මම පුටුව කරකවමින් රාත්‍රී අටේ කණිසමට කටු ළංවෙන තෙක් බලාගෙන සිටියෙමි. කඩේ වසා ගෙදර යෑමට වෙනදාට වඩා දැඩි උනන්දුවක් මා තුළ තිබිනි. මිනිත්තු කිහිපයකට පෙර ලැබුනු දුරකථන ඇමතුම එයට ප්‍රධාන හේතුව විය.

 "රවියා, දඩ මසක් තියෙනවා. බෙංගමු හන්දියෙන් වමට දාලා පොඩ්ඩක් කැලේට වරෙන්"

ලසාගෙන් ලැබුනු ඇමතුම මගේ සිත තුළ දෝංකාර දෙන්නට විය. කලකින් දඩ මසක් රස බැලීමට අවස්තාවක් හිමි වීම පෙර පිනක් පඩිසන් දුන්නාක් මෙන් මට හැගිනි. වෙනදාට වඩා හිමින් ඔරලෝසුවෙ කටු කැරකෙනවා දැ'යි මට සැක සිතිනි.

කෙමින් බිත්ති ඔරලෝසුවෙ කටුව අටේ ඉලක්කමට ළගා වෙනවාත් සමගම කඩේ දොරවල් අගුලු දැමූ මම යතුරු පැදියට ගොඩ වූයෙමි. යතුරු පැදිය පනගන්වා මද දුරක් ගමන් ගද්දී වෙනදාට සීතලක් ඇඟට දැනුනෙ වැස්සක් පෙර නිමිති කියා පාමිනි. කෙසේ වුවද මිනිත්තු කිහිපයකින්ම බෙංගමුව

වංගුවට යාමට  හැකිවුනි. මම යතුරු පැදිය අයිනකට කර නවතා තබා කැලයට අඩිය තැබුවෙමි. වෙනදාට වඩා කලුවර අහස් කුස නිසාම වනාන්තරය තවත් ගණව අදුරු වී තිබුනි. දුරකතනයෙහි විදුලි පන්දමෙහි ආලෝකයට එම අදුර පලවා හැරීමට නොහැකි වුවද ඉවෙන් මෙන් ගමන් කිරීමට මට එම එළිය හොදටම ප්‍රමාණවත් වුනි.

"ආ.. රවී උබ ටිකක් පරක්කුයි" එතෙක් අඩ අදුරේ සිටි ලසා මගේ දුරකතනයෙහි ආලෝකය දුටු විගසම පැවසුවේය.

"කඩෙත් වහල එපැයි බන් එන්න" මම දඩමස් ඉවර වී ඇතැයි යන සිතුවිල්ල නිසාම කනස්සල්ලෙන් කීවෙමි..

" උබට මං පස්ස ගාතෙන් උතුරු කරගත්තා" ලසා සිනාසෙමින් පැවසුවේය. දුරකතනයෙහි ආලෝකය මුහුණට වැටුනු නිසාම ඔහු මදක් අපහසුවට පත්ව ඇති බව මට හැගුනි. එම නිසාම මම එය නිමා දැමුවෙමි. 

 මස් වැදැල්ල ගහල කොලයක එතූ ලසා, එය පොලිතින් කවරයකට දමා මට ලබා දුන්නේය. 

  "අද නම් සල්ලි නැ මචන්, හෙට සෙට්ල් කරන්නම් ඈ"

  "ඒක කවද උනත් මොකද  බොසා එහෙනම් පරිස්සමෙන්. තුණුරුවනෙ සරණයි"

 මම සිනහවකින් සංග්‍රහ කරමින් ඔහුට සමු දුන්නෙමි. නැවත දුරකතනයෙහි ආලෝකය දමා ගත් මම කෙම්න් වනාන්තරයෙන් පිට වූයෙමි. මා  යතුරුපැදිය පනගන්වා ටික දුරක් ගමන් කරද්දි යාන්තම් පොදයක් පතිත වන්නට විය.

