Image

සෑම වසරකම සැප්තැම්බර් මාසය එළඹෙනුයේ "සාහිත්‍ය" යන නමත් පටබැඳගෙනය. ඒ වසරේ සෑම සැප්තැම්බරයක්ම සාහිත්‍ය වෙනුවෙන් වෙන් කර තිබීම නිසාය. සාහිත්‍යය වෙනුවෙන් වෙනම මාසයක් වෙන් කිරීමට අවශ්‍ය ද යන්න පිළිබඳ විචාරකයින් අතර කුමන මතවාද තිබුණත් වර්තමානයේ එය මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි. ශ්‍රී ලංකාවේ  සාහිත්‍ය මාසය ගැන කතා කරන විට අපට සිහි වනුයේ පොත් ප්‍රදර්ශනයයි. පොත් කියවීමට හා ලිවීමට කැමති සියල්ලන්ටම විවෘත මෙම පොත් ප්‍රදර්ශනය මේ වසරේත් උත්කර්ෂයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ දින කිහිපයක් පුරා පැවැත්විණි. එක් අතකට එක තැනකින් අවශ්‍ය පොත් පත් මිලදී ගැනීමට මෙවැනි ප්‍රදර්ශන තිබීමත් පාඨකයින්ට පහසුය. 

සාහිත්‍ය මාසය යනු පොත් ප්‍රදර්ශනය පමණක් නොව ඊට එහා ගිය පුළුල් පරාසයක විහිදුණු වැඩකටයුතු රැසක් සිදුවන මාසයකි. හොඳම පොත් ප්‍රකාශකයින්, කර්තෘවරු, වසරේ හොඳම කෙටි කතා සංග්‍රහය, වසරේ හොඳම නවකතාව යනාදී  වශයෙන් සාහිත්‍යයේ උන්නතිය වෙනුවෙන් කැපවෙන විද්වතුන්ට සම්මාන ලබා දීමත් , විවිධ කර්තෘ හා පාඨක සුහද හමු පැවැත්වීම, සහිත්‍යමය සාකච්ඡා මණ්ඩප, සිනමා ප්‍රදර්ශන  හා විචාරක වැඩසටහන්, සහිත්‍ය තරඟ පැවැත්වීම යනාදිය මීට නිදසුන් වේ .මේ කාලය වන විට ලංකාවේ විශ්වවිද්‍යාලවල, පාසල්වල සාහිත්‍ය උත්සව, ඔන්ලයින් සාකච්ඡා,වේදිකා නාට්‍ය පෙන්වීම වැනි කලාත්මක මුහුණුවර ගත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වනු දැකිය හැකිය.  

පාසලක වුවද විශ්වවිද්‍යාලයක වුවද ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුල් වී මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් ඔවුන්ගේ නායකත්ව කුසලතා, සහයෝගය, එකමුතුකම, ඉදිරිපත් වීමේ කුසලතා යනාදී හැකියාවන් වර්ධනය වෙනවා පමණක් නොව  ලිවීමේ, කියවීමේ හා රංගනයේ රුචිය වැඩි වීම ද, සාහිත්‍ය ලෝකයේ විශිෂ්ට පුද්ගලයෙකු වීමේ උනන්දුව ද ඇති වේ. කුමන හෝ මාසයක් තෝරාගෙන මෙවැනි වැඩසහන් කිරීමේ වටිනාකම අනාගත පරපුර සාහිත්‍ය ලෝකයේ උන්නතිය උදෙසා පරිස්සමින් සකස් කිරීමයි. කිසිවක් නොකර සිටිනවාට වඩා කළ හැකි පුංචි යමක් වේද ඒ දේ හරියට කිරීම තුළින් විද්‍යාර්ථීන්ගේ අත්දැකීම, සම්බන්ධතා හා දැනුම වැඩි වීමට හේතු වේ. එබැවින් සහිත්‍ය මාසයම පමණක් නොව වසරේ අනෙක් මාසවලත් ඔබගේත්, සමාජයේත් උන්නතිය වෙනුවෙන් කාලය වෙන් කරගෙන සහිත්‍යයේ ප්‍රගමනය උදෙසා කටයුතු කළ යුතුය. ඒ අනුව යහපත් සමාජයක් බිහි වනුයේ යහපත් සාහිත්‍ය ඇසුරකින්ය. ඒ යහපත් ඇසුර නිර්මාණය කිරීම ඔබ අප සැමගේම වගකීමය. 

සංස්කාරක