හිරුට අයිති බව....
- කතා
- Affichages : 1959
ප්‍රේමය කියන්නෙ බෙදා ගත යුතු දෙයක්,නමුත් බොහෝ දෙනකු හිතන්නේ ප්‍රේමය කියන්නේ, අයිති කරගත යුතු දෙයක් බවයි.මෙහි යම්කිසි ඇත්තක් තියෙනවා තරුණයෙක් තරුණියකට ප්‍රේම කරන්නේ ඔහු හෝ ඇය අයිති කරගන්න.මෙය වැරදි දෙයක් නොවේ නමුත් වැරැද්ද තියෙන්නේ අයිතිකර ගැනීම තුළ නොවේ වැරැද්ද තියෙන්නේ නොලැබීම තුළ ඔවුන් ක්‍රියා කරන ආකාරයයි.තරුණ කාලයේදී තරුණයන් තරුණියන් සම්බන්ධතා ඇති කරගන්නවා, එවා ඇතිවෙනවා නැතිවෙනවා.මෙය පොදු කාරණාවක්
සමාජයේ.
හිරුට අයිති බව හිරු පවසනවා ගීතය රචනා කරන ලද්දේ දයා ද අල්විස් විසින්, සංගීතවත් කරන ලද්දේ ප්‍රවීණ සංගීත අධ්යක්ෂවරයකු වන රෝහණ වීරසිංහයන් විසිනි.මෙම ගීතය ගායනා කරන ලද්දේ ප්‍රවීණ ගායන ශිල්පිනියක වන නීලා වික්‍රමසිංහයන් විසින් මෙම ගීතය තිබෙන්නේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක්.තරුණියක් නෙළුමට සමාන කරල තියෙනවා. නෙළුම් මලකට අයිතිවාසිකම් කියන්න, සාධාරණ අයිතියක් තිබෙන තුන්දෙනෙක් ඉන්නවා.හිරු,විල බිඟුන් තුන්දෙනයි.වැඩිදුර අධ්‍යාපනයට හෝ රැකියාවක් සොයා ගැනීමට හෝ,බොහෝ තරුණියන් ගමෙන් පිටත් වී නගරෙට එනවා.මෙහෙම එන තරුණියන් මෙම නගරවලදී විවිධ සම්බන්ධතා ඇතිකර ගන්නවා. එම තරුණියන්ට විවිධ පුද්ගලයන් අයිතිවාසිකම් කියනවා. එලෙස තම නිවසෙන් පිටත්වෙලා එන දියණියකට අම්මා දෙන අවවාද පිළිබඳව මෙම ගීතය තුළ අන්තර්ගත වෙලා තියෙනවා.
හිරුට අයිති බව හිරු පවසනවා
විලට අයිති බව විල පවසනවා
බිඟුට අයිති බව බිඟු පවසනවා
නුඹ කාටද හිමි නෙළුම් මලේ...
නෙළුම් මලකට අයිතිවාසිකම් කියන තුන්දෙනෙක් ඉන්නවා.නෙළුම් පිපෙන්නේ නැහැ හිරු එළිය නැත්නම්, නෙළුමට රැදෙන්න බැහැ විල නැත්නම්, ඒ වගේම නෙළුම්වලට පරාගනය වෙන්න,විකසිත වෙන්න බැහැ බිඟුන් නැත්තම්.මේ සියලු දෙනාටම අයිතිවාසිකමක් නෙළුමට තියනවා.එක්කෙනෙකුට කීපදෙනකු අයිතිවාසිකම් කියන අවස්ථා අපට ඕන තරම් හමු වෙනවා. මේ ගීතයේ උදාහරණයට ගෙන තිබෙන තරුණියට අයිතිවාසිකම් කියන තිදෙනෙකු සිටිනවා.හිරු පස්සෙන් එනවා,විලත් පස්සෙන් එනවා,බිඟුන් පස්සෙන් එනවා මේ තරුණියගේ.ඒ පස්සෙන් එන කෙනාගෙන් කෙනෙක් ගමේ පෙම්වතෙක් වෙන්න පුළුවන්,නගරයේ පෙම්වතෙක් වෙන්න පුළුවන්.දැන් ඒ තරුණිය යාළුවෙලා ඉන්න පෙම්වතෙක් වෙන්න පුළුවන්.ඔවුන් තිදෙනාටම සමානවු අයිතිවාසිකම් තියෙනවා මේ තරුණියට.නෙළුමට හිරු,විල,හා බිඟුන් වගේම තරුණියටත් අයිතිවාසිකම් කියන තිදෙනෙකු සිටිනවා.මව තම දියණියගෙන් අහනවා ඔබ මේ තුන්දෙනාගෙන් කාටද අයිති කියලා විමසනවා.
