මෝවිට ලිහුණු දිවි පැදුරේ නිදියාන අම්මේ කඳුළු අහුලනවද පෙර සේම..
- කතා
- Affichages : 2613
යමක් තුළින් විශ්වීය ධාතුවම පෙන්විය හැකි යම් දෙයක් පවතීද..? එය ' ඔව් ' යැයි පවසමි. ඒ ' අම්මා ' ය. ජීවිතයේ ඇති සියළුම සංසිද්ධි තුළ පොදුවේ මනුෂ්‍ය වර්ගයා එක ස්ත්‍රී රූපකායක් තුළ නිමග්නය. ජීවවිද්යානුකූලව ස්ත්‍රී සත්ත්වයකු හා පිරිමි සත්ත්වයකු සංවාසයේ යෙදෙන්නේ ලෝකයේ ඉදිරිපැවැත්ම උදෙසාය. මෙ කාර්ය සත්ත්ව ලෝකය තුළ පොදු ලක්ෂණයක් වුවත් එය වෙනස් වන්නේ මනුෂ්‍ය සහ ඩොල්ෆින් මත්ස්‍යා තුළ පමණකි. ඒ පහස සඳහා, තෘප්තිය සඳහා සංවාසයේ යෙදෙන්නේ ඔවුන් දෙවර්ගය පමණක් වන බැවිනි. මෙසේ ලෝකයේ ඉදිරිපැවැත්ම උදෙසා දරුවකු බිහිකර රැකගැනීම පැවතීම යන කාරණා මෙලෙස එක් ක්‍රියාවලි රාමුවකට කොටු වන්නේ කෙලෙසද.. අම්මා යන වාච්‍යාර්ථය ම සපුරාම මේ සා කටොළු මත කුස හොත් දරු රකින්නේ ඇයිද..? මෙය ජීවවිද්‍යාත්මක කාරණයක්ද සංස්කෘතික සහලක්ෂණයක්ද නැතිනම් සමාජය විසින් කරපිට පටවන ලද කාර්යයක්ද..?
බුද්ධ දර්ශනය තුළ තම හදාගත් මෑණියන් වූ ප්‍රජාපතී මහරහතන් වහන්සේගේ අවමංගල්‍ය පෙරහැර පසුපස බුදු රජාණන්වහන්සේ වඩින්නේ ඒ මව් ගුණය ප්‍රකට කිරීම උදෙසාය. එමෙන් ම ඉස්ලම් ආගම තුළ, ක්‍රිස්තියනි ආගම තුළ, හින්දු ආගම තුළ හා මුළු මහත් ලෝකානුබද්ධව සංස්පර්ෂ්ය කළ යුතු මනුෂ්‍ය ආගම තුළ ද අම්මා යන වචනය තරම් ප්‍රබල, එක් අවස්ථාවක හැඟීම් උතුරා පිටාර ගලන සහ තවත් අවස්ථාවක හැඟීම් විරහිත කරවන වචනයක් නොමැති බැව් විශ්වාසය.
'දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවඳ හමනවා
පසළොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා
මගේ අම්මා මට ජීවන සුවය සදනවා'
'අම්මා එන්න සඳපානේ සඳක් වෙලා'
'අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා'
අම්මා ඒ තරම් පුද්ගල භූමිකාව තුළ අමිල කර්තව්‍යක් ඉටු කරයි. පසුගිය දිනෙක අප අතරින් සමුගත් නයනසේන වන්නිනායක මහතාගේ පන්හිඳෙන් ඉතාමත් අපූරු ගීතයක් රචනා වේ. එහි උඩුමහන් තලයේ සිටින අම්මා ද කටුමැටි පැළේ සිටින අම්මා ද දරුවන් වෙනුවෙන් එක සේ භෞතික මානසික ගැහැට විඳිනු ලබයි.
'කුසහොත් පැටව් බඩපුරවාලනු සන්දා
ඇඟ දිය කරා කිරි වෙනුවෙන් අපේ අම්මා..'
