Image
මේ දිනවල විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳ සමාජයේ වැඩිපුරම කතාබහට ලක්වන මාතෘකාව නම් නවකවදයයි. නවකවදය ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව වැනි රටවල අධ්‍යාපන ආයතනවල උපසංස්කෘතියේ එන අංගයක් ලෙස පවත්වාගෙන යයි.  මෙය ලෝකයේ වෙනත් රටවල විවිධ නම්වලින් හඳුන්වාදෙමින් ක්‍රියාත්මක වේ.  පෘතුගාලයේ praxe, ප්‍රංශයේ bizutage හා උතුරු ඇමරිකාවේ hazing යන නම්වලින් මෙය හැඳින්වේ. සරලව ගත් කළ නවකවදයේදී සිදු වනුයේ ඉගෙනුම් ආයතනයක ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් කණිෂ්ඨ සිසුන්ව කායිකව හා මානසිකව වදහිංසාවට ලක් කිරීමයි.  වර්තමානයේ මේ සඳහා දැඩි නිතී රීති නිර්මාණය කර ඇත. නවකවදය සිදු කරන්නන් වෙත පනවා ඇති නිතී රීති දෙස බැලූ විට ශිෂ්‍යභාවය වසර කිහිපයකට අහෝසි කිරීම හෝ විශ්වවිද්‍යාල උපාධිය ලබා ගැනීම අත්හිටුවීම, විශ්වවිද්‍යාලයෙන් නෙරපීම, උසාවිය හරහා වසර 10 ක සිරදඬුවම් ලබා දීම වැනි ක්‍රියා අන්තර්ගත වේ. නිතිරීතී පැන වූ පමණින් නවකවදය නැවැත්විය හැකිද යන්න අප ඇසිය යුතුය. ලෝකයේ අපරාධකරන්නන් සඳහා කෙතරම් නිතිරීති ඇති කර තිබුණද, ඒවාට දඬුවම් ලබා දුන්නද තවමත් ලෝකයේ අපරාධ සිදු වේ. එලෙසම නවකවදය සඳහා කෙතරම් නිතිරීති දැඩි කළද එය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ඉන් හැකියාවක් නැත. ඉන් සිදුවන්නේ නවකවදය සිදුවීම පාලනය කිරීම පමණි. කරුණු එසේ නම් නවකවදය නැති කළ හැක්කේ කෙසේද? 
විශ්වවිද්‍යාලය යනු රටක අනාගත පුරවැසියන් නිර්මාණය කරන දැනුම් කේන්ද්‍රස්ථානයයි. රටකට අවශ්‍ය කරන වෘත්තීමය ශ්‍රම බලකාය කායික හා මානසික නිරෝගීතාවයෙන් යුක්තව සකස් කිරීමෙහිලා විශ්වවිද්‍යාල තුළින් සිදු කරන බලපෑම අතිමහත් ය. නවකවදය විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වීමෙන් සිදුවනුයේ කායික හා මානසික රෝගීතාවයෙන් පෙළෙන මානව සම්පතක් නිර්මාණය වීමයි. කිසියම් පුද්ගලයෙකු කායිකව හා මානසිකව තමන්ට වදහිංසා කරනවාට කැමතිද? අප අපගේ හෘදසාක්ෂියෙන් විමසා බැලිය යුත්තේ එයයි. අපට වෙනත් අයෙකු වදහිංසා කරනවාට අකමැති මෙන්ම අනෙකාද තමාට වදහිංසා කරනවාට අකමැතිය. ක්‍රිස්තු ධර්මයේ සඳහන් පරිදි අප අසල්වැසියන්ට ප්‍රේම කරන්නේ නම්, බුදුන්වහන්සේ වදාළ පරිදි අප සියලු සත්ත්වයන්ට මෛත්‍රීය දක්වන්නේ නම් තව කෙනෙකුට වදහිංසා පමුණුවන සිතිවිලි පහළ වන්නේ නැත. ඒ අනුව නවකවදය නැති කිරීමට අවශ්‍ය වන්නේ විශ්වවිද්‍යාලයේත්, බාහිර සමාජයේ ආකල්පමය වෙනසකි. මෙකී ආකල්පමය වෙනස විශ්වවිද්‍යාලයට පැමිණෙන සියලුම විද්‍යාර්ථීන් තුළත්, සමස්ත සමාජයේත් ඇති කරගන්නේ නම් නවකවදය යන වචනය යටපත් කරලිය හැකිය. 
ආකල්පය වෙනස් විය යුතු බව දැන දැනත් මේ සමාජයේ තවමත් නවක වදය ක්‍රියාත්මක වන්නේ ඇයි දැයි කෙනෙකුට සිතිය හැකිය. අප සැවෝම ආකල්ප යහපත් කරගෙන අනෙකාව පීඩනයට පත් කරන ක්‍රියවලින් වැළකී සිටීමට ක්‍රියාකරන්නේ නම් මැනවි. නමුත් ප්‍රශ්නය නම් බොහෝ දෙනා ආකල්පමය වෙනස ඇති කළ යුතු බව දැනසිටියත් එය ක්‍රියාවෙන් නොකිරීමයි. ඊට හේතුව නම් නවකවදය වැළක්වීම සඳහා සමස්ත සමාජයම අධ්‍යාත්මයෙන් උනන්දු නොවීමයි. ප්‍රශ්නය තමන්ගේ වනතාක් පිළිතුර දාර්ශනිකයි යනුවෙන් ජනවහරේ ඇති කියමන නවකවදය අතු ගා දැමීම සඳා ශ්‍රී ලංකාවේ සැමට අදාළ වේ යැයි මට සිතේ. 
සංස්කාරක