Image

රෝස මලට අපි කවුරුත් කැමතිය. ආදරේය. රොස මලක් තලන්නට, පොඩි කරන්නට අකමැතිය. හරවා හරවා ඒ මලේ සුවඳ විඳින්නට, හැඩ රුව විඳගන්නට අප කැමතිය. රෝස මල පරිසරය සුවඳවත් කරනවා මෙන්ම අලංකාරවත් කරයි. මේ රෝස මාසයේ රෝස මල යනුවෙන් කුමක් අදහස් වේ ද? ඒ ලෝක ළමා දිනයයි. ළමයින් වෙනුවෙන් වෙන් වූ ලෝක ළමා දිනය සැමරුවේ ඔක්තෝම්බර් පළමු වැනිදාය. ලෝක ළමා දිනය සැමරීමේ පුරෝගාමියා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නෝර්ත්වුඩ් නිව්හැම්ප්ෂයර්හි දී උපත ලැබූ චාල්ස් එච්. ලෙනාර්ඩ් පියතුමායි. 1857 දී සමාජයේ පැවැත්ම සඳහා අනාගත මානව ලෝකයට පුරවැසියන් වශයෙන් ඒකරාශී වන දරුවන් රැකගැනීම හා ඔවුන්ගේ ශුභ සිද්ධිය පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය ප්‍රථම වරට යොමු කළේ ඔහුය. එබැවින් ඔහු එදින රෝස දිනය ලෙස නම් කළේය. 

Image

සැබැවින්ම දරුවන් වෙනුවෙන් වෙනම දවසක් කැලැන්ඩරයේ වෙන් විය යුතුද? එදිනට පමණක් ඔවුන් ගැන මෙතරම් උනන්දුවෙන්, උත්සවශ්‍රීයෙන් සැමරිය යුතුද? යන්න කලක පටන් මෙරට සමාජයේ වාද විවාදයට ලක් වෙන කරුණකි. මානවයාගේ කුඩාම අවධිය දරුවාය. දරුවන් වෙනුවෙන්, ඔවුන් නිවැරදිව තැනීම, ඔවුන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව හා අධ්‍යාපනය පිළිබඳව හඬ නගන සංවිධාන ලොව ඕනෑ තරම් තිබේ. රටක රජය හා දරුවන් සඳහා වෙන් වූ වෙනත් ආයතනවලින් ඔවුන් වෙනුවෙන් කුමන සේවාවන් සිදු කළ ද, සමාජයේ අසාධාරණයට ආනාරක්ෂිත බවට පත් වෙන දහසකුත් දරුවන් ඇත. එම දරුවන් වෙනුවෙන් එක දවසක්, මාසයක් නොව දිනපතා කතා කළ යුතුය. ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගිය යුතුය.

Image
Image
ඔක්තෝම්බර් පළමු වෙනිදා ළමයින් වෙනුවෙන් පමණක් නොව වැඩිහිටියන් වෙනුවෙන් ද වෙන් වී තිබේ. වැඩිහිටියන් ළමා විය පසු කර බොහෝ අත්දැකීම් ලැබ විශ්‍රාම සුවයෙන් කල් ගෙවයි. ඔවුන් වෙනුවෙන් දිනයක් වෙන් කර ඇත්තේ ඇයි? මානවයා වයසට යන විට දරුවන් වගේ යනුවෙන් සමාජයේ කියමනක් තිබෙනවා ඔබ අසා ඇති. වැඩිහිටියන් වුවද ඔවුන්ට දරුවන් වෙනුවෙන් කළ හැකි දෑ බොහෝය. ජිවිතාවබෝධය කියා දීම ඉන් එකකි. වැඩිහිටියන්ගේ උපදෙස් දරුවන්ගේ අනාගතය එළිපෙහෙළි කිරීමට අත්‍යවශ්‍යය. එපමණක් නොව මානව ජීවන අවධියේ දරුවන් හා වැඩිහිටියන් අතර මැද සිටින තරුණ කොටස මේ දෙපාර්ශවයම රැක බලා ගත යුතුය. ඒ නිසා තරුණ ප්‍රජාවට දරුවන් කෙරෙහිත් වැඩිහිටියන් කෙරෙහිත් ඇති වගකීම වැඩිය. විශේෂයෙන්ම දරුවන් හා වැඩිහිටියන් කෙරෙහි දක්වන ආදරය, සෙනෙහස හා රැකවරණය අඩු වැඩි වීම මත ඔවුන්ගේ විවිධ සෞඛ්‍යමය වෙනස්කම් ඇති වේ.

ඒ නිසා මේ සුන්දර ඔක්තොම්බරයේ ඔවුන් වෙනුවෙන් එක් දිනක් හෝ වෙන්වීම වසරකට වරක් ඔවුන් වෙනුවෙන් සමාජය අවදි කිරීමට හැකිවේ. ඔවුන් වෙනුවෙන් පවත්නා නිතී, රීති කලෝචිතව වෙනස් කිරීමටත්, සමහර අසාධාරණයන්ට ලක් වී සිටින වැඩිහිටියන්ට හා දරුවන්ට සාධාරණය ඉෂ්ඨ කිරීමට හෝ හැකියාව ලැබේ. ඒ නිසා රෝස මාසයේ පමණක් නොව සෑම දිනකම ඔවුන් වෙනුවෙන් රෝස දිනයක් වන්නේ නම් එය ඉතා අගනේය. නමුත් වරසකට දරුවන් හා වැඩිහිටියන් වෙනුවෙන් එක් රෝස දිනක් හෝ වෙන් කිරීම හැල්මේ දුවන තරඟකාරී මිනිසුන්ට මනුෂ්‍යත්වය මතක් කරන්නට හැකි වනු ඇත.  


සංස්කාරක