විශ්ව ගම්මානයක්ව පැවති ලෝකය කෝවිඩ් 19 විසින් හුදෙකලා රටවල් කර ඇති අතරම, නව ලිබරල්වාදී ආර්ථිකය ජාතික ආර්ථිකයටයක් දක්වා ද හකුළුවා ඇත. ආර්ථිකය පමණක් නොව, දේශපාලනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, සාමාජීය තත්ත්වය ඇතුළු අංශ ගණනාවකම ඇතැම් විස්තාරනයන් හා ඇතැම් සංකෝචනයන් එමඟින් සිදුවී ඇත.එසේම  ඒ ඒ ක්ෂේත්‍රවල පෙර පැවති සංස්කෘතියන් විශාල වශයෙන් වෙනස්වීම ද මේ හරහා සිදු වුණි. 

කෝවිඩ් 19 හමුවේ මෙරට පමණක් නොව ලෝකයේ ද පෙර පැවති තත්ත්වයන්හි වෙනස් වීම් රැසක් පසුගිය වසර දෙකට ආසන්න කාලය තුළ ඇති සිදු වුණි. ඒ අනුව කෝවිඩ් 19 සමග ඒ හා බැඳුණු නව සංස්කෘතියක් අලුතින් බිහි වුණි. මිනිසුන් හැසිරෙන්නා වූ ක්‍රමය එනම් මිනිසාගේ සමාජීය ජීවිතය  සරලව සංස්කෘතිය වශයෙන් හඳුනා හඳුනාගත හැකි වේ .ස්වභාවික නොවූ, නෛසර්ගික නොවූ, එමෙන් ම ස්ථීර ද නොවූ මෙම සංස්කෘතිය ඕනෑම වෙලාවක වෙනස් වීම්වලට ලක් විය හැක්කක් වේ. එකී ස්වභාවයම මෙම වසංගත තත්ත්වය තුළ විවිධ ක්ෂේත්‍රයන්හි වෙනස්කම් ඇති කරන්නට සමත් වුණි. කෝවිඩ් තත්ත්වය පාලනය කිරීම සඳහා ද සංස්කෘතියෙන් බාධා ඇති නොවුණාම නොවේ. මීට පෙර අපගේ වාග් කෝෂයට සමීප නොවූ, එදිනෙදා ජන ජීවිතයෙන් දුරස් වූ     වචන මාලාවක් හිටිහැටියේම භාවිතා වීම සහ ඒවා නුහුරු හෝ සාමාන්‍ය ජනයාට සෞඛ්‍ය අංශ මගින් ලබා දුන් පණිවිඩ හරිහැටි සන්නිවේදනය නො වීමක් ද ඉටු ව්‍යාප්තිය ආරම්භයේ දී දැකගත හැකි වුණි. ජේ.බි. දිසානායකයන් දක්වන අන්දමට'' භාෂාව සංස්කෘතියේ කැඩපතයි.'' කැඩපතෙන් විද්‍යාමාන වන භාෂාව මනාව සන්නිවේදනය කිරීමට ඉතා වැදගත් වේ.මිනිසුන් කතා කරන්නේ වචන බව සැබෑය. නමුත් ඒ වචන කතා කළ යුතු වන්නේ අනන්‍ය සංස්කෘතියක් තුළ ඉඳ සිට වේ. සංස්කෘතියෙන් පිට කතා කරන වචන වලට තේරුමක් ලැබෙන්නේද නැත. මන්ද එය සාමාන්‍ය ජන ජීවිතයට, ඔවුන්ගේ සංස්කෘතියට සමීප නොවේ. සමාජ දුරස්ථභාවය, නිරෝධායනය ,හුදෙකලා කිරීම එවැනි වචන කිහිපයකි. මෙවැනි වචන මින් පෙර ජනතාවට සමීප නොවූ වචන වීම නිසා එවැනි නුහුරු නුපුරුදු වචනයක් මගින් සන්නිවේදනය සිදු කිරීමේ දුර්වලසහගත තත්ත්වයන් කෝවිඩ් ව්‍යාප්තියේ මුල් අවධියේදී දැකගැනීමට හැකි වුණි .මෙය එක් නිදසුනක් පමණි. මේ අනුව බලන කල කෝවිඩ් ව්‍යාප්තිය සමග සංස්කෘතියේ වෙනස්කම් සිදුවූ සුවිශේෂී අංගයක් වශයෙන් භාෂාව  හඳුන්වාදිය හැකි වන අතර කෙතරම් බැරෑරුම් තත්වයක් වුවද සමාජගත කිරීමට අවශ්‍ය වූ විට සංස්කෘතිය ඒ හා සමඟ  බැඳී ඇති බව මින් පැහැදිලි වේ. ගසට පොත්ත - පොත්තට ගස ගස සේ මිනිසා සමඟ අවියෝජනීය බැඳීමක් සංස්කෘතියට පවතී. එය කිසිදු ආකාරයකින් දුරස් කිරීමට නොහැකි වේ. කළ හැකි වන්නේ සුදුසු පරිදි වෙනස් කරගනිමින් ඒ සමඟ ඉදිරියට යාමය.

