Image

ඉතින් අපි වෙන්වෙමු කියා මූසල යාමෙක

වචන තුනකින් මතක වස්ත්‍රය පිදූවත් අපෙ ප්‍රේමෙට

නුඹට කළ ආදරය තුන්යම දවයි මගෙ හදවත යට

කොහොම ඉන්නද ආදරේ කළ සිතක් ළඟ විලසින් පිට

 

දෑත් පටලන් නුඹ සමඟ ගිය වීදි වල අද යන විට

අපෙ මතක ඔච්චම් කරනවා රිදී දැවෙනා පපුවට

නුඹ සමඟ කී කතා අද උඩු සුළඟෙ විත් මගෙ සවනට

කොඳුර කොඳුරා නෙත් තෙමනවා දුකෙන් හදවත ගල් කොට

 

ඉසුරුමුණි පෙම් යුවල මෙන් නොව හදවතිනි අප එක් උනේ

නුඹ නොමැති එක තප්පරෙත් කල්පයක් තරමට වැටහුනේ

ටිකෙන් ටික මා හට දුන්නු ඒ වටිනකම ඇයි නැති උනේ

නුඹේ පණ යැයි කියා කිවු මම වහකදුරු වී නැවතුනේ

 

සොඳුර නුඹ සැමට ම වඩා මට පෙම් කෙරුව ඒ කාලෙට

තවත් මගෙ හිත දුවනවා අප අපේ වී උන් යාමෙට

වෙන අතක පැටලිලා ඔහුටත් කියද්දි 'මගෙ ලෝකය'

මොහොතකටවත් සිහි නොවේවිද නුඹට අප කළ ප්‍රේමය

 

නටඹුන්ව ගිය තැන් වලයි හරි ලස්සන ම මතකයන් තිබුණේ

මල් පිපී පරවෙච්ච පසුවයි ගහට මල් නැති අඩුව පෙනුණේ

නියඟයෙන් ඉරි තැලුණු බිමටයි දිය බිඳක ඇති අගය දැනුණේ

නුඹව මට අහිමිව ගියාමයි නුඹේ ආදරෙ තරම දැනුණේ

 

සිනහවක් නොහඳුනපු මුහුණට සිනහවක් ගෙන ආපු ළඳුනේ

නුඹට දුන් පෙම කිසිම දවසක වෙන කෙනෙකු හට නොදෙමි රහසේ

ඒ නිසා රිදුමන් දරාගෙන ඔහේ ඉමි පෙර මතක අස්සේ

මතක් උනොතින් කතා කරපං උඹ තමා මගෙ පපුවෙ රස්නේ!

 

දසුන් පෙරමුණ

නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය

ලලිත කලා අධ්‍යන අංශය

මානව ශාස්ත්‍ර පීඨය

07 أيلول/سبتمبر 2022
18 نيسان/أبريل 2023
06 حزيران/يونيو 2023
16 آب/أغسطس 2022
28 كانون1/ديسمبر 2022