"ද නිව්ස්පේපර්" සිනමා විචාරය
- ගවේෂණ
- Affichages : 2335
"චිත්‍රපටය ප්‍රබල කලා මාධ්‍යයක් වන අතරම කර්මාන්තයකි. එසේම එය සමාජයේ විවිධ ක්ෂේත්රයන් විදහාපාන කැඩපතකි. චිත්‍රපටය යථාව හා ජීවිතය එලෙසින් ම පිළිබිඹු කරන්නාවූ කැඩපතක් නොවේ. එය පුද්ගල නිශ්චිත පරමාදර්ශයන්ගෙන් ඔබ්බට ගොස් සංඥාර්ථ හා මනෝ විශ්ලේෂණාර්ථ සමඟ ගනුදෙනු කරන භාවිතයකි. චිත්‍රපටයක නිශ්චිත අරුත සොයා යෑමේ දී එය බිහි වූ සමාජ සංස්කෘතිය තුළ තැබීමට සිදුවේ. මේ නිසාම චිත්‍රපටය එකී සමාජ, දේශපාලන හා සංස්කෘතික දෘෂ්ටිවාද සමග ගැටීමට සිදුවේ."
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී - කැලණිය විශ්වවිද්‍යාලය)
යථෝක්ත සංකල්පය තුළින් අවධාරණය වන්නා වූ කාරණා සිනමා නිර්මාණයක් ඇසුරින් සාකච්ඡාවටබඳුන් කෙරේ.
කොවිඩ් 19 වෛරසයත් සමඟ කඩාවැටීමකට ලක්වුණු සිනමා කර්මාන්තය යළි නඟාසිටුවීමට මූල බීජය සපයා දුන් සිනමා නිර්මාණ අතර "ද නිව්ස්පේපර්" සිනමා නිර්මාණය සුවිශේෂී ය. ප්‍රවීණ රංගවේදී සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර දෙපළගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් ප්‍රෙක්ෂකයන් අතරට ආ මෙම විශිෂ්ට සිනමා කෘතියේ සංගීත අධ්‍යක්ෂණය ගයත්‍රි කේමදාස විසින්ද, කලා අධ්‍යක්ෂණය අජන්ත අලහකෝන් විසින්ද සිදුකර ඇත. වත්මන් සමාජ යාන්ත්‍රණය ඉතාමත් සූක්ෂම ලෙස නන්විධ වූ දෘෂ්ටීන්ගෙන් ගෙනහැර පෑමට මෙකී නිර්මාණය සමත් වී ඇත. රට තුළ විවිධ කාලඡේදයන්හිදී උද්ගතව පැවති සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික අර්බුද හමුවේ දුගී දුප්පත් අසරණ ජනතාව මුහුණදුන් කටෝර අත්දැකීමක් පාදක කොට ගනිමින් මෙකී වෘත්තාන්තය නිර්මාණය වී ඇත. එමෙන්ම සමකාලීන ජනමාධ්‍ය උපහාසයට නංවන ඛේදනීය කතාන්දරයක් මෙමඟින් සමාජගත කෙරේ.
චිත්‍රපටයක් නැරඹීම කවරෙකුට හෝ කළ හැක. නමුත් විය යුත්තේ චිත්‍රපටය කියවීමයි. එහි යටිපෙළ හඳුනාගැනීමයි. නිර්මාණයේ සැබෑ අරුත ඇත්තේ එතැනය. චිත්‍රපටය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යකි. එහි රූපය ප්‍රබල වේ. රූපය කියවීමට අප උත්සාහවත් විය යුතුය. එවිට සිනමා නිර්මාණය මනාව අවබෝධ කරගැනීමට හැකියාව ලැබේ.
