විශ්වවිද්‍යාලය යන්නෙහි අදහස විශ්වීය දැනුම කේන්ද්‍ර ගත කරන ස්ථානය ලෙස අර්ථකථනය කළ හැකි අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයා හෙවත් විද්‍යාර්ථියකු යනු දැනුම ගවේෂණය කරන පුද්ගලයකු ලෙස පෙන්වා දිය හැකිය. බොහෝ ශිෂ්‍ය සංඛ්‍යාවක් අතර පැවති විභාගයකින් තෝරාගත් ශිෂ්‍ය සංඛ්‍යාවක් අතරට ඇතුළත්ව විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීමම ශිෂ්‍යයකු හිමි කරගන්නා ඉතාමත් වටිනා අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය. වසර ගානක් තිස්සේ පාසල් අධ්‍යාපනය නිමා කොට දෙමව්පියන් සහ වැඩිහිටි අධීක්ෂණය යටතේ හැදී වැඩුණු දරුවා ඔවුන්ගෙන් හුදෙකලාව සීමාවකින් තොරව නිදහසක් අත්විඳින කාල සීමාවක් ලෙස විශ්වවිද්‍යාල ජීවිතය හැඳින්විය හැකිය. විශ්වවිද්‍යාලය යනු ශිෂ්‍යයෙකුගේ වැඩිහිටි ජීවිතයේ වැදගත්ම ආරම්භක අවධියක් ලෙස ද තවදුරටත් පෙන්වා දිය හැකිය.

විශ්වවිද්‍යාල ජීවිතයට අවතීරණය වන ශිෂ්‍යයා බොහෝ ගැටලූවලට, නැතහොත් අභියෝග වලට මුහුණ දෙයි. විශ්වවිද්‍යාල තුළ උප සංස්කෘතියක් පැවතීම සාමාන්‍ය සිද්ධියකි. එම උප සංස්කෘතිය තුළ පැවත එන ක‍්‍රියාවලියක් ලෙස නවක වදය හැඳින්වීම බරපතළ වරදකි. විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ රට පුරා නොයෙකුත් ප‍්‍රදේශවලින් පැමිණ සිටින සියලූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් යම් ක‍්‍රියාවලියක් යටතේ එකතු කරනු ලබන, විශ්වවිද්‍යාල ජීවිතය පිළිබඳව අවබෝධ කරවනු ලබන උප සංස්කෘතිය තුළින් ශිෂ්‍යයන් අතර එකාමෙන් සාමූහිකත්වය වර්ධනය වීම, එකිනෙකා වටහා ගැනීම සහ විශ්වවිද්‍යාලයීය ඉතිහාසය පිළිබඳව අවබෝධ කරවීම, විශ්වවිද්‍යාල ජීවිතයට හුරු කරවීම සිදු කරනු ලබයි. එහිදී උප සංස්කෘතියට මුවාවෙන් කරනු ලබන කායික සහ මානසික හිංසනයන් ද බොහෝ අවස්ථාවල දැකිය හැකි අතර එය උප සංස්කෘතියට මුවාවෙන් කරනු ලබන නවක වදය ලෙස හඳුන්වා දිය හැකිය. එවැනි ක‍්‍රියාවන් හේතුවෙන් ශිෂ්‍යයාට සිදුවන අමිහිරි අත්දැකීම් කායික හා මානසික වශයෙන් ද, අධ්‍යාපනයට ද බලපෑම් සිදු කරනු ලබන අතර ශිෂ්‍ය ජීවිතය අතහැර දැමීමට තරම් ඇතැම් අවස්ථාවල ප‍්‍රබල වීමට ඉඩ ඇත. නවකවද කාරණා හේතුකොට ගෙන සියදිවි හානි කරගැනීම දක්වා ශිෂ්‍යයන් පෙළඹුනු අවස්ථාද සමාජයේ දක්නට ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් අධ්‍යාපන පද්ධතියක් තුල නවක වදය කිසිසේත්ම සාධාරණීය කළ නොහැකිය. එහෙත් විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ පවතින ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල ජීවිතයට අනුගත කරවනු ලබන ක‍්‍රියාදාමය ඉතාම වැදගත් වේ. එය නවක නම්නීකරණ ක‍්‍රියාවලිය ලෙස හඳුන්වනු ලබන අතර ඒ තුළින් විශ්වවිද්‍යාලය තුළ කටයුතු කරන ආකාරය පිළිබඳව ශිෂ්‍යාට අවබෝධයක් ලබාගත හැකිය. ගම්බද ප‍්‍රදේශවල සිට විශ්වවිද්‍යාල පරිශ‍්‍රයට පැමිණෙන ශිෂ්‍යයා සිය දෙමවුපියන්ගෙන් ඈත්ව හුදෙකලාව මෙසේ පැමිණෙන පළමුවන අවස්ථාව ඇතැම් විට එම අවස්ථාව විය හැකිය. එකී ශිෂ්‍යයාට විශ්වවිද්‍යාල ජීවිතයට හුරු වීමට උප සංස්කෘතිය තුළ ක‍්‍රියාත්මක වන විවිධ ක‍්‍රියාවලීන් තුළින් ඉඩකඩ ලැබේ. මෙහිදී උප සංස්කෘතියට මුවාවෙන් කරනු ලබන නවකවදයට විරුද්ධ වීම සිදු විය යුතු අතර එසේ විරුද්ධ වීමට තරම් ශිෂ්‍යයා තුළ විශ්වාසයක් ඇති කරවීම ද ඒ හා සම්බන්ධ නීතිරීති ක‍්‍රියාත්මකව පැවතීම ද, දේශපාලනික කාරණාවන්ට මුවාවෙන් ශිෂ්‍යයන් අවභාවිතා කිරීම වැළැක්වීම සම්බන්ධව ක‍්‍රියා කිරීමද ඉතාම වැදගත් වේ.