කෝවිඩ් තත්වය හමුවේ වෙනස් වූ සංස්කෘතිය සැලකීමේදී සෑම අංශයක්ම හා බැඳී තිබුණු එකී ක්ෂේත්‍රයන්ට ආවේණික වූ සංස්කෘතියෙහි වෙනස්කම් රැසක් ඇති වුණි. ඒ සියලු වෙනස්කම් ඇති  කිරීමට සමත්කම් පෑ  අප්‍රාණික, නමුදු අතිශය ක්‍රියාකාරී මෙවලම බවට පත්වූයේ, අන්තර්ජාලයයි. අතත්‍ය අවකාශය තුළ විස්මිත ක්‍රියාකාරකම් මවන මෙවලම බවට එය පත් වුණි. අජීවී තිරයෙන් සජීවී රූප  මවමින් එකිනෙකා හා සම්බන්ධ කරන්නට අන්තර්ජාලයට ඒ අනුව හැකිවූ අතර එය පුද්ගල සම්බන්ධතා පවත්වාගෙන යාමේ එකම මාර්ගය බවටද පත් වුණි. ඒ හා හරහා ගොඩ නැගුණේ මින් පෙර නොවූ විරූ වෙනස්ම ආකාරයේ සංස්කෘතියකි.

 කෝවිඩ් තත්වය හමුවේ වෙනස් වුණු සංස්කෘතිය පිළිබඳ සැලකීමේදී අපගේ ආහාර සංස්කෘතියේ සිදුවූ වෙනස්කම ඉතා සුවිශේෂී වේ.'' සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා '' යන බුදුවදනට අනුව මිහිමත ජීවත් වන සෑම සත්වයකුම ආහාර මත යැපෙයි. ජීවියෙකුගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකය වශයෙන් ආහාර හඳුනාගත් හැකිවන අතර සැබවින්ම අපිට ආහාර අවශ්‍ය වන්නේ අපගේ දේහයෙහි ගෙවීගිය සෛල හා පටක නැවත ඇතිකරලීම සඳහා වේ. ආහාරයක මූලික අවශ්‍යතාව වන්නේ එයයි. නමුත් අතිශය සංකීර්ණ වෙමින් ආ සමාජය තුළ  අවශ්‍යතාවය ඉක්මවා ගොස් කුසට ගනු ලබන ආහාරවලින් සමාජ මට්ටම් පෙන්වීම දක්වා වූ තත්ත්වයකට ආහාර පත්වුණි. ඒ අනුව ඉතා සංකීර්ණ ආහාර සංස්කෘතියක් ගොඩනැගෙමින් පැවතුණි. එසේ වුවද කෝවිඩ් වසංගතයක් සමඟ ඉතා සරල, එමෙන්ම දේශීය ආහාර රටාවක් දක්වා මිනිසාගේ ආහාර සංස්කෘතිය වෙනස් වෙනස් වුණි. රට අගුළු දමා පැවති කාලවලදී, ව්‍යංජන හතර පහ සැකසුණු නිවෙස්වල පවා එය එකකට දෙකකට සීමා වීම දක්වා සරල වුණි. එමගින් සංකීර්ණ ආහාර සංස්කෘතිය ඉතා සරල මට්ටමක් දක්වා වෙනස් කිරීම්ට කෝවිඩ් 19 වසංගතයට හැකියාව ලැබුණි. එසේම ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා වන කොත්තමල්ලි, වෙනිවැල්ගැට ආදී පානයන් මෙන්ම ආහාර රස කිරීමට යොදා ගන්නා කුළු බඩු පරිභෝජනයටද වැඩි වශයෙන් යොමු වුණි. ඒ අනුව දේශීය ආහාර නිෂ්පාදනය