අම්මා දිය කරන්නේ ඇඟ පමණක් නොවේ. රූපය, සිත, සතුට, හැඟීම්, ලෝකය මේ හැම දේම අම්මා දරුවන් වෙනුවෙන් දිය කර හරියි.
"..ගල්ලැහැ පන්මිටිය හුම්මේ ඔසවාන
නියරේ මාව වත්තන් කොට අල්ලාන
පිම්මේ ආපු හැටි මට මතකයි තාම
අම්මේ ඔත්පලයි මගේ හිත හොඳටෝම
පැදුරු ආන යට ලීයේ ඔරවාන
මකුළු දැල් වියන් උහුලයි කරබාන
මෝවිට ලිහුණු දිවි පැදුරේ නිදියාන
අම්මේ කඳුළු අහුලනවද පෙර සේම
පෑළ ආකහේ පඬු ඇඳලා මන්ද
මූණ සේම නුඹ වරුවක් ඉකිබින්ඳ
හීත දුරුත්තෙත් උණු කඳුලැලි මන්ද
පේන දුරක නිවනක් තාමත් නැද්ද.."
කෘතහස්ත ගීතරචකයකු හා කවියකු වූ නොබෝ දිනකදි අප අතරින් වෙන්වුණු නයනසේන වන්නිනායක මහතාගේ පන්හිඳෙන් ලියවුණු කවි පෙළක් විශාරද දර්ශන වික්‍රමතුංග මහතාගේ සංගීතයෙන් සිත්තම් ව විශාරද ලක්මිණි උඩවත්ත මහත්මිය ගේ කටහඬින් සහෘද සිත් අද්දරට ගෙන එයි. අම්මා කියන හුරුපුරුදු අකුරු ත්‍රිත්වය කොහේදෝ අපූරු ස්ථානයක රඳවමින් සහෘද සිත් සම්මර්ශන කරනු ලබන මේ ගීතය බොහෝ දුර අනන්තයක සිත රඳවා තබයි. ඒ අම්මා අපේ අම්මාගේ ඔබේ අම්මාගේ ස්නේහයද සිත තුළ සුවඳවත් කරමිනි.
ආසියානුකරයේ, ශ්‍රී ලංකාවේ මාතෘත්වය ඉතාමත් ඉහළින් වැජඹෙන සාධකයක් වුවද කාන්තාව යන සාධකය තුළ ගැහැණිය විවිධ යදම් වලින් බැඳලනු ලැබ ඇත. මේ රාමුව යම්තාක් දුරකට හෝ ගිලිහී යන්නේ අම්මා කියන පදවියත් සමඟයි. නමුත් අම්මා යන්නී කිසිම දිනෙක සැප විඳින්නියක් නොවේ. නිර්ධන පාංතික හෝ ධනපති පාංතික අම්මා අම්මාමය.
"..ගල්ලැහැ පන්මිටිය හුම්මේ ඔසවාන
නියරේ මාව වත්තන් කොට අල්ලාන
පිම්මේ ආපු හැටි මට මතකයි තාම
අම්මේ ඔත්පලයි මගේ සිත හොඳටෝම.."