තවද විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මුහුණදෙන අභියෝග අතර සිසුන්ට ප‍්‍රමාණවත් ආරක්ෂාවක් සලසන අධ්‍යාපනික වටපිටාවක් මෙන්ම ප‍්‍රමාණවත් පරිදි පහසුකම් සපයන සහ සිසුන්ගේ කායික මානසික සෞඛ්‍යය  පවත්වාගැනීමට උපකාරී වන හිතකාමී විශ්වවිද්‍යාල පරිසරයක් ගොඩනැඟීම ද ඉතාමත් වැදගත් වේ. ඇතැම් විශ්වවිද්‍යාලවල පහසුකම් ඉතාම සීමිත වන අතර ප‍්‍රායෝගික අධ්‍යාපනික පුහුණුව ලැබීමට අවශ්‍ය උපකරණ ද ප‍්‍රමාණවත් පරිදි නොමැති වීම කණගාටුවට කරුණකි. ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලය තුළ  ශිෂ්‍යයාට අවශ්‍ය පරිදි දැනුම ගවේෂණය කිරීමට නොහැකි වීමද විශ්ව විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයා මුහුණදෙන අභියෝගයක් ලෙස පෙන්වා දිය හැකිය.

තවද අතීතයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යා දෙස සමාජය බැලූවේ ගෞරවනීය කෝණයකිනි. දෙමව්පියන් අතීතයේ දී තම දරුවන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන්නේ මහත් වූ ආඩම්බරයකිනි. නමුත් වර්තමානය වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පිළිබඳව සමාජයේ පවතින විවිධාකාර මත හේතුවෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයා දෙස ඇතැමුන් වපර ඇසින් බැලීමට තරම් අකාරුණික වී ඇත. මෙහිදී උසස් පෙළ තුන්වන වරටත් අසමත් වූ සහ තම දරුවා කෙසේ හෝ විශ්වවිද්‍යාල ජීවිතයට ඇතුළත් කිරීමට වෙහෙස මහන්සි වී එසේ නොලැබුණු ඊර්ෂ්‍යාවෙන් සහ වෛරයෙන් පෙළෙන්නන් ද එමෙන්ම විරැකියාවෙන් පෙළෙන්නන් විසින් ද සමාජ මාධ්‍ය තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාව නිරන්තරයෙන් වැරදි ලෙස අර්ථකථනය කිරීම හේතුවෙන් මෙකී මතයන් සමාජය තුළ වර්ධනය වී ඇත. නමුත් විය යුත්තේ රටේ අනාගතය බාරගන්නා උගත් බුද්ධිමත් පිරිසට සහයෝගය දක්වමින් කටයුතු කිරීමයි. මෙහිදී නවක වදය නමින් කරගෙන යනු ලබන සහ ඇතැම් දේශපාලනික කාරණා මත එකතු වූ යම් ශිෂ්‍ය පිරිස් හේතුවෙන් සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය පද්ධතියම විවේචනය කරමින් ඔවුන්ට අපහාස කිරීම ඉතාමත් කණගාටුවට කරුණකි.

