සමාජ මාධ්‍ය තරම් ප්‍රබල මාධ්‍යක් වර්තමානයේ තවත් නැත. තොරතුරු සන්නිවේදනය කිරීමටත් මිතුරු සම්බන්ධතා යාවත්කාලීන කරගැනීමටත් ආරම්භ වූ සමාජ මාධ්‍යය  අද ඉන් ඔබ්බට ගොස් රටක සමාජ, දේශපාලන, ආර්ථික හා ආගමික තලයේ විවිධ ජනමත නිර්මාණය කිරීමට සංවිධානය කිරීමට හා සමාජ විප්ලවයන් සිදු කිරීම දක්වා නොසිතු විරූ ගමනක් පැමිණ ඇත. අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය නොමැතිව දවසක් ගත කිරීමට පවා නූතනයේ මිනිසාට හැකියාවක් නැත.  කොවිඩ් වසංගතයත්  සමඟ මෙරට පුළුල්ව මාර්ගගත අධ්‍යාපනය ව්‍යාප්ත වූ අතර කුඩා දරුවාගේ  පටන් වැඩිහිටියා දක්වා සමාජ මාධ්‍ය භාවිත කරන පිරිස ඉහළ ගියේය. මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන රටාවේ සමාජ මාධ්‍ය භාවිතය සඳහා වැදගත් ස්ථානයක් හිමි වේ. සමාජ මාධ්‍ය නිසා අන් කවරදාටත් වඩා විශ්වවිද්‍යාල සිසුන්ට මාර්ගගතව විවිධ වැඩසටහන් සංවිධානය කිරීමටත්, ලොකයේ දැනුම ලබා ගැනීමටත්, නැවුම් අත්දැකීම් ලබා ගැනීමටත්, රටේ පවතින විවිධ සමාජ, දේශපාලනික, ආගමික හා ආර්ථික මති මතාන්තර වෙනුවෙන් ක්‍රියාකාරීව සම්බන්ධ වීමටත් හැකියාව ලැබිණි.

සැම සන්නිවේදන මෙවලමක භාවිතයේ හොද නරක ප්‍රතිපල ඇති අතර සමාජ මාධ්‍ය සතු ශක්තිය යහපත්ව භාවිත කිරීම සෑම පුද්ගලයෙකුගේම යුතුකමකි. රටක චින්තනය නිර්මාණය කරන ප්‍රධාන ස්ථානය විශ්වවිද්‍යාලයයි. විශ්වවිද්‍යාලයෙන් බිහිවෙන විද්‍යාර්ථීන්  සමාජ මාධ්‍ය භාවිතයේ ඉහළ සාක්ෂරතාවයක් ලබා තිබීම අනිවාර්ය ය. රටක  අධ්‍යාපනය එරට සංවර්ධනය මූලික අඪිතාලමකි. ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ආර්ථික වතාවරණය තුළ සමාජ මාධ්‍යය හා අධ්‍යාපනය පැතිකඩින් විශ්වවිද්‍යාල ප්‍රජාවට සමාජ ප්‍රගමණයට සිදු කළ හැකි මෙහෙය අපමණය. කොවිඩ් වසංගතය හේතුවෙන් අධ්‍යාපන කටයුතු නිසි ලෙස ඉටු කරගැනීමට නොහැකි වූ දරුවන් වෙනුවෙන්, ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සමාජ මාධ්‍යය පෙළගැස්වීමේ කාර්යය එහි එක් පියවරකි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භවිතයේ යහපත් අයහපත් ප්‍රතිපල, එය නිසි පරිදි සමාජ දියුණුවට භාවිත කරන්නේ කෙසේද යන්න ගැන ප්‍රජාව දැනුවත් කළ යුතුය. ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල මූලික වූ පිළිගත් විශ්වසනීය ක්‍රමවේදයක් සකස් විය යුතුය. විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න විද්‍යාර්ථීන්ට ද සිය නව දැනුම බෙදා හදා ගැනීමට, ඉන් ආර්ථික වාසියක් ලබා ගැනීමටද මින් අවස්ථාව ඇත. සරසවි විද්‍යාර්ථීන්ට කණ්ඩායම් වශයෙන් හෝ තනි තනිව මේ සඳහා ක්‍රියාත්මක විය හැක.  එය  මෙරට අධ්‍යාපනයට කොවිඩ් වසංගතය හා රටේ අර්බුදකාරී පරිසරය තුළ ඇති වූ හානියෙන් යම්තාක් දුරකට ඉහළට ඔසවා තැබීමට ඉවහල් වනු ඇත. 

සටහන - සංස්කාරක