බිඳවැටීම,  විදේශ රටවලින් ආහාර ආනයනය අඩු වීම වැනි තත්ත්වයන් තුළ අරපිරිමැස්මෙන්, පවතින ආර්ථිකයට ගැළපෙන ලෙස දෛනිකව පවුලේ ආහාර පරිභෝජන රටාව හැඩගස්වා ගැනීමට වග වග බලා ගැනීම ද ,මේ සඳහා මෙතෙක් පවත්වාගෙන ආහාර සංස්කෘතිය වෙනස් කළ යුතු බවද කොරෝනා වසංගතය අපට පෙන්වා දී තිබේ. එපමණක් නොව වෙළෙඳපොළ මත යැපෙන ආර්ථිකය වෙනුවට යැපුම් ආර්ථිකයක්, එනම්  තමන්ට අවශ්‍ය සෑම බෝගයක් ම හැකි පමණින් වගා කර ගැනීමේ අතීතයේ පැවති පවුලේ ස්වයංපෝෂිත බව යළි  ඇති කරගැනීමේ වැදගත්කම කොරෝනා වසංගතය අපට කියාදුන් පාඩම් වෙයි. ඒ අනුව කෝවිඩ් 19 වසංගතයත් සමග ආහාර සංස්කෘතියේ විශාල වෙනස්කම් ගණනාවක් ඉතා යහපත් අන්දමින් සිදු වුණි.

රොබට් නොක්ස් සිය එදා හෙළදිව කෘතියෙහි පෙන්වා දෙන්නේ අපේ පැරණි මී මුත්තන් ආගන්තුක සත්කාර අතින් වඩා ඉදිරියෙන් සිටි පිරිසක් බවයි. කෙදිනක හෝ දැක නොතිබුණ ද ඉතා සුහදශීලී ව ඔවුන් පිළිගත්හ, සංග්‍රහ කළහ, කෝවිඩ් ව්‍යාප්තිය ආරම්භ වීම තෙක්ම ඒ සංස්කෘතිය එලෙසම පැවතුණි. නමුත් කෝවිඩ් ව්‍යාප්තියත් සමඟ  නන්නාඳුනන පුද්ගලයින් තබා හොඳින් දැන හඳුනන අය සමග පවා සම්බන්ධතා ඉතා සීමා සහිත වුණි. කෑමබීම  හුවමාරු කර ගැනීම ආදිය ඉතා අවම වුණි. සියලු සම්බන්ධතා දුරස් වුණි.නැතහොත් මීටරයක දුරකටසීමා වුණි. මෙය සමාජීය වශයෙන් අපට මුහුණ පෑමට සිදු වූ විශාල සංස්කෘතික පෙරළියකි. මන්ද මානවයා ශිෂ්ටාචාරවත් වීමට පෙර සිටම කණ්ඩායම් වශයෙන් සිටි අතර බෙදා හදා ගැනීම, එකට එක්ව කටයුතු කිරීම නිරන්තරයෙන් සිදු වුණි. නමුත් කෝවිඩ් තත්ත්ව ය හමුවේ ඒ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් වුණි. එසේම මංගල අවස්ථා, අවමංගල්‍යය අවස්ථාවන්වල දී පවා පෙර කළ වත්පිළිවෙත් කෝවිඩ් තත්වය හමුවේ හරියාකාරව කරගැනීමට හැකියාවක් ද නො ලැබුණු අතර ඉතා චාම් සංස්කෘතියක් ඒවා වෙනුවෙන් නිර්මාණය වුණි.එසේම අදටත් පවත්වනු ලබන ඕනෑම උත්සව අවස්ථාවක උත්සවශ්‍රීය අඩුවී ඇති අතර ඒකරාශී වීම්ද ඉතා අවම වී ඇත.නමුත් ඒ සඳහා විවිධාකාරයේ විකල්පයන් ද ප්‍රචලිත වු අතර drive in concert එවැනි එක් අවස්ථාවකි.