"ද නිව්ස්පේපර්" සිනමා නිර්මාණය නරඹා අවසානයේදී මතුවන මානුෂීය කාරණා කිහිපයකි. මිත්‍රත්වය, නොතකා හැරීම, යුද්ධය විසින් මිනිස් ජීවිතයට කරන බරපතල විනාශය මෙහි වඩාත් කැපී පෙනේ. ගුණා සහ ලුයියා යන මිතුරන් දෙදෙනාගේ බැඳීම කතාව අවසානය තෙක් ඉතා ප්රබලව දිව යයි. එසේම එහිදී සිහිපත් කළයුතු තවත් කාරණයක් නම්, එම චරිත ද්විත්වයට පපණ පොවන සරත් සහ කුමාර රංගන ශිල්පීන් සිය සැබෑ ජීවිතයේ මිත්රත්වයෙහි සවියද ඇතිව එම චරිතවලට උපරිම සාධාරණයක් ඉටුකර ඇත.
එමෙන්ම කතාව පුරාවටම මවගේ සෙනෙහස තම දරුවන්ට අත්වී ඇති ඉරණම පිළිබඳ ඇගේ සිතේ ඇති කනස්සල්ල ආදී කාරණා ප්රබලව මතුවේ.ප්‍රධාන චරිත ද්විත්වය වටා ගොඩනැගෙන සහාය චරිත සමකාලීන සමාජ යාන්ත්‍රණය සියුම් ලෙස කියවීමකට ඉඩකඩ සලසයි.මෙහිදී සමස්තයක් ලෙස චිත්‍රපටයේ චරිත ගොඩනැංවීම සහ ඔවුන්ගේ රංගනය චිත්‍රපටයේ සාර්ථකත්වයට මහත් පිටිවහලක් වන අතර අප ජීවත් විය යුත්තේ ජීවත්වීමට කෙතරම් නුසුදුසු සමාජයකද යන්න රූපරාමු හරහා පෙළගස්වා පෙන්වන එක්තරා ඛේදජනක කතාන්දරයක් ලෙසට මෙම සිනමාපටය හැඳින්වීමට පුළුවන.
සිනමා පටයක සාර්ථකත්වයට ඉවහල් වන ප්‍රබල සාධකයකි,සංගීතය. "ද නිව්ස්පේපර්" සිනමා නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂණය සිදුකරන ලද්දේ ගයත්‍රි කේමදාස විසිනි. තණ්හා රතී රඟා සිනමා කෘතියෙන් ඇරැඹි ඇගේ සංගීත නිර්මාණ "ද නිව්ස්පේපර්" චිත්‍රපටයේ දී වඩාත් අර්ථවත් ව, චිත්‍රපටයේ තේමාව හා මනාව සුසංයෝගීව නිර්මාණය වී තිබීම පැහැදිලිව පෙනේ. සිනමා සංගීතය යනු වාද්‍ය භාණ්ඩ කිහිපයක් හෝ සමූහයක් වාදනය කරමින් ජවනිකා අතර හිස්තැන් පිරවීමක් නොව අතිශය අභියෝගාත්මක, නිර්මාණ කාර්යයක් බව ගයත්‍රි කේමදාස මනාව ඔප්පු කොට තිබේ. නිර්මාණයේ රූප රාමු අතර සැරිසැරීමේදී එහි අර්ථ ජනනයට සංගීතයෙන් ලැබෙන දායකත්වය අගනේය. දෙබස්වලින්, රූප රාමුවලින් අර්ථ ගන්වා නිමාකළ නොහැකි අදහස් සංගීතය මඟින් නිරූපණය කිරීමට ද නිව්ස්පේපර් චිත්‍රපටය සමත් වී ඇත. ඕනෑම චිත්‍රපටයකින් අර්ථ ගැන්වීමට අවැසි අදහසට හානි නොවන ලෙස සංගීතය සැපයීම මෙහිදී සැලකිලිමත් විය යුතු කාරණයකි. චිත්‍රපටයේ අඩංගු ඉකා කුඩා ශබ්ද කණ්ඩය පවා සංගීතයට ඇතුළත්ය.
