අපි දන්න කතාව
- කතා
 - Affichages : 1809
 
පීඩිත සිත් තුළ සිරවූ කථිකාවක් නිහඬ රාත්‍රියක ලොවට කීමට සිතූ ඔවුන් මෙසේ නව ඇරඹුමකට යොමු විය.එදා මෙදාතුර හරියාකාර ජීවිතේකට පුරුදු නොවූ ඔවුන්ගේ ලෝකයේ සිදුවන සියල්ල බලයේ විලංගු මැද සිර විය.නිස්කලංක නිමේෂයක දැහැන් ගත වූ අරුන් ගේ හඬ පෙරට වඩා වෙනස් විය.හැගීම් තුළ හෙම්බත් වූ ඔහුට සහනයක් වූයේ අන්ධකාර රාත්‍රිය පමණි.ගෙවෙන තප්පරයක් පාසා යෞවනයේ සිහින ඔහු අතැර යන ලකුණු හැම තැනම ඉතිරි විය.ඔහුගේ දුරකථනය නාද වීමද ඔහුට සිත් තැවුලකි.
" මං දන්න කතාවයි. ඔයා දන්න කතාවයි හරි වෙනස් ...අපි හොයන කතාව නෙවෙයි මේ ලියවෙන්නේ ..ඇත්තටම මට ඕන නිදහසක් "
එක හුස්මට අරුන් පිට කළේ වචන නොව ඔහුගේ හිත තුළ මෙතෙක් වෙලා අරක් ගත් වේදනාවයි. දවල් තිස්සේ යකඩ උණු වෙන රස්නෙන් ගිනිගත් ඔහුගේ ගත වේලී ඉරි තැලී ඇත.ඒ කෙසඟ සිරුර දරදඬු අත් පා ග්‍රීෂ්මයෙන් බැට කෑ බවට සලකුණුය. නිවෙන්න ඕන තැන්ම ඇවිලෙද්දි සියල්ල හිත් තුළම සටහන් කරගත් අරුන් ඔහුගේ රැකියාවෙන් ද හෙම්බත් විය. විශ්වවිද්‍යාල ජීවිතයේ අවසන් කඩ ඉමේ සිටි අරුන් රැකියාවකට යොමු විය. අධ්‍යාපනයත් රැකියාවත් එක හා සමව ගෙන යාමට අරුන් තුළ ශක්තිය පැවතුණි. එදා මෙදා තුර අරුන් ජීවිතය ගැට ගසා ගැනීමේ අසීරුතා හොඳින් දනී. අරුන්ගේ දෑස් වඩාත් ලෙංගතුය.කඳුළු පිරි දෑස් දෙස වරක් නොව නැවතත් බැලීමට සිත් විය.
" ඇත්තටම ඒ ඇස් හරි ඉක්මන්ට දිලිසෙනව. ඔව් ඔයාගේ ඇස් කතා කරනව "
සරල චාම් දිවිපෙවතක් ගෙවූ අරුන්ගේ ජීවිතයේ නව අඩිතාලමකට බලාපොරොත්තු ගොඩනැඟුණේ වෙනුරි ගේ නොමැකෙන සිනහව ළඟ නතර වීමෙනි. දිනෙන් දින අපූරු වූ මේ පරිච්ඡේදය ආදරය, පරිත්‍යාගය, විශ්වාසය මෙකී නොකී සියල්ලෙන්ම සම්මිශ්‍රණය වූවකි. මෙය කුළුදුලේ ආලයේ රස මුසු තැන්ය. ඔවුනොවුන්ගේ ලෝකය වඩාත් දැකුම්කළු ලෙස ගොඩනඟන්නට විය. කාලය බොහෝ දුර ඉගිල ගොස් ඇත.අද අරුන් සරසවියෙන් සමුගත් විවාහක තරුණයෙකි.වෙනුරිද අද විවාහක සුන්දර ගැහැණියකි.
කඩතොළු මතින් ඇවිද ගරා වැටුණු පාලම් බෝක්කු ඔවුන් පසු කළේය.රළු බොරළු මත ඔවුන් වැටී වැටී නැගී සිටියහ. නමුත් අදද ඔවුන් සුව පහසු සයනයක නිදි නැත. දෑත් දෙපා වකුටු කරගෙන අනාගතය නම් සාපලත් කථිකාවක සිර වී ඇත.
