අධ්‍යාපනයට ලෝකය අලුත් කළ හැකිය. වෙනස් කළ හැකිය.   ලෝකය වෙනස් කිරීමට ඔබට භාවිත කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනය බව වරක් නෙල්සන් මැන්ඩෙලා පැවසුවේ එබැවිනි. නිසි අධ්‍යාපනය හරහා නව දැනුම සොයා යාමට මිනිසා පොළඹවයි. පුද්ගලයෙකු ලබා ගන්නා දැනුම යහපත් වන තරමට එහි ප්‍රතිපලය සමාජයට යහපත් වන අතර ලබා ගන්නා දැනුම අයහපත් වන තරමට එහි ප්‍රතිපලය අයහපත් වේ. දැනුම සඳහා කරන ආයෝජනය ඔබට හොඳම පොළිය ගෙවන බව බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් පැවැසුවේ එබැවිනි. 

රටක අධ්‍යාපන මට්ටම කොපමණද යන්න සාක්ෂරතාවය ගණනය කිරීමෙන් ලබා ගනී. දශක කිහිපයක සිට ලොව ජනගහනයේ සාක්ෂරතා මට්ටම ඉහළ ගිය අතර 2016 වර්ෂයේදී එය සියයට 14කි. ශ්‍රී ලංකාව ගත් කළ 2019 වර්ෂයේ සාක්ෂරතා මට්ටම සියයට  92.3කි. ලොව වැඩිම සාක්ෂරතාවය ඇති රට ෆින්ලන්තයයි. නමුත් OECD දත්තවලට අනුව ලොව වඩාත්ම උගත් ජනගහනය සිටින රට කැනඩාවයි. එහි වැඩිහිටි ජනගහනයෙන් 56.71% OECD නිර්නායක සපුරා ඇත. 

අධ්‍යාපනය සම්බන්ධව කතිකා කිරීමේදී වඩා වැදගත්ම කාරණය නම් දැනුම හෝ අධ්‍යාපනය ලබා දෙන ආයතන මොනවද? හා එහි ඇති ප්‍රමිතිය කවරේද යන්නයි. සමාන්‍ය‍යෙන් දරුවෙකුට කුඩා අවදියේ සිට පවුල, පාසල හා දහම් පාසල් හරහා අධ්‍යාපනය ලබා දෙන අතර ඊට අමතරව විවිධ අමතර අධ්‍යාපනය ලබා දෙන ආයතන හා රැකියා ස්ථාන ද මීට ඇතුළත් වේ. ජනමාධ්‍යය හා අන්තර්ජාලය මේ අතරට පැමිණි අලුත් සමාජිකයාය.  පාසල් අධ්‍යාපනය හමාර කළ පසු උසස් අධ්‍යාපනය සඳහා පිවිසෙන දරුවන්ගේ තෘතීක අධ්‍යාපන පහසුකම් සපයන මූලික අධ්‍යාපන ආයතනය විශ්වවිද්‍යාලයයි. විශ්වවිද්‍යාලය යනු කිසියම් පුද්ගලයෙක්ට ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා ගැනීමට ඇති උසස්ම ආයතනයි. රටක කොදු නාරටිය බඳු අධ්‍යාපනය සමාජගත කිරීමේ මූලිකම වගකීම පැවරෙනුයේ විශ්වවිද්‍යාල පද්ධතියටයි. 

ප්‍රජාතාන්ත්‍රිකව ගත් කළ රටක සෑම පුද්ගලයෙකුටම අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය හිමි විය යුතු අතර එහි ප්‍රමාණය ඒ ඒ රටවල පවත්නා සම්පත් මත තීරණය වේ. ශ්‍රී ලංකාව නිදසුනක් ලෙස ගත් විට මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය වාර්ෂිකව 20%-30% අතර ප්‍රමාණයකට හිමි වේ. මෙලෙස ඉතා සීමිත ප්‍රමාණයකට ලැබෙන තෘතීක අධ්‍යාපනයෙන් නිසි ලෙස ප්‍රයෝජනය ගැනීම රටේ සමස්ත සංවර්ධනයට හේතු වේ.  

එබැවින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබෙන සෑම විද්‍යාර්ථියෙකුම තම අධ්‍යාපනය නිසි පරිදි සම්පූර්ණ කර රටට සිය උපරිම ශක්තියෙන් සේවය කිරීමට උගත යුතුය. ගුරුවරුන් දොර විවෘත කළද ඔබ විසින් එයට ඇතුල් විය යුතු බව චීන හිතෝපදේශයක සඳහන් වනුයේ එබැවිනි. 

සංස්කාරක