Image

ආදරයට, ප්‍රේමයට අප කවුරුත් කැමතිය. ආදරය ලබන්නෝත් ආදරය නොලබන්නොත් මෙලොව සිටිති. ආදරය ඇත්තේ විඳින්නට ය. තව කෙනෙකු හා බෙදා ගන්නටය. එය විටක මිහිරිය. සුන්දරය. සතුට උපදවන සුළුය. එය හිංසාවෙන් තොරය.  

 

හිංසාවකින්, පීඩනයකින් තව කෙනෙකු දිනා ගත හැකි ද? ආදරය බෙදනවා යන මුවාවෙන් හෝ රැකගන්නවා යන මුවාවෙන් තව කෙනෙකු පීඩාවට, බලපෑමකට ලක් කර ඉන් ආදරය දිනා ගත හැකිද? යන්න අප සිහිබුද්ධියෙන් විමසා බැලිය යුතුය. අපට ආදරය ඉගෙනගත හැක්කේ ආදරය කිරීමෙන් ම පමණි. ජිවිතය මලක් නම් ආදරය මලෙහි ඇති පැණි බඳුය. පැණි නොමැති මලකට බඹරුන් නොපැමිණෙන්නාක් මෙන් ආදරය නොමැති තැනකට කිසිවකුත් ආකර්ෂණය නොවේ. සමාජ ප්‍රගමනයට ආදරය කොතරම් නම් අත්‍යවශ්‍යද යන්න මින් ඔබට වැටහෙනු ඇත.

Image

විශ්වවිද්‍යාලයක ගත කරන ජිවිතයේ වසර හතරක් වැනි කෙටි කාලය තුළ ඔබට ආදරය පමණක් බෙදිය හැකි නම් එය කොතරම් නම් අශ්වාදජනකද? ඒ සිව්වසර තුළ මුණ ගැසෙන සහෝදර සහොදරයින්, මිතුරු මිතුරියන් මෙන්ම ආචාර්ය මහාචාර්යවරු සමඟ ආදරය පෙරදැරිව කටයුතු කරන්නේ නම් මේ සමාජය කෙතරම් සුන්දර වනු ඇත්ද? අප තව කෙනෙකු හඳුනාගන්නේත්, ඔවුන් සමඟ දීර්ඝ කාලීන සම්බන්ධතා පවත්වාගන්නේත් ඔවුනට වෛර කිරීමෙන් හෝ හිංසා කිරීමෙන් නොවේ.  ආදරයෙන් ආදරය බෙදා දීමෙනි. විශ්වවිද්‍යාල භූමියට නන් දෙසින් පැමිණෙන විද්‍යාර්ථීන්ව විශ්වවිද්‍යාලය පරිසරයට හුරු කරවීම ලස්සනට සිදු කළ හැකිය. ඒ ආදරය වැපිරීමෙන් ය. ඔබ කොතරම් උසස්, උගත් වුවත් තමාට මුණ ගැසෙන නවක විද්‍යාර්ථීන් හා මිතුරු මිතුරියන්ට ආදරයෙන් නොදන්නා දේ කියා දීමටත්, පොත පත හුවමාරු කරගැනීමටත්, එකිනෙකාව ආරක්ෂා කිරීමටත්, විශ්වවිද්‍යාල පරිසරයට අනුගත වීමටත් හා නොයෙක් අභියෝග ජයගන්නා හැටිත් කියා දිය යුතුය. ලොව ජයගන්නේ ආදරයෙන් මිස හිංසාවෙන් නොවේ. එබැවින් ඔබේ දිනුමත් සමස්ත සමාජයේ දිනුමත් අරඹයා අප සැම වගා කළ යුත්තේ ආදරයි. 

 

 

සංස්කාරක