"ගල්ලැහැ පන්මිටිය හුම්මේ ඔසවාන නියරේ මාව වත්තන් කොට අල්ලාන"
පන්මිටියක් හිස මත තබා ගෙන කුඹුරේ නියර මතින් දරුබරද ගෙන පියමං කරනා අම්මා ගැන ඇගේම දරු සිතෙහි ඇති වන, මෙය මා හඳුන්වන්නට කැමතියි ශෝකාලාපයක් ලෙස මන්ද යත් එය ගීතයේ අගදි මනාව පසක් වන බැවිනි. මෙලොව පවත්නා සෑම දාරක ස්නේහයෙන් යුත් සිතක ම එකම ප්‍රාර්ථනය," මගේ පුතා රජෙක් වෙන්න ඕනෑ.." කියන අදිටන පමණකි. ඒ අම්මාය. ඇය ඇගේ මුළු ශක්තියම දරුවන් වෙනුවෙන් මුහුකරන්නීය. ඇගේ හිස මත ඇති ගල්ලැහැ පන්මිටිය (ගල්ලැහැ යනු පන් වර්ගයකි) ප්‍රබල රූපකයක් චිත්රණය කරයි. පන් ගනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ම පැදුරු විවීම සඳහාය. පන් විලට ගොස් පන් නෙලා වේලා පාට දමා නෙකක් රූකම් රටා යොදමින් පැදුරු වියනු ලබයි. අවසන මෝවිය යොදා ඉතා හැඩැති පැදුරක් නිර්මාණය කරයි. අම්මා කෙනෙකු තම දරුවන් ද දකිනු රිසි වන්නේ පන් මිටියක් සේය. ප්‍රවේශමෙන් නෙලා නෙකක් පාට දමා රටා රූකම් මුහුකොට අලංකාර රටට වැඩදායි දරුවකු බිහි කරන්නට, තම දරුවා සක්විති කරන්නට හැම අම්මා කෙනෙකුම හීන පොදි ගසයි. අම්මලා ඊට අවශ්‍ය සෑම බරක් ම ඉතාමත් සතුටින් උහුලා හිඳී. මෙතනදීත් කවියා රූපණය කරන්නේ එය ය. හිස මත ඇති එක ම වස්තුව තම පුංචි පැටියාම පමණකි. පන්මිටියත් හුම්මේ ඔසවාගෙන දරුවාගේ බරත් තම උරපතු මත රඳවාගෙන මඩ ගොහොරුවේ නියර මතින් සීරුවට නමුත් එක පිම්මේ, දැඩි අදිටනින් පා තබන අම්මා කෙනෙකු කවියා අප හමුවේ නිරූපණය කරයි. පන්මිටිය යන සාධකය ඇගේ ආර්ථික මට්ටම නිරූපණය කරන සාධකයෝය. පන්මිටියක් ගෙන එන්නේ පැදුරු,තොප්පි,මාගල් වැනි දෑ වියන්නය.
"..පිම්මේ ආපු හැටි මට මතකයි තාම..", ගල්ලැහැ පන්මිටිය එක හුස්මට ඔසවාගෙන අම්මා එන්නේ දැඩි දරිද්‍රතාවයේ නියර මතිනි. එකාතකට ඇගේ සැමියා, දරුවාගේ පියාගේ අත්වාරුව ඇගෙන් ගිලිහෙන්නට ඇත. එනිසා ම ඇය දරුවාත් වත්තන් කොටගෙන එකම අදිටනින් සමාජය නැමැති මඩගොහොරුවත් දරිද්‍රතාවය නැමැති මඩ ගොහොරුවත් පරයා සීරුවට, අදිටනින් ඇය නියර මතින් පියමං කරන්නීය. නියර ද ඇගේ පසුබිම නිරූපණය කරයි. ඒ අම්මාය, දරුවන් වෙනුවෙන් අම්මට කළ හැකි දෑ අපමණය. පළමු පද තුනෙන් මව්ගුණ, දරු ස්නේහය හා ලෝකය දිනන්නට පෙරමං තනන අම්ම කෙනෙකු යථාර්වාදී කරයි.
"අම්මේ ඔත්පලයි මගේ හිත හොඳටෝම.."
මෙය ප්‍රබල ව්‍යංගාර්ථ යෙදුමක් ලෙස හැඟෙන්නේ දරුවා ඔහුගේ දෘෂ්ටිකෝණයෙන් අම්මගේ ගුණ සුවඳ පවසා අවසානයේ ඔහුගේ එනම් දරුවාගේ හිත මහ සන්තාපයකින් කැකෑරෙන බව සහෘද සිත් වෙතට විශධ කරයි.
"..පැදුරු ආන යට ලීයේ ඔරවාන
මකුළුදැල් වියන් උහුලයි කරබාන
මෝවිට ලිහුණු දිවි පැදුරේ නිදියාන
අම්මේ කඳුළු අහුලනවද පෙරසේම.."