මහා දුශ්කර කාලයකට සමු දී තම කුටුම්භයේ ආදරණීය බව සෙවූ අරුන්ගේ ලෝකය දෙදරා යාම ළඟා විය.රාජ්‍ය පාලනාධිකාරියේ තීරණ ඔවුන්ගේ කුළුදුල් දරුවාගේ අනාගතය අගාධයකට හෙළා තිබුණි.දරුවා මෙලොව එළිය දැකීම ද අවාසනාවක් යැයි අරුන්ට සිතුණි. අරුන් රාජකාරිය දේව කාරියක් ලෙස ඉටු කළේය. තෙල් පෝලිම් මැද එය බොහෝ විට ඔහුගේ සිතින් ගිලිහුණි. දින දෙක තුනක් තෙල් පෝලිමක ඔහු බලා ගත් අත බලාගෙන කල්පනා කළේය. ගැටලුව ඔහු වටා එතී තිබුණි.ඔහුට සමීප වන සියල්ල උද්වේගකර චිත්ත පීඩා ගෙන දෙන්නට විය.කාලය කිසිදු පිළිතුරක් නොදෙන බව පෙන්වමින් අරුන්ගේ මව එක්තැන් විය.ඖෂධ හිඟයක් පැවති ඒ කාල සීමාව ඇයගේ ජීවිතය උදුරා ගෙන ගියේ අරුන්ට ඇස් අදහා ගත නොහැකි අයුරිනි.
අරුන්ගේ හිත තුළ කළකිරීම පමණක් ඉතිරි විය. ඇගේ සුන්දර බිරිඳගේ මුහුණ හෝ මවා ගැනීමටවත් ඒ රූපය අරුන්ට අමතක වී ගොස්ය.රැකියාව ද පවුල ද ආදරයද දරුවාගේ අනාගතය පිළිබඳ අදහස් ද ඔහු මානසිකව බිඳ දමන්නට විය.කායිකව ඔහු නැඟී සිටියද මානසිකත්වයෙන් ඔහු අන්ත අසරණ විය.අරුන් අරගලය තමාගේ සිත තුළ සිදු කර ගැනීමට නොහැකිව අසරණ වී ඇත. "ඇත්තටම මිනිස්සු ඉන්නේ පීඩාකාරී මානසිකත්වයක. මිනිස්සුන්ට ඕන සැනසීම..නිදහස… උද්වේගකර චිත්තපීඩා නිවන්න ඕන...."අරුන්ට සිදු වන සියල්ල විසඳා ගත යුතුය.රටේ ප්‍රශ්න සියල්ල සාමාන්‍ය විය යුතුය.
"මේ හැම ප්‍රශ්නයක්ම ඇති වුණේ අපේ අතින්.මිනිස්සුන්ට ඕන කාල බීලා සනීපෙන් ජීවත් වෙන්න .එතන තමයි සැනසීම තියෙන්නේ .වෙලාවට බෙහෙත් ටික, ගෑස් ටික, තෙල් ටික.මේවා තමයි අවශ්‍යතා. ගැටලුව රටේ පොදු කාරණයක් මිත්‍රයා.මේක අපේ ප්‍රශ්නයක්.අරුන්ගේ විතරක් නෙවෙයි බහුතරයකගේ ජීවිතේ හැම අස්සක් මුල්ලක් ම දිය වෙලා යනව..මානසික සුවය අහිමි වුණ තැන. හිතේ සැනසීම ඕන.ඇත්තටම අරුන් ජීවත් වෙන්නේ හිත මැරිච්ච මිනිහෙක් ගාණට.අරුන්ට තියෙන්නේ මේ පීඩාව දරාගන්න අසීරුතාවයක්.”
" අරගල කරන්නේ හිත් ඇතුළේ ...එළියට නොපෙනන මහා කලබලයක් ඒක ඇතුළේ දුවනව..කඳුළු ගෑස් ජල ප්‍රහාර විතරක් නෙවෙයි ඒක ඇතුළේ වෙඩි තැබීම් සමූල ඝාතන බෝම්බ පිපිරීම් පවා සිද්ද වෙනව..කොහොමද තනි මිනිහෙක් මේක උහුලන්නේ....”මේක අපේ කතාව.. මේක අපේ ගින්දර .පත්තු කළෙත් අපේ කතිරෙන් නම් නිවන්න ඕනත් අපේ අත් වලින්.මගේ පවුල විතරක් නෙවෙයි හැම පවුලකම හැම තරුණයෙක්ගෙම, හැම හිතකම සැනසීම රටේ සැනසීම එක්ක ඇති වෙන්නේ..
තව බොහෝ කාලයක් මේ රටේ අනාගතය, අපේ අනාගතය තීරණය කරාවි.74 අවුරුද්දක සාපය අරුන්ට තනියම ගෙවන්න බෑ.ඉස්සරහට අරුන් ල වගේ දාහක් ඒ ගින්දරෙන් පිච්චෙන්නත් බෑ..තීරණය අපේ.. අපිම වෙනස් කරමු..ඉතින් මේ හැමදේම අපි දන්න කතාව. අපිට උත්තර නැති කතාව. අපි උත්තරයක් හදාගන්න ඕන..ඔව් මේක අපේ කතාව.
හිමාෂා රණතුංග
පළමු වසර
සමාජ විද්‍යා පීඨය

							
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                