මාර්ගය වෙනදාට වඩා නිසොල්මන් බවක් පෙනෙන්නට තිබුනි. කිලෝ මිටරයක් පමණ පැමිණෙන තෙක්ම මා පසුකර ගියේ එක් වාහනයක් පමණි. මම  ප්‍රධාන මාර්ගයෙන් ගුරු පාරට හැරෙව්වෙමි. තැනින් තැන වලවල් පැවතීමත්,මද වැස්ස නිසා මාර්ගය ලිස්සීමත් නිසා එහි ගමන තරමක් අසීරු එකක් විය. ගෙදර ගොස් මස් රස බලන ආකාරය සිතමින් සිටි මගේ සිත චංචල වූයේ තව මොහතකින් පසු කළ යුතු සතර මං සන්දිය මතක් වීමෙනි. සතරමං සන්දිය ගැන අසා තිබූ කතාවන් එකින් එකට මගේ සිහියට ගලා එන්නට විය, එහි එක්පසක පාලුවට ගිය ටැංකි ලිඳකි. ඇතැම් දිනවල එහි තබා තිබූ පෙරේතතටු මට මැවී පෙනෙන්නට විය. ගම්මුන් එකෙකු හෝ රාත්‍රී කාලයේ මෙම ස්ථානය පසුකර ගියේ ඉතා කලාතුරකිනි. අමු මස් ද රැගෙන මෙය පසු කර යෑම ඉතා අන්තරාදායක දෙයකි. මම සිත දැඩි කර ගත්තෙමි. පුලුවන් වේගයෙන් එතනින් ගමන් කිරීමට ඉටා ගත්තෙමි. ඇස්ලේටරයේ කොනටම අල්ලා මංසන්ධිය පසුකරන විටම එක් මනුෂ්‍ය කටහඩවක් ඇසෙන්නට විය.

"රවී, රවී, ඔහම ඉදහන්" 

මා තිගැස්සිනි. එය ඉතාමත් ගොරෝසු හඩකි. කාන්තාවකගේද පිරිමියෙකුගේ ද යන්න පැහැදිලි නැත. ඒ සමගම සිතුවිලි දාමයක් මනසෙහි චිත්‍රණය වන්නට විය.

මට කතා කලේ  මීට වසර දහයකට පමණ ඉහතදී , සතරමං සන්දියේ ඇති ටැංකි ලිදට පැන දිවි හානි කරගත් කාන්තාව විය යුතුය. සැබවින්ම මා පෙරේත දිෂ්ඨියකට හසුවී තිබේ. කිසිවක් සිතා ගැනීමට නොහැකි ඌ මා, උපරිම වේගයෙන් යතුරුපැදිය ධාවනය කළෙමි.කුමක් හෝ පෙර පිනකට ගෙදර තෙක් පැමිනීමට මට හැකිවිනි. ඒ වෙද්දිත් නිවසෙහි දොර වසා තිබූ බැවින් උපරිම වෙර යොදා දොරට තට්ටු  කළෙමි. තුන් වතාවක් දොරය තඩිබාද්දී තාත්තා විසින් දොරට තට්ටු කෙරුවෙමි.

 "මොකෝ මේ, දොර කඩන්න හදන්නේ"

"තාත්තෙ, මට ටැංකි ළිඳ ගාවදි කතා කරා..මසුත් අරගෙන ආවෙ" මම නළලෙහි දහඩිය පිසමින් කීවෙම්.

 "හත්තිලව්වයි පොඩ්ඩක් ඉන්නවා, ගෙට එන්න එපා" තාත්තා කීවෙය. ඒ වන විටත් නිවසේ සියල්ලන්  එළියට පැමින තිබුනි. "නොරිස්සුම් බැල්මක් හෙලූ අම්මා "මොකක්ද උනේ," ලෙස පැවසුවාය.   

