඇති අයුරු ගීත රචකයා පෙන්වා දෙන්නේ එලෙසිනි. 

"ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ

මා තනිකරන්නෙපා මතු සංසාරේ"

අවසානයේදී ප්‍රමිලාව ඉතා අවිහිංසක  ඉල්ලීමක් කරයි. එනම් මේ ආත්මභාවයේ දී ඔවුන් වෙන් වූවුවත් මතු සසරෙදි එසේ තමාව තනි නොකරන ලෙසයි. තමාගේ නීතිමය වශයෙන් ස්වාමියා රජතුමා වෙද්දී ඇය මතු සසරෙත් පතන්නේ තමාගේ අනියම් ප්‍රේමය වූ දස්කොන් ව ය. එලෙස ඇය දස්කොන් ව ම පතනුයේ රජුගෙන් නොලද ප්‍රේමය දස්කොන්ගෙන් ම ලැබුණු නිසාවෙනි.

රජුගේ බිරිඳ වූ ප්‍රමිලා මෙලෙස රාජ්‍ය නිළධාරියෙක් වූ දස්කොන් සමඟ ප්‍රේමය බැදීම නිසා ඇය එදා මෙන් අදත් බොහෝ දෙනාගේ නින්දාවට ලක් වෙයි. ඇය ඉතා නරක ගැහැණියක ලෙස බොහෝ තැන්වල සඳහන් කර ඇත. ප්‍රේමය සැමට ඇවැසි දෙයකි. ඒබ්‍රහම් මාස්ලෝට අනුව එය මිනිස් අවශ්‍යතාවයකි. ඉතිහාසයට අනුව රජු වෙසෙන්නෙත් බිසව වෙසෙන්නෙත් මාළිගා දෙකකය. එම නිසා සෑම කාන්තාවක්ම තම ස්වාමියාගෙන් මූලිකව බලාපොරොත්තු වන්නාවූ ආදරය, කරුණාව මෙන්ම අවධානය ද ප්‍රමිලාවට මඟ හැරී යයි. සිය ස්වාමියාගෙන් නොලැබෙන ආදරය ආදිය දස්කොන්ගෙන් ලැබෙන විට ඇය ඔහු සමග බැදීම සාධාරණය. එය ඇයට මතුනොව ඕනෑම කාන්තාවකට, පිරිමියෙකුට පොදු ය. වෙනසකට ඇත්තේ ඇය රජ බිසවක් විම පමණී. රජ බිසව තුළ සිටින්නේද සාමන්‍ය කාන්තාවකි. ආදරයේ හිස්තැනක් ඇති වු විට එයට ‍යක්කු රින්ගනවාය යන ගැමි මතය සත්‍යය.එසේම රජතුමා ස්ත්‍රී ලොල්ව, අන්තඃපුර බිසෝවරු පිරිවරින් වෙසෙද්දී ප්‍රමිලාව අවංකව එක් පුරුෂයකු හා බැදීමේ වරදක් නැත. 

එලෙසම කාන්තාවන් කවදත් ආදරයට ලෝභය.කෑදරය. ආදරය වෙනුවෙන් ඔවුන් ඇතැම් විට බොහෝ දේ අත්හරින්නට ද පසුබට නොවෙයි. නැන්දම්මා ලේලිය අතර ඇතැම් විට ගැටුම් ඇති වන්නේද මේ නිසාය. එලෙසම ආදරයේදී මෙන්ම ආදරය අත්හැ‍රීමේදී, එය පරිත්‍යාග කිරීමේදී කාන්තාව පුරුෂයාට වඩා ශක්තිමත්ය. ආදරයේදී ද ඔවුන්ගේ දරා ගැනීමේ ශක්ති‍ය ඉතා ඉහළය. මෙම ගීතයේද ආදරය අහිමිවීම නිසා දස්කොන් දැඩි කනස්සල්ලට ලක්ව සිටිද්දී ප්‍රමිලාව එය උපේක්ෂාවෙන් දරාගනිමින් දස්කොන්වත් අස්වසන අයුරු එම වචන තුළින් ගම්‍ය කරයි.

ගීතයේ යොදාගෙන ඇති වචන හා පද භාවිතය ඉතා අපූරුය. ඉතා සරල බස්වහරක් යොදා ගැනීම මගින් මෙන්ම ඇතැම් තැන්වල ගැමි බස් වහර යොදා ගැනීම නිසා ගීතය ඉතා පහසුවෙන්  සහෘදයාට තේරුම් ගැනීමට හැකියාව ඇති අතරම එම වචන හා පද පේළී සහෘද මනස තුළ චිත්‍ර රූපයන් ජනනය කි‍රීමට සමත් වී ඇත. මේ සියල්ල රත්න ශ්‍රී  විජේසිංහයන්ගේ  ප්‍රතිභාව කියාපායි.  

එලෙසම යොදාගෙන ඇති තනුව හා සංගීතය ගීතයේ අරුත තීව්‍ර කිරීමට සමත් වී ඇත, එම තනුව හා සංගීතය  ශෝකානුකූල බව හා වෙන්වීමේ වේදානාව තීව්‍ර කර දක්වයි. ඉතා ශෝකානුකූල සංගීතයක් ගීතය පුරාවටම යොදාගෙන ඇත. එලෙසම ගීතය ගීතවත් වන දිවුල්ගනේ,සමිතා හඩ ද්විත්වය ඉතා හොදින් ගැළපී යයි.

 

මධුෂ ලක්ෂාන්

විශේෂවේදී පළමු වසර

මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය

ජනසන්නිවේදන අධ්‍යනාංශය

කැලණිය විශ්වවිද්‍යාලය

 

සිතුවම - ප්‍රසන්න වීරක්කොඩි