යටලීය සාහිත්‍යයේදි විවිධ අයුරින් ව්‍යංගාර්ථවත් වේ. එඩ්වඩ් ජයකොඩි මහතාගේ, "සිරියහනේ ලණු ඉහිරි.." ගීතය තුළද යටලීයෙන් නාරිලතා මල් පුබුදින්නේ වාක්‍ය තුළ ප්‍රබල ශෘංගාරත්මක සම්මර්ශනයක් සහෘදයා වෙත ගෙන එයි.
".. පැදුරු ආන යටලීයේ ඔරවාන
මකුළුදැල් වියන් උහුලයි කරබාන.."
කවි දෙපදය තුළ ස්වාමියා මියගිය හෝ අත්වාරුව ලෙහුණු කාන්තාවකගේ ශෝකජනක ආත්මීය ස්වභාවය ප්‍රකට කරයි. එයටත් වඩා තම අම්මාගේ ගුණ කථනය සිදු කරන දරුවා අම්මා පියාගේ රැකවරණයක් නොමැතිව පුරුෂස්නේහයක් හෝ පුරුෂ ලාලසාවක් නොමැතිව ජීවිතය ගත කළ, ගත කරන අයුරු හුවා දක්වයි. ඒ බව මැනැවින් විශධ වන්නේ පැදුරු ආන, යටලීය හා ඔරවාන යන වචන ත්රිත්ත්වයෙ ඒකාත්මික වීමත් සමඟිනි.
"..මෝවිට ලිහුණු දිවිපැදුරේ නිදියාන
අම්මේ කඳුළු අහුලනවද පෙර සේම.."
පලාපෙති, පුන්කලස්, අන්නාසි මල් වැනි අලංකාරවත් සහ සූක්ෂ්ම රටා ආදිය දමමින් ඉතා සීරුවෙන් පුරාගෙන විත් පැදුරක් වියා නිම කරන්නේ මෝවිට දැමීම මඟිනි. මෝවිට පැදුරක වටිනාම හා වැදගත් ම අංගය වන්නේ වියාගෙන ආ පැදුර ශක්තිමත් ආකාරයෙන් බැඳ තබන්නේ හා වියූ පන් සැකැස්ම නැවත විසිරී නොයන ලෙස ආරක්ෂිත බැම්මක් ආකාරයෙන් නිමා වන්නේ මෝවිට මගින් වීම නිසාවෙනි.
මෝවිට ලිහුණු දිවි පැදුරේ නිදියාන ලෙසින් සපුරාම අදහස් කරන්නේ අම්මාගේ ජීවිතය විසිරී ගිය දුක්බර ජීවිතයක් බවයි. ශක්තිමත් බවක් නැතිව අලංකාරයක් හැඩයක් නොමැතිව අම්මා ජීවිතය දෙස බලන්නී, "අම්මේ කඳුළු අහුලනවද පෙර සේම.." අම්මා අතීතයේ මෙන් ම වර්තමානයේද දුක ම විඳින්නීය. තව ම යන වචනය මෙම දෙවන පද පෙළේ වැදගත් වචනයක් ලෙසින් ක්‍රියා කරයි. අතීතයේ මෙම කතාව කියන්නා මෙන්ම දරුවා කුඩාය. ළමා අවධියේය. වර්තමානය වන විට ඔවුන් ලොකු මහත් වීය. පෙර සේම යන්නෙන් එදත් අදත් අම්මා බොන්නේ කඳුළු ම බව රචකයා ඉතා සංවේගන් සටහන් කර ඇත.
"..පෑළ ආකාහේ පඬු ඇඳලා මන්ද..
මූණ සේම නුඹ වරුවක් ඉකිබින්ද.."
