ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවත්නා ආර්ථික අර්බුදය සැම ක්ෂේත්‍රයකම දෛනික ක්‍රියාකාරකම් සඳහා සෘජුව බලපා තිබේ. එහිදී අධ්‍යාපනය සඳහා ඇති වී තිබෙන බලපෑම අති මහත්ය. පෙර පාසල් අධ්‍යාපනය හා වසර දහතුනක පාසල් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ටද, විශ්වවිද්‍යාලය විද්‍යාර්ථීන්ට මෙන්ම වෙනත් වෘත්තීය පාඨමාලා හා උපාධි හදාරන විද්‍යාර්ථීන්ට මෙම අර්බුදය විවිධ මුහුණුවර ඔස්සේ බලපා තිබේ. අධ්‍යාපනය යනු රටක දියුණුවේ හා සංවර්ධනයේ මුදුන් මල්කඩ වැනිය. නිසි අධ්‍යාපනය නොලත් ජනතාවක් සිටින කළ රටක දියුණුවට සුදුසු ශ්‍රම බලකායක් බිහි කිරීම අසීරුය. කෘෂිකර්මාන්තය, වෛද්‍ය, ඉදිකිරීම්, ආර්ථික හා ආගමික සංස්කෘතික ක්ෂේත්‍ර වැනි සියලු පැතිකඩ සඳහා නිසි අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව ලද ශ්‍රම සම්පත නිර්මාණය කිරීම එක රැයකින් සිදු කළ නොහැකිය. පසුගිය වසර දෙකකට අධික කාලයක් තිස්සේ ලොව පුරා පැවති කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ බලපෑමත්, ටිකෙන් ටික උග්‍ර වූ මෙරට ආර්ථික අර්බුදත් අධ්‍යාපන කටයුතු ප්‍රමාද වීමට හා අඩපණ වීමට හේතු වී තිබේ. 

විශ්වවිද්‍යාලයේ ඉගැනුම් ඉගැන්වීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යෑම තවදුරටත් සිදු කෙරෙන අතර වරින් වර විද්‍යාර්ථීන් ගෙන්වා විභාග කටයුතු හා දේශන පැවැත්වේ. නමුත් රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ විදුලි බලය නොමැති වීම, ඉන්ධන ප්‍රමාණවත් නොවීම, අන්තර්ජාල පහසුකම් බිඳ වැටීම වැනි කාරණා නිසා විද්‍යාර්ථීන්ටද, ආචාර්යවරුන්ට ද සිය දේශන නිසි පරිදි සිදු කිරීම අපහසු වී ඇත. මෙම තත්වය පොදුවේ සියලු දෙනාටම පැන නැගී ඇති කරුණක් නිසා මේ මොහොතේ විද්‍යාර්ථීන් ගෙවී යන වටිනා කාලය ගැන සිතා හැකි පමණ ස්වයං අධ්‍යාපනයේ යෙදිය යුතුය. විශ්වවිද්‍යාල පුස්තකාලයේ ඇති වටිනා පොතපත කියවා තම දැනුම වර්ධනය කරගත යුතුය. විද්‍යාර්ථීන් සිය අධ්‍යාපන කටයුතු අතපසු කරගැනීම අනාගතයේ රටේ දියුණුවට බලපාන බැවින් මෙම අර්බුද සමය උපායශීලීව තම අධ්‍යාපන කටයුතුවල වර්ධනය සඳහා යොදා ගත යුතුය. නිර්මාණශීලී කුසලතා ඔප්නංවමින් කවි, නවකතා, පරිවර්තන, කෙටි කතා හා ශාස්ත්‍රීය පොත පත ලිවීමට හා සමාජයට අලුත් යමක් නිර්මාණය කිරීමට වෙහෙස විය යුතුය. දුෂ්කර කාල වකවානු පසු කළ පසු සුන්දර කාලයක් එළඹිය හැක. එබැවින් නොපමාව සිය අධ්‍යාපන කටයුතු, පුහුණුවීම් හා නිර්මාණශීලී නිර්මාණ බිහි කිරිම වෙනුවෙන් කාලය සකසුරුවම්ව යෙදවීම නුවණැති විද්‍යාර්ථී සැමට බාරය.

 

සංස්කාරක