මෙම චිත්‍රපටය තුළ ඉතා ප්‍රබල සහ නිහඬ චරිතයක් ලෙස මවගේ චරිතය හැඳින්විය හැකිය. ඇගේ භූමිකාව නිහඬව කතාන්දරය පුරාවට ගලා ගියද ඇගේ ඉරියව් රංගනය, ඇගේ නිහඬ බව ප්‍රබල අර්ථ ජනනය කරයි.ප්‍රධාන ලෙස ඇය ඇගේ හැඟීම් සහ හඬ මුදාහරිනුයේ චිත්‍රපටය අවසානයේ එන ගීතයත් සමඟය. නමුත් හොඳින් සවන් දුනහොත් ඇය මුලින්ම පැමිණෙන්නේ චිත්‍රපටය ආරම්භක තේමා සංගීතයේ එන චෙලෝ වාදනයෙනි. එම වාදනය ඒකාකාරීව ගලා නොයයි. කඩින්කඩ කිසියම් බාධා කිරීමකට ලක්වෙමින් එය වාදනය වන බව හොඳින් සවන්දීමේදී හසුකර ගැනීමට පුළුවන. සමාජය තුළ ඇය වැනි අසාධාරණයට ලක්වුණු දහස් ගණනක් මව්වරු තවත් නන්දෙස සිටින බව එතුළින් ගම්‍ය වේ. චිත්‍රපටය පුරාවටම චෙලෝ වාදනයෙන් ඇගේ එම හැඟීම් සමුදාය ගෙන ඒමට ගයත්‍රි කේමදාස ගත් උත්සාහ ගෙන ඇති අතර එය අවසානයේ ගීතයක් දක්වා පැමිණ ඇත.එම ගීතය තුළද විශාරද නන්දා මාලනීයන්ගේ හඬට අමතරව අතරමැද ඇති නිහඬ වූ ශබ්ද කණ්ඩ සමුදායක් උකහාගත හැකිය. එතුළින් මෙවැනි අසාධාරණයන්ට ලක්ව නිහඬ වුණු කතා සන්දර්භයේ සිටින මවට සමාන වූ පිරිස් නියෝජනය කරන බවක් දැනේ. එම වචන රහිත නිහඬ ශබ්ද කණ්ඩ වෙනුවට එහි වචන සමුදායක් ගොනු වූයේනම් අර්ථය එක් තැනකට පමණක් ගොනුවේ යැයි අධ්‍යක්ෂකවරිය සිතන්නට ඇත.
තවදුරටත් විමසා බැලුවහොත් චිත්‍රපටය අවසානයේ නාමාවලියත් සමඟ වාදනය වන පියානෝ වාදනය සහ මිනිස් කටහඬ,එය වචන රහිත මිනිස් කටහඬක්. එසේම එම පියානෝ වාදනය සහ මිනිස් හඬ එකිනෙක පරස්පර ලෙස ගලාගෙන යන්නකි. මෙතුළින් ඇය ඉස්මතු කරන්නට උත්සාහ ගෙන ඇත්තේද මෙබඳු අසාධාරණයන්ට ලක්ව නිහඬ වන හුදී ජනයා නිරූපණය කිරීමට විය හැකිය. තවද, පුවත්පත් කැබැල්ල හමුවී එය ගම්මුන්ට පෙන්වීමට වේගයෙන් ඇදෙන ගුණාගේ කරත්තයෙන් නැගෙන ශබ්දය තනිව ගෙන ඇත. එහි කලබලකාරී ස්වරූපයක් ආවේගයක් තිබුණද එතැනට සංගීතය මුසුකොට නැත.එයද කිසියම් සංඥාර්ථවේදී විශ්ලේෂණයක් විය හැකිය.
චිත්‍රපටයේ අනුශංගික කාරණා අතර චන්දන ජයසිංහයන්ගේ නිර්මාණශීලී කැමරාකරණයද පැසසිය යුත්තකි. ගම්බද පරිසරයේ කර්කශ ස්වභාවය ආලෝකකරණය තුළින් තාත්විකව පෙන්වීමට, චරිතවල මනෝභාවයන් මනාව ඉස්මතු කරලීමටත් ගෙන ඇති ප්රයත්නය සාර්ථක බව පෙනේ. කැමරාකරණයේදී කතාව ගොඩනැගෙන පරිසරය, චරිතවල ස්වභාවය, අවස්ථා නිරූපණය ආදිය මැනවින් රූපගත වීමට යොදාගෙන ඇති කැමරා කෝණ චිත්‍රපටය සාර්ථකව ප්‍රෙක්ෂකයන් අතරට යෑමට හේතු වී ඇත.