හිරු ආවාම ඔබ පිබිදෙන්නේ
විල හින්දාමලු ජීවත් වෙන්නේ
බිඟුටලු මධුමී පුරවා දෙන්නේ
නෙළුමේ කාටද සෙනෙහේ පුදන්නේ...
මලක් ලස්සනට පිපෙන්න නම් නම් හිරු එළිය අවශ්‍යයි.ඒ නිසා හිරු තරහා කරගෙන බැහැ.ව්ලේ තමයි නෙළුම පිපෙන්නේ ඒ නිසා විල තරහා කරගෙනත් බැහැ.බිඟුට තමා නෙළුමේ තියන මධු මී පුරවා තිබෙන්නේ, ඒ නිසා බිඟු තරහ කරගෙන බැහැ.මේ නිසා මේ තුන් දෙනාම තරහා කරගෙන බෑ නෙලුමට පිපෙන්න.කවුරුන් අයිතිවාසිකම් කිව්වත් අවසානයේ තීරණය කළ යුත්තේ තරුණියයි කාටද සෙනෙහේ පුදන්නේ කියලා.ගොඩක් අය අයිතිවාසිකම් කියනවා, ආදරය ප්‍රකාශ කරනවා. නමුත් ඔබ පෙරලා ආදරය කරනවාද යන්න පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා.මේ අම්මා දියණියට කියනවා ඔයාගේ තීරණ ගැනීම ඔයා තනියම කරන්න ඕනේ. ඉදිරියේදී අම්මා ඔයා ලඟ නෑ තීරණ ගන්න උදව් වෙන්න.එ නිසා දුවේ ඔයා තමයි තීරණය කරන්න ඕනේ කාටද ආදරේ කරන්නෙ කියලා අම්මා ප්‍රකාශ කරනවා.
හිරු ලඟ අහසේ රුවට පිපීයන්
විල් දිය තුළ සැඟවී සැනැහීයන්
ආදරයක් නැති මිනිසෙකු දෑතට
නෙළුමේ ඔබ අසුවෙන්න එපා...
තරුණියන් දෙස මේ අහසේ ලස්සනට ඉන්න ගොඩක් අය ආසයි.අහස ලෙස මෙයි දක්වා තිබෙන්නේ අප ජීවත් වන සමාජයයි.කිසියම් ගැටලුවක් ආ විගස විල් දියේ වුණත් සැඟවෙන්න කියලා අම්මා ඉල්ලීමක් කරනවා.විල්දිය කියලා මෙහි අදහස් කරන්නේ යම් කෙනෙකුගේ සහය ලබාගන්න කියලා.දියණියක් කියන්නේ කවදාහරි දීගෙක යන්න ඕනේ, ඇයට තනියම මේ ජීවිතය ගෙවන්න බැහැ.ඒ අම්මා අහිංසක ඉල්ලීමක් කරනවා දුවගෙන්, ආදරයක් නැති දෑතකට නම් නුඹ අහුවෙන්න එපා කියලා.හිරු ළඟ අහසේ රුවට පිපීයන් ප්‍රශ්නයක් නැහැ,සමාජයේ ලස්සනට ජීවත් වෙයන් කියනවා.විල් දිය තුල සැඟවී සැනැහීයන්,කරදරයක් වුණු වෙලාවට කෙනෙක්ගෙන් උදව් ගනින්.නමුත් අම්මා කියනවා ආදරයක් නැති දෑතකට නම් අහුවෙන්න එපා කියලා.ආදරයක් නැති දෑතක් කියලා මේ අදහස් කරන්නේ තෙතමනයක් නැති කෙනෙක්.ආදරයක් නැති ද එතකොට අසුවුණා කියන්නේ මුළු ජීවිතයම අපායක් වෙනවා කොච්චර ආදරය කරලා විවාහ වුණත්,දෙදෙනාට එකිනෙකාව තේරුම්ගන්න බැරි නම් ඒ ආදරය කාලයක් පවතින්නේ නැහැ.එලෙස එකිනෙකාව තේරුම්ගන්න බැරි දෙදෙනෙකු විවාහ වුණොත්, විවාහ වූ දවසේ හිදන් ප්‍රශ්න ඇති වෙනවා.ආදරය කියන්නේම දෙදෙනා අතර තේරුම් ගැනීමයි.මේ අම්මා දියණියගෙන් ඉල්ලනවා හිරු ලඟ ලස්සනට පිපුණත්, විල් දියයට සැගවුණුත් ආදරයක්, තෙතමනයක් නැති කෙනෙකුට නම් අසු වෙන්න එපා කියලා.තම දියණියට ජීවිතයේ විවිධ අවස්ථාවලදී අසීරු තීරණ ස්වාධීනව ගන්නේ කොහොමද කියලා මවක විසින් ලබාදෙන අවවාද පිළිබඳව මෙම ගීතයේ සඳහන් වෙනවා.
රුවන් පුෂ්පකුමාර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය