Image

අධ්‍යයන නිවාඩුව ආරම්භ වීමත් සමඟ විද්‍යාර්ථීන් ලහි ලහියේ විභාග කටයුතු සඳහා සූදානම් වන බව පෙනේ. අධ්‍යයන නිවාඩු කාලසීමාව තුළ දින දා හතරක කාලයක් විද්‍යාර්ථීඉන්ට විභාගය සඳහා සූදානම් වීමට ලැබෙන අතර දෙසැම්බර් පළමු සතියේ සිට සිට විභාග කාල සටහන ආරම්භ වේ. විවිධ පැවරුම් හා දේශනා මාලා අතර සිරවී සිටී විද්‍යාර්ථීන්ට මේ ලැබෙන දින දා හතරක කාල සීමාව ගත කළ ඒකාකාරී කාර්යබහුල ජීවිතය තුළ ලැබුණු මඳ විරාමයක් සේ ද ගත හැකිය. නමුත් එක දිගට දේශන සඳහා සම්බන්ධ වී සිටී විද්‍යාර්ථීන්ට ලැබෙන මෙම අධ්‍යයන නිවාඩුව පාසල් නිවාඩු කාලය මෙන් කෙළි දෙලෙන් ගත කිරීමට නොහැකි බව ද සිහි තබා ගත යුතුය. 


විභාගය සඳහා අදාළ පොත පත හා සටහන් සොයාගෙන, ඒවායේ කෙටි සටහන් සකස් කරගෙන, පුස්තකාලයේ ඇති පොත් පත් කියවා, අන්තර්ජාලයේ ඇති ශාස්ත්‍රීය ලිපි පරිහරණය කර තමාගේ විෂයට අදාළ කරුණු රැස්කරගැනීම, ඒවා පිළිවෙළකට සකස් කිරීම, පාඩම් කිරීම හා නැවත නැවත කියවා අවබෝධ කරගැනීම, ප්‍රශ්නවලට පිළිතුරු ලියා ඒ සඳහා පෙර පුහුණුවක් ලබා ගැනීම යානාදී විභාගයට හොඳින් සුදානම් වීම සඳහා මේ කාල සීමාව විද්‍යාර්ථියෙකුට ලැබේ. තමන්ගේ විභාග කාලසටහන කලින්ම තමන් අතර ලැබෙන නිසා සැම විෂයකට අදාළව මෙම නිවාඩු දින දා හතර බෙදා ගෙන නිසි කළමනාකරණයකින් යුතුව භාවිත කිරීම මෙහිදී වඩා යෝග්‍ය වේ.  නිසි පරිදි ආහාර ගෙන, දවසේ පැය විසි හතරේන් පාඩම් කිරීමට වැඩි කාලයක් ද, ප්‍රමාණවත් නින්දක් ලැබීමට පැය හයක, හතක කාලයක් ද, කායික මානසික සුවතාවය සඳහා ක්‍රීඩාවට හා විනෝදාත්මක කටයුතු සඳහා අමතර වේලාවක් ද යොදා ගැනීම කළ යුතුය. ඉන් විභාගය සඳහා ඉතා හොඳ මානසිකත්වයකින් මුහුණ දීමට අවැසි ශක්තිය විද්‍යාර්ථීන් තුළ නිර්මාණය වේ. 

Image

එවගේම යහළු මිතුරන් සමඟ සම්බන්ධතා දැඩි කරගෙන තමන්ගේ විභාගය සඳහා ඔවුන් සමඟ සුදානම් වීමද, කණ්ඩායම් වශයෙන් පාඩම් කිරීමද මේ කෙටි කාලය තුළ සුදුසු ක්‍රමයක් වේ. තමන් දන්නා දේ තව කෙනෙකුට තේරුම් කර දෙන විට එම කරුණු තමන්ට වඩා හොඳින් මතක හිටින නිසා කණ්ඩායම් ලෙස පාඩම් කිරීම වර්තමානයේ ප්‍රචලිත විධික්‍රමයක් වී තිබේ. එම කාලය තුළ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර තුළ, පාඩම් කාමර තුළ වගේම, නිවසේ සිටින විද්‍යාර්ථීන්ද  මාර්ගගත ක්‍රමය හරහා සම්බන්ධ කරගෙන කණ්ඩායම් ක්‍රමයෙන් විභාගය සඳහා සුදානම් විය හැක.


එවගේම මෙම කාල සීමාව තුළ අමතර ගමන් බිමන් සඳහාත්, තමන් සතු මිල මුදල් අමතර කටයුතු සඳහා විය පැහැදම් නොකර විභාගයට සැහැල්ලුවෙන් මුහුණ දීම සඳහා අවශ්‍ය මුදල් හා කාලය කළමනාකරණය කරගැනීම වැදගත්ය. නමුත් ඕනෑවට වඩා විභාගය සඳහා බිය වීම, මානසික ආතතිය වැඩි කරගැනීමෙන් වැළකිය යුතුය. උසස් පෙළ විභාගය තරම් විශ්වවිද්‍යාලයවල විභාගය අසීරු නොවන අතර ඔබ උගන්වන ආචාර්යවරයා විසින්ම ආදාළ පාඩම්වලින් ප්‍රශ්න පත්‍ර සකස් කර ලබා දේ. එබැවින් පෙර විභාග ප්‍රශ්න පත්‍ර පරිහරණ කර ලැබෙන කාලය තුළ තමන්ට උපරිමට පිළිතුරු සැපයිය හැකි ලෙස ලිවීමේ වේගය හදා ගැනීම, නැවත නැවත කරුණු ආවර්ජණය කර සිහි තබා ගැනීම පුරුදු පුහුණු කරගත යුතුය. එබැවින් මෙතෙක් කඅලය තුළ ඔබ කිසිදු අයුරකින් විභාගය සඳහා පාඩම් කිරීම ආරම්භ නොකළේ නම් පමා නොවී ඊට සුදානම් වීමට කාලය එළඹ ඇත. විභාගය බිය නොවී ඊට සැහැල්ලුවෙන් මුහුණ දීමට අවශ්‍ය කාලය කළමනාකරණය කිරීම හා පිළිවෙළ නිර්මාණය කිරීම මෙහි රහස බැවින් විද්‍යාර්ථියනි, ඔබ අප්‍රමාදීව වැඩ අරඹන්න. 


සංස්කාරක