සෑම බැඳීමක ම බර තීරණය වෙන්නෙ ඉතිහාසයත් එක්ක. ඉතිහාසය විසින් ඒ ඒ බැඳීම් වෙත කොච්චර බරක් දීල තියනව ද කියන එක මත තමයි ඒ බැඳීම්වල බර තිරණය වෙන්නෙ. හැම බැඳීමක් ම බැඳීමක් විදිහට නැඟී සිටින්නෙ මේ ඓතිහාසික බරත් දරාගෙන. සමහර බැඳීම් ඉතිහාසයේ බරත් එක්කයි සෑහෙන්න තදින් අපිට දැනෙන්නෙ. පෑරෙන්නෙ. කාලය කියන්නෙ ඉතිහාසයේ නිර්මාණකරු. ඉතිහාසයේ ධාරිතාව තීරණය කරන්නෙ කාලය. කාලය හා අවකාශය කියන්නෙ ගැඹුරු විෂයක් විද්‍යාව ඇතුළෙ. ඒ මොනව උනත් කාලය විසින් ධාරිතාව තීරණය කරගෙන ඉතිහාසය විසින් අපේ බැඳීම්වලට ඉසිලිය නො හැකි බරක් ලබා දෙනවා. ඒ බර කොච්චර ද කියනව නම් තමන්ගෙ බැඳීම් බිදෙද්දි කම්පා වෙන්නෙ, තිගැස්සෙන්නෙ, හඬා වැටෙන්නෙ ඊටත් එහාට ගිහින් තමන්ට අහිමි වන බැඳීම වෙනුවෙන් තමන්ගෙ ජීවිතය පවා නැති කරගන්නෙ ඉතිහාසය විසින් බැඳීමකට දීල තියන බරත් එක්ක. ඉතිහාසයේ බර මනින දී කාලය මනින ඒකකයක් තියනවා. ඒ තමයි මතක ය. මතකයේ එක්ක භාවිතා කරල බැඳීමක ඉතිහාසයේ බර මනින්න අපිට පුලුවන්.

ඒ විදිහට මනිද්දි අපිට තේරෙනවා සමහර බැඳීම් එක්ක අපි ගත කරල තියෙන්නෙ බොහොම කුඩා කාලයක්. ඒත් අපි සටහන් කර ගන්න මතකයන් ප්‍රමාණය වැඩියි. සමහර බැඳීම් සෑහෙන්න කාලයක් සහිත උනාට මතක සීමිතයි. ඒ නිසා ඒ බැඳීම්වලට එකතු වෙන මතකයේ බර කුඩයි. මේ නිසා බැඳීමක කාලය මනින්නෙ සාමාන්‍ය ජොර්ජියානු කැලෙන්ඩරය අනුව නෙවෙයි මතකවල ධාරිතාවට අනුව. මේ නිසා ඉතිහාසයේ බර සමීකරණයකින් පහළ ආකාරයට සාධනය කරල අපිට පෙන්නන් පුලුවන්.

                 කාලය = ඉතිහාසයේ බර

නමුත්,     

                කාලය = මතක ධාරිතාව

එමනිසා, 

               මතක ධාරිතාවය = ඉතිහාසයේ බර

උදාහරණයකින් අපි මේ දේ පැහැදිලි කරගත්තොත් අපි ගොඩක් ළඟින් ඇසුරු කරපු කෙනෙක් අපෙන් වෙන් වෙන්න පුලුවන්. ඇය / ඔහු තමන්ගෙ ජීවිතයේ ඉතා ම පුංචි කාල පරාසයක් නියෝජනය කළත් අපිට තදින් එයාව දැනෙනවා නම්, අපිට ඒක පැහැදිලි කරගන්න වෙන්න ඉහත සමීකරණයෙන්. තමන්ට එයාව කොච්චර පොඩි කාලයකට තමන් ළඟට ඇවිල්ල ගියත් මතකයන්වල ප්‍රමාණය සංඛ්‍යාත්මකව වගෙ ම ප්‍රමාණාත්මකව බොහොම විශාලයි නම් අපිට ඒ කෙනා ව නැතුව ම බැරි වෙන්න පුලුවන්. ඒක තමයි අපේ ඒ බැඳීමට නිශ්චිත කාලයකදි දුන්න ඉතිහාසයේ බර. ඒ ඉතිහාසයේ බරින් අපිට අපි මැරෙනකන් නිදහස් වෙන්න බැරි වෙන්න පුලුවන්. බැඳීමක වටිනාකම ඉතිහාසය බරට අදාළව කවදාවත් කාලය එක්ක විතරක් අපිට තීරණය කරන්න බෑ. කොච්චර පොඩි කාලක දී වුණත් අසීමිත මතක වර්ෂාවක් තමන් මතට කඩා වට්ටන කෙනෙක් අහිමි කරගන්න එක හොඳ නැති වෙන්නෙ කාලය කෙටි වුණත් අපි නොදැනම අපි විසින් ඒ කෙනාට දෙනා ඉතිහාසයේ බර අසීමිතිව වැඩි නිසයි.

ඒ නිසා කුඩා කාලයක දී විශාල මතක ධාරිතාවක් සහිත විසල් ඉතිහාස බරක් දාරා ගත්ත කෙනෙක් අහිමි කරගන්න කලින් දෙපාරක් හිතන්න!

ඉසුරු උදාකර යකන්දාවල

දෙවන වසර

භූගෝල විද්‍යා අධ්‍යනය අංශය

සමාජ විද්‍යා පීඨය