 

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මුහුණ දෙන අභියෝග හමුවේ නිසියාකාර ලෙස අවශ්‍ය පෝෂණය නොලැබීම ද බරපතළ ගැටලූවක් ලෙස පෙන්වා දිය හැකිය. රටේ උගතුන් බිහි කරන විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන දරුවන් කායික සෞඛ්‍ය හීන මට්ටමේ පැවතීම රටේ අනාගතයට බරපතළ හානියකි. කායික සෞඛ්‍ය පිරිහීම මානසික සෞඛ්‍ය පිරිහීමට ද බලපාන බැවින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ පෝෂණය පිළිබඳව සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් වේ. බොහොමයක් විශ්වවිද්‍යාලවල ආපනශාලාවල ඇති ආහාර ආදිය කටේවත් තැබිය නොහැකිය. ඇතැම් අවස්ථාවල ආපනශාලා වල පවතින පිරිසිදු භාවයත් ඉතා දුර්වල මට්ටමේ පවතින අතර පිළියෙල කරන ලද ආහාර පාන පවා අපිරිසිදු වීම සහ පිළුණු ආහාර ශිෂ්‍යයන්ට ලබා දීම, විවිධ අපද්‍රව්‍ය වලින් සමන්විත ආහාර ලබා දීම, ගෙවන මුදලට සරිලන හෝ ආහාරයක් ලබා නොදීම උදාහරණයක් ලෙස පොල්කුඩුවලින් සකස් කරන ලද පොල් සම්බල් ආහාරයට එකතු කිරීම ආදී බාල මට්ටමේ ක‍්‍රියාවන් බොහොමයක් ආපන ආපනශාලාවල පවතින ගැටලූ ලෙස පෙන්වා දිය හැක. තවත් අවස්ථාවල නේවාසිකාගාරවල සිටින ශිෂ්‍යයන්ට ප‍්‍රමාණවත් තරම් ආහාර විශ්වවිද්‍යාල ආපන ශාලාවල නොමැති අවස්ථා ද බොහෝ ඇත.

 

තවද විශ්වවිද්‍යාල සිසුන්ගේ සුබසාධනය වෙනුවෙන් ලැබෙන මහපොළ ද නොලැබෙන සිසුන් බොහෝ සිටින අතර අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට මහපොළ ආධාරය ලැබුණද අධ්‍යාපන කටයුතු කරගෙන යාමට තරම් එම මුදල් ප‍්‍රමාණවත් නොවීම ද ගැටලූවකි. ආහාරපාන සහ අනෙකුත් අත්‍යවශ්‍ය උපකරණ සියල්ලක්ම මිල අධිකව පවතින කාල වකවානුවක් තුළ ආර්ථික අතින් ඉතාමත් දුර්වල පවුල් වල ජීවත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහපොළ ආධාරය ලැබුණු පමණින් විශ්වවිද්‍යාල ජීවිතය සැපවත් නොවේ. නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මහපොළ ආධාරය ලැබීම සමාජය විසින් විවිධ අවස්ථාවලදී උපහාසාත්මක ලෙස විග‍්‍රහ කිරීමට කටයුතු කිරීම හාස්‍යයට කරුණකි. ඒ සමාජ මාධ්‍ය තුළ කැපී පෙනෙන ලක්ෂණයකි. ඇතැම් අවස්ථාවල මහපොළ ලැබීමට නුසුදුසු ශිෂ්‍යයන්ට පවා ලැබුණද එය අත්‍යවශ්‍ය ශිෂ්‍යයන්ට නොලැබීම ද කණගාටුවට කරුණකි. කෙසේ වෙතත් අධ්‍යාපනය අතරතුර අමතර රැකියාවන්හි නිරත වෙමින් තම අධ්‍යාපන කටයුතු සහ තම පවුල් වල සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපන කටයුතු ද සිදුකරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ බොහෝ දෙනෙක් සිටිති.

තවද විශ්වවිද්‍යාල ශිෂ්‍යා මුහුණ දෙනු ලබන තවත් අභියෝගයක් ලෙස ඇතැම් ශිෂ්‍යයන් තමන් සම්පූර්ණ කරන උපාධිය පිළිබඳව හෝ තමාගේ අනාගතය පිළිබඳව සැලැස්මක් නොමැති වීමද ගැටලූවක් ලෙස පෙන්වා දිය හැකිය. එයට ප‍්‍රධාන හේතුවක් ලෙස තමන් සපුරනු ලබන අධ්‍යාපන සුදුසුකම් වලට සරිලන රැකියාවක් සමාජය තුළ නොමැතිවීම පෙන්වා දිය හැක. මේ හේතුකොටගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතරතුර අධ්‍යාපනය හැරදා යන සිසුන් ද නැතුවාම නොවේ. මෙහිදී පවතින විෂය නිර්දේශයන් අලූත් වීමක් සිදුවිය යුතු අතර නව වැඩ ලෝකයට ගැලපෙන පරිදි ප‍්‍රායෝගික දැනුම වර්ධනය කිරීමත්, වෘත්තීමය පුහුණුව ලබාදෙමින් ශිෂ්‍යයාට අවශ්‍ය වැඩ ලෝකය සකස්කර දීමේ අධ්‍යාපනික වෙනසක් විශ්ව විද්‍යාලය තුල සිදුවිය යුතුය.