චිත්‍රපටයක් යනු අවසානයක් නොමැති කලාංගයකි. චිත්‍රපටය විටෙක මනුෂ්‍ය ජීවිතය විවරණයකි. සමාජයේ විවිධාකාර ක්ෂෙත්රයන් සියුම්ව කලාව හා මුසුකොට කතාබහට ලක්කිරීම කලාකරුවාගේ ප්‍රතිභාව වන්නේය. "ද නිව්ස්පේපර්" චිත්‍රපටය හරහා සමාජයේ ජනතාවට තොරතුරු අවශ්‍යතාව සපුරාලීමට තිබෙන ප්‍රධාන ජනමාධ්‍ය ධාරාව, නින්දිත අයුරින් පුද්ගල ජීවිතයට බලපෑම් කිරීම උපහාසයට නංවා තිබේ. ජනමාධ්‍ය ජඩමාධ්‍ය ලෙසට හංවඩු ගැසීමට හේතු සපයන මෙම නිර්මාණය තිස් වසරක් පැවති යුද්ධයෙන් මිනිස් සංහතියට ඇතිවූ ඛේදනීය ඉරණමද පිළිකුළෙන් යුතුව හෙලා දකියි. මෙම චිත්‍රපටය සංකල්ප රූප ජනනයෙහිලා සුවිශේෂීය.
සමකාලීන සමාජ යාන්ත්‍රණය පිළිබඳව නන්විධ කාරණා සමාජගත කිරීමට ඉතා සූක්ෂම වූ සංකේත, දෙබස්, චරිත නිර්මාණශීලීව ගොඩනැංවීමට අධ්‍යක්ෂකවරුන් සමත් වී ඇත. හුදු විනෝදාස්වාදයක් ලබාදෙන නිර්මාණ හැරුණුකොට සෑම කලා නිර්මාණයක් තුළම යටිපෙළක් පවතී. මෙම නිර්මාණය තුළ ව්‍යංගයෙන් අර්ථවත් වන සංකේතමය කාරණා අසූවකට වැඩි ගණනක් පවතින බව විචාරක මතයයි.
පත්තර කන්තෝරුවේ මුරකරු නිදා සිටීම, අයිතිකරු සුදු පිරුවට සැරසී සිටීම, මුද්‍රණ යන්ත්‍රය ක්‍රියා කරවන්නාගේ අතේ ඇඟිලි සයක් තිබීම ආදිය වාමාංශික ව්‍යාපාරය අරුත් ගන්වයි. තවද, ARCADE පරිශ්‍රයේ දිය නෑම සහ පොලිස් නිලධාරියා හමුවීම, පිටුපසින් ඉන්ඩිපෙන්ඩන්ට් යන වචනය පෙන්වීම, පාතාල කල්ලියේ නායකයා සහ කිරි වීදුරුව පෙන්වීම සංකේතානුසාරයෙන් සමාජ යථාර්ථයන් පිළිඹිබු කරයි. කොළඹ ප්‍රදේශයේ පන්සලේ ස්වාමීන් වහන්සේගේ ක්‍රියාකලාපයද, එම පන්සලේ ලොකු හාමුදුරුවන් ලෙස සිටින ස්වාමීන් වහන්සේගේ ක්‍රියාකලාපයද උපහාසයෙන් ගෙනහැර පාන්නේ වර්තමානයේදී ආගමික සංස්කෘතික ක්ෂේත්‍රයන්ගේද ගුණධර්ම පිරිහීමට ලක්වීමද කඩාවැටීමද පෙන්වමිනි. එසේම ගම්බද නිවසේ වතුර පුරවන බැරලයේ සිදුරකි. කොපමණ එය පිරවුවද ජලය රැඳෙන්නේ නැත. සුළු කාලයක් පමණක් එහි ජලය රැඳේ. මෙය ඔවුන්ගේ ජීවිත පිළිබඳ සංකේතමය විග්රහයකි.