"මොකක්ද වෙන්නෙ,මං කියල තියෙනවා ඔය ජරාව ගෙදරට ගේනකොට, දැන් ඔය වැටිලා තියෙන්නෙ පෙරේත බැල්ම" මා උත්තර දීමට පෙර අත්තම්මා මා දෙසට කඩගෙන පැන්නාය.

"හරි හරි පොඩ්ඩක් පැත්තකට වෙයල්ල" කියමින් , තාත්තා  මොනවදෝ මතුරමින් මගෙ හිසට වතුර ටිකක් හැලුවේය.

 "කහ වතුර ටිකක් ඉස්සා, දැන් ගිහින් නාගන්නවා. ඔය මස් වැදැල්ල විසි කරපන්"

මම හිස සැලුවෙමි. නාන කාමරයට ගොස් හොදින් නා පිරිසිදු වූයෙමි. ඒ වෙද්දි  බය තරමක් අඩුවී තිබුණද පහව ගොස් තිබුණේ නැත. රාත්‍රී ආහාර ගැනීමට කිසිදු පිරියක් මා තුළ නොතිබුනි. ආහාර නොගෙනම ඇදට පැමිණි මට නින්දද අහලකවත් නොතිබිණි. 

වසර ගණනාවකට පෙර ළිඳට මැරුණු කාන්තාව බැලීමට මා ද ගිය බව සිහියට නැගුනි. එදින සුදුමැලිව තිබූ සිරුර, කන් හා නාසවලින් බේරි ගිය ඕජස් සිහියට නැගෙත්ම මා තවත් වෙව්ලන්නට විය. යතුරුපැදියෙන් එන විට ඇසුනු හඩ නැවත නැවත දෝංකාර දෙන්නට විය. මොහතකින් තාත්තා විසින් ගුවන්විදුලියෙහි පිරිත් දමනු  ඇසිනි. එයටම සවන් යොමා  සිටි මා කෙමින් නින්දට වැටුනි.

උදෑසන අවදිවෙන විට මට හොදටම උණ ගැනී තිබුණි. ඇඳෙන් බැසීමට මැලිවු මම රෙද්ද හොදට පොරවා ගතිමි. ඒත් සමගම යම් සංවාදයක් මගේ සවනට නැගුණි. "ඔව් මාමේ වෙනිවැල්ගැට කෑල්ලක්වත් බොන්න ඕනෙ ,උගුර හොදටම බැලෑන්සි වෙලා,කතා කරන්නත් අමාරුයි"

 "ඔව් මේ දවස්වල කාටත්ම ලෙඩ ,කාලෙකින්නෙ වහින්නෙත්" 

තාත්තා සමග කතා කරන ආගන්තුක කටහඩ මට ඉතා හුරු වුවද එය කාගේ දැයි නිශ්චිතව හදුනාගැනීමට මම අපොහොසත් වීමි.ඔහුගේ කටහඩේ වෙනස එයට හේතුවිය හැකි නිසා මම තවත් හොදින් එම සංවාදය අසා සිටියෙමි.

"මාමෙ මල්ලි තාම නිදිද?"

 "ඔව්, මයි හිතේ"

"ඒක නෙවෙයි මාමෙ, ඊයෙ ටැංකි ලිද ගාවදි. මල්ලි යනවා දැකලා කතා කරා, මේ යකා රේස් කරගෙන ගියානෙ"

එක්වරම නැගුණු තාත්තගෙ කොක් හැඩලිම. මුලු ගෙදරම දෙවනත් කළේය.

"ඒයි ලතෝ,මෙන්න ඊයෙ අපේ එකා භයවුනු හොල්මන ඇවිත් "

 

සමාප්තයි.

 

රවිදු ධනංජය 

දෙවන වසර

මූල්‍ය අධ්‍යයන අංශය

කළමනාකරණ හා වාණිජ පීඨය