පෑළ අහස, බටහිර ආකාසය තම දුක කියූ සහෘද අහසට ගතු කීමක් වැන්න. පඬු, හේබා ගිය සිතුවිලි වලින් ගහණ බටහිර අහස සමාන කරන්නේ අම්මාගේ මුව කමලටයි. අම්මගේ කඳුළු පිරි දෙනෙත, ඉකිබින්ද මුහුණ අහස සේම කුමක් වීදැයි සහෘදයා අසන්නේ අහසෙනි. නැතිනම් අපගෙනි. පඬු පාට අහස මූසල ස්වභායකි සිත් තුළ ජනිත කරන්නේ, එමෙන් ම අහස හඬන්නේ කුමක් වීදැයි අසන්නේ ද සංවේගයෙනි.
හීත දුරුත්තෙත් උණු කඳුලැලි මන්ද...
පේන දුරක නිවනක් තාම නැද්ද..
සහෘද කාව්‍ය රචකයා මෙසේ විමසන්නේ අපෙන්ද..? නැතිනම් ඔහුගෙන්ද..? සීතල දුරුතු මහේ මේ තරම් උණු කඳුළු, ඒ අම්මා වෙනුවෙන් වැටෙන අසීමිත ස්නේහයේ නිහඬ සාක්ෂිය වේ. අම්මාගේ කැපකිරීම් හමුවේ දරුවකු ගේ ජීවිතය දියව යා යුතුය. නැතිනම් දරුවකු ලෙස ඔහු අසමත් ය.
පේන දුරක නිවනක් තාමත් නැද්ද අම්මේ අප වෙනුවෙන් ම වෙහෙසී ජීවිතය ම දිය කර අවසන අප නිසා ම උපන් අධික දාරක ස්නේහය සහ දරු තෘෂ්ණාව නිසා අවසන අම්මේ, නිවනත් නුඹට බොහෝ දුර වීද.. මං කැමතියි ඔබව පළමු පැදිපෙළේ අවසාන පදය වෙත මසැස යොමු කරන්න ට,
අම්මේ ඔත්පලයි මගේ හිත හොඳටෝම..
බටහිර අහස පඬු පාට පොවා අම්මා වෙනුවෙන් සමාචාරයේ යෙදෙන්නාහ. අවසන පසුතැවිල්ලක් පමණක් සිත දරාගත් දරුවෙකුගේ අසීමිත ස්නේහය මෙ ඇගේ දෙණ අභියස දිග හැරෙන්නාක් වැන්න.
සරුසාර නොවී ලස්සනක් නොපැතූ ජීවිතය තුළ අනේක දුක් කරදර ඉවසා දරාගෙන හිඳ මව්වරුන් අවසානයේ මරණය කරාද යන්නේ දරුබර කර තියාගෙනය. අම්මාවරුන් එහෙමය.
අම්මා දරුවන්ගේ සැපත සතුට වෙනුවෙන් අනේක දුක් ගැහැට විඳින්නෝය. අවසානයේ කිසිත් නොඉල්ලා දරු සෙනෙහෙ පමණක් සිත තබා ඔවුන් නික්ම යති. නමුදු දරු ස්වභාවය විය යුත්තේ නම් තම ජීවිතය තුළ අම්මාගේ භූමිකාව සිත තුළ තබා ස්මරණයේ යෙදීමයි. මන්ද යත් මව්වරුන් සැමදාම සක්විති රජුන් තැනුවේ රහසේ ය.
"..මව්කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
අම්මාවරුන් දුක් වින්දා හඬාලා.."
නයනසේන වන්නිනායක මහතා ඔහුගේ අම්මා සිත තබා දැයේම අම්මලා වෙනුවෙන් මේ අකුරු පද කරන්නේ අම්මා වෙනුවෙන් නැගෙන මව් සෙනෙහස නිසාම ය.අම්මා යනු ජීව විද්‍යානුකූලව දරුවන් බිහි කරනා කාන්තාව ම පමණක්ම නොවේ යැයි මෙබඳු පද සංකල්පනා තුලින් මනාව ගම්‍ය වේ.
යළිඳු කුංචන ජයවීර
සිව්වන වසර
භූගෝලවිද්‍යා අධ්‍යනාංශය
සමාජීය විද්‍යා පීඨය