Image
දින මාස ගණන් ගෙවී 2022 වසරට සමු දී 2023 වසරට පා තබන්න මුළු ලොවම ලහි ලහියේ සුදානම් ය. අලුත් බලාපොරොත්තු කරපින්නාගෙන ජිවීතයේ තවත් පියවර රැසක් ඉදිරියට යන්න කැලැන්ඩයෙන් තවත් දින තුන්සිය හැට පහක් අපට ලැබෙන්නට නියමිතය. 2022 වසරේ උගත් පාඩම් වලින් හා අත්දැකීම්වලින් ජිවිතයේ අඩු පාඩු සකසා ගෙන නව ගමනක් යන්නට මෙය හොඳ ආරම්භයකි. ගත වූ  2022 වසර ශ්‍රී ලංකා ඉතිහාසයේ ආර්ථික, දේශපාලන, ආගමික හා සමාජීය වශයෙන් විවිධ හැලහැප්පීම් හා දරුණු කඩාවැටීම් හමුවේ මුහුණ දුන් වසරකි. කොවිඩ් වසංගතය හා ආර්ථිකයේ ඇති වූ කඩා වැටීම ජන ජීවිතයේ නොයෙකුත් වෙනසක්ම සඳහා මුල් පිරීය. මින් අධ්‍යාපනයට සිදු වූ හානිය වචනයෙන් විස්තර කළ නොහැකිය. ජන අරගල හා කොවිඩ් වසංගතය හමුවේ පාසල් වසා තැබීම්, විශ්වවිද්‍යාල වසා තැබීම්, විභාග කල් තැබීම් හා  මාර්ගගත අධ්‍යාපනය නිසා ඇති වූ කායික හා මානසික ගැටලු  මෙන්ම ආහාර අර්බුදය යනාදී නොයෙක් පැති අධ්‍යාපනයේ බිඳ වැටීමට හේතු විණි.   
මෙම අර්බුද රැසක් මැදින් ගෙවී ගිය 2022 වසර නිම වන්නට ඇත්තේ තවත් දින කිහිපයකි. 2022 අභියෝගාත්මක වර්ෂයේ අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙකුට ඉගෙන ගත හැකි පාඩම් රැසකි. අසාධාර්ණය, අයුක්තිය වෙනුවෙන් කතා ඉරීම, වැරැද්ද දුටු තැන නිවැරදි කිරීම, වංචාව දූෂණය මැඩලිම, අවංක බව, තම රාජකාරිය දේව කාරිය මෙන් ඉටු කිරීම, රටට වැඩදායක පුරවැසියෙකු ලෙස ජීවත් වීම, අධ්‍යාපනය පමණක් නොව ජිවිතයේ අනෙකුත් කටයුතුද සමබරව සිදු කිරීම, ඉහළ වැටුප් සහිත රැකියාවක් සඳහා අධ්‍යාපන සුදුසුකම් පමණක් නොව අත්දැකීම් පසුතලයද වර්ධනය කරගැනීම මේ අතර වේ. රට මුහුණ දෙන අභියෝගාත්මක සමයේ මෙරට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන තම ජිවිත සුඛ විහරණය පතා මෙරටින් පිටව වෙන රටවලට යන උගත් අය මෙන් නොව විවිධ කැපකිරීම හමුවේ නොසැලී රට ගොඩනැගීමට සූක්ෂමව කටයුතු කිරීම දැන් අප සතුව ඇති කර්යභාරයකි. බුද්ධි ගලන ප්‍රතිශතය දිනෙන් දින ඉහළ යන විට මෙරට ඉතිරිවන උගත් පිරිසට රට වෙනුවෙන් සිදු කිරීමට ඇති වගකීම හා යුතුකම් ද, කැපකිරීම් ද ක්‍රමයෙන් වැඩි වේ. 
2023 මෙරට ආර්ථිකයද, අධ්‍යාපනයේ ද දියුණුවර සරිලන නිවැරදි ප්‍රතිපත්ති ගන්නා, එහි නිවැරදි ක්‍රියාකාරීත්වය සිදු වන වසරක් වීමට නම් ජනතාව බලගැන්විය යුතුය. මිත්‍යාව, බොරුව හා අතිශෝක්තියට නොරැවටී නිසි මාධ්‍ය සාක්ෂරතාවයෙන් යුතුව රට වෙනුවෙ නිවැරදී තීන්දු තීරණ ගැනිමට හැකි සේ වර්තමාන පරපුර ශක්තිමත් විය යුතුය. විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ද තම විෂය නිර්දේශය මත පමණක් නොසිට පොත පත ගවෙෂණය කර සමාජය ගැන ද අධ්‍යයන කළ යුතුය. භාෂා කුසලතා වර්ධනය කරගෙන, තම දැනුම නිසි තැන ආයෝජනය කිරීමට කාර්යක්ෂමව කටයුතු කළ යුතුය.මෙය විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙකුට පමණක් නොවාධ්‍යාපනය හදාරන සියලුම දෙනා සිහි තබා ගත යුතුය. කැලැන්ඩයෙන් තමන්ට ඉගෙනීමට ලැබෙන දින ගණන ඉතා කෙටිය. එබැවින් රටක් ජාතියක් ගොඩ නැගීමට නම් අප අපගේ අධ්‍යාපනය අතපසු නොකර වගකීමෙන් ඉටු කර රට ගොඩනැගීමට කැප විය යුතුය.
සංස්කාරක