ද නිව්ස්පේපර් චිත්‍රපටය ජීවිතය, සමාජය, සමාජ චර්යා ප්‍රශ්න කරයි. අග නගරයේ ක්‍රියාත්මක වන මාධ්‍ය ආයතනවල දෙබිඩි හැසිරීම ප්‍රශ්න කරයි. යාචක ප්‍රජාව, පාතාලය උඩුයටිකුරු කර පෙන්වමින් උපහාසයෙන් හා අවඥාවෙන් බලයි. කතාව තුළ හමුවන මානුෂීය ගුණධර්මවලින් යුක්ත මාධ්‍යවේදිනිය ගුණා සහ ලුයියාට උදව් කිරීමට ඉදිරිපත් වීම නිසාම ඇයට රැකියාව අහිමි වේ. රටේ බලාධිකාරය කෙතරම් දුරට අසාධාරණය පෙරදැරි කොටගත්ද යන්න මෙතුළින් ගම්‍ය වේ.
බාධක මධ්‍යයේ අවසන් අපේක්ෂාවන් මල්ඵල ගැන්වුවද එයට ඉඩකඩ වෙන් කිරීමට බල තණ්හාවෙන් පෙළෙන නීච පුරවැසියන්ට නොහැකිය. එනිසාම සියල්ල කෙළවර වන්නේ ජයග්‍රහණය හා පරාජය අතර දෝලනය වන්නා වූ සිදුවීම් මාලාවකිනි. අවසානයේ මවගේ අපේක්ෂාවන් ඉටු වූ ඒ පත්තර කැබැල්ල මව්ගේ සොහොන මත තැබුවද එයද සුළඟට හසුව ඈතට ගසා යන්නේ ඒ ජීවිතය ඔවුන්ට හිමි නොවන බව සහ ඇගේ එම සිහිනය සිහිනයක්ම බව සංකේතවත් කරමිනි.
"දීර්ඝ කාලයක් තිස්සේ සමාජයක් හැටියට අප ඇදගෙන වැටුණු පතලක් නැති ප්‍රපාතයේ සැලකිය යුතු කලාපයක් ආවරණය කරමින් මනුෂ්‍යත්වයේ ඛේදවාචකය රූප රාමු තුළට කැටි කළ අපේ කාලයේ සිනමා පටයක් ලෙසට 'ද නිව්ස්පේපර්' චිත්‍රපටය හැඳින්විය හැකි බව සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක මහතා පවසන්නේ යථෝක්ත විවරණයන් තහවුරු කරමිනි.
වගකීම් විරහිත ජනමාධ්‍ය හැසිරීම හරහා ලාභ අපේක්ෂාවෙන්, පීඩිත ජනතාව තලාපෙලා දමන්නට තරම් වත්මන් ජනමාධ්‍ය ආත්මාර්ථකාමී පිළිවෙතක් අනුගමනය කරමින් සිටී. එයට දේශපාලනය ඍජුවම සම්බන්ධය. එවැනි වපසරියක සිට රටේ සමාජ,ආර්ථික,දේශපාලන,සංස්කෘතික සියලු ක්ෂේත්රයන්ගේ හැසිරීම නිර්දය ලෙස විවේචනය කරමින් එනිසා අසාධාරණයට ලක්වුණු පීඩිත මින්සුන්ගේ ජීවිත විනාශය කරාම ගෙනයන බව පෙන්වීමට ගත් උත්සාහයක් ලෙස "ද නිව්ස්පේපර්" චිත්‍රපටය අර්ථ ගැන්විය හැකිය. සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර දෙපළගේ මෙතෙක් බිහිවූ නිර්මාණ අතර අග්‍රගණ්‍ය, සමාජ ශෝධනයකට මුලපිරිය හැකි නිර්මාණයක් ලෙස "ද නිව්ස්පේපර්" සිනමා නිර්මාණය පැසසිය යුතු වේ.
යු.එම්.එන්.විජේරත්න
විශේෂවේදී දෙවන වසර
ජනසන්නිවේදන අධ්‍යනාංශය
සමාජවිද්‍යා පීඨය