මීට අමතරව විශ්වවිද්‍යාල ජීවිතය තුළ ශිෂ්‍යයන්ට පැමිණෙන ගැටලූ අතර ආදර සම්බන්දතා, මිත‍්‍ර සබඳතා, ගුරු සිසු සබඳතා ආදිය බිඳ වැටීම ද ඒ හේතුවෙන් ශිෂ්‍යයා මානසික වශයෙන් පීඩනයට පත්වීමද පෙන්වා දිය හැකිය. එකී ගැටලූවලට බලපාන හේතු ලෙස එකිනෙකා කෙරෙහි ඇති ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය මෙන්ම අන් මත විශ්වාස කිරීමද, තව දුරටත් ඉවසීම මදකම, කිපෙන සුලූ බව, අන් මත ඉවසීමට ඇති අකමැත්ත ආදිය ද විශ්වවිද්‍යාල ජීවිතය තුළ ශිෂ්‍යයන් අතර පවතින තරගකාරී බව ද හේතුවක් වී ඇත. කෙසේ වෙතත් සමාජයේ ජීවත්වීමේදී  ඕනෑම අවස්ථාවක  ඕනෑම ගැටලූවකට මුහුණ දීමට තරම් ශක්තියක් ශිෂ්‍යයා තුළ වර්ධනය විය යුතු අතර,  ඕනෑම පරිසරයකට අනුගතවීමට තරම් හැකියාවක්ද,  ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් තමා තුළ වර්ධනය කර ගැනීමට ද ශිෂ්‍යයා පොහොසත් විය යුතුය. කෙසේ වෙතත් පවුල් පසුබිම තුළ ද ආර්ථික හෝ දෙමව්පියන් අසනීප වීම, නැතහොත් අහිමි වීම නිසාත්, ඔවුන්ගෙන් සිදුවන හිරිහැර පීඩාවන්වලට මුහුණ දීමට ආදී බොහොමයක් විවිධාකාර වූ ගැටලූ වලට මුහුණ දෙමින් අධ්‍යාපනික කටයුතු සිදු කරගෙන යන ශිෂ්‍යයෝ විශ්වවිද්‍යාලය තුලින් පැමිණෙන බාහිර අභියෝගයන්ට ද ගැටීම හේතුවෙන් බරපතළ මානසික ගැටළු වලට ලක්වීම දැකිය හැකිය. මෙහිදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට එකී තත්ත්වයන්ගෙන් මිදී තම විශ්වවිද්‍යාල ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය පසුබිම සකසා දීමට තරම් පරිසරයක් විශ්වවිද්‍යාලය තුළ නිර්මාණය විය යුතුය.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා යනු ශිෂ්‍ය ජීවිතයේ වැඩිහිටි අවධියේ සිටින අයකු බැවින් තමාගේ ජීවිතය තුළ පැමිණෙන ප‍්‍රශ්න සහ ගැටළු වලට සාර්ථක ලෙස මුහුණ දීමට තරම් දරාගැනීමේ ශක්තියක් ඇතිකර ගැනීම ද ඉතාමත් වැදගත් වේ. රටේ අනාගතය බාර ගැනීමට මෙන්ම අනාගතයේදී විවිධ රැකියාවන්හි නිරත වීමට සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යයා තමා ඉදිරියට පැමිණෙන  ඕනෑම ප‍්‍රශ්නයකදී නොබියව එයට මුහුණ දීම ද අන් මත ඉවසීම, ඇහුම්කන් දීම, යමක් තේරුම් ගැනීමේ හැකියාව ආදී ගුණාංගයන් ද වර්ධනය කරගත යුතු අතර තමාට ඇතිවන ප‍්‍රශ්නවලට සාර්ථක ලෙස මුහුණ දීමට තරම් ශක්තිමත් පුද්ගලයෙකු ලෙස වර්ධනය වීම ද ඉතාමත් වැදගත් වේ.

 

එල්.බී.එස්.දිල්හාරා

මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය

ජනසන්නිවේදන අධ්‍යයන අංශය