කෝවිඩ් තත්වය හමුවේ මානව සම්බන්ධතා දැඩි ලෙස දුරස් වුණි. නමුත් සමීපතමයන් අතර, විශේෂයෙන්ම පවුල තුළ අන්‍යෝන්‍ය සබඳතාවය, ආදරය ඔවුන් වෙනුවෙන් වැය කිරීමට ප්‍රමාණවත් කාලයක් කොවිඩ් විසින් ලබා දුනි.එසේම බාහිර සමාජය සමඟ පැවති සම්බන්ධතා ඉතා දැඩි ලෙස සීමා කිරීමද කොවිඩ් තත්වය හමුවේ සිදු වුණි. වසර ගණනාවකට පෙර මෙරට පවුල් සංස්කෘතිය තුළ පැවැති ආදරය, සතුට,සමගිය එමගින් නැවත ඇති කෙරුණි. වෙහෙසකර කාර්යබහුල ජීවිත ගත කළ පියවරුන්ට තම දූ දරුවන් සමග කාලය ගත කිරීමට ඉඩ හසර මින් ලබාදුනි.එසේම ලැබුණු විවේකය නිසා නැවත වතාවක් කියවීමේ සංස්කෘතියක් නිර්මාණය වුණි. පොතපත කියවීමෙහිලා බොහෝ දෙනා යොමු වුණි. එසේම පුද්ගලයින් අතර ආචාර සමාචාර කිරීමේ දී පෙර පැවති වැලඳගැනීම් සිපගැනීම් වෙනුවට සිංහල සංස්කෘතිය තුළ පැවැති '' ආයුබෝවන් කීම'' නැවත වතාවක් ප්‍රචලිත වුණි. එය අපේ සිංහල සංස්කෘතියට ඉතා සමීප අපේම ආචාර විදියක් වුවද නවීන ලෝකය සමඟ එය කෙමෙන් කෙමෙන් වියැකී ගිය නමුත් නැවත ඒ සංස්කෘතිය අප අතර ප්‍රචලිත වීම ද කෝවිඩ් නිසා සිදු වුණි.

කෝවිඩ් වසංගත තත්ත්වය ඇති නො වන්නට අද අප මේ අත්විඳින තාක්ෂණය තව වසර 30කින් පමණ පසුවත් විඳීමට සිදු නො වන්නට වූ බව කියැවේ. ඒ අනුව තාක්ෂණයේ ශීඝ්‍ර ව්‍යාප්තියතියත් කෝවිඩ්  හමුවෙන් සිදු වූ අතර ගම්බද පිරිස්වලට පවා අර්බුද මධ්‍යයේ වුවද මේ තාක්ෂණය වැළඳ ගැනීමට සිදු වුණි. ඒ හරහා සෑම කටයුත්තක්ම ඉතා සමීප කර දීමට හැකියාව ලැබුණා සේම පෙර නොවූ විරූ අන්දමේ වෙනස්කම් ගණනාවක්ද එමගින් ඇති වූණි.

තත්පරයක් පාසාම පවතින දැනුම අලුත් වන ලෝකයක අද අපි  සිටින්නෙමු. ඒ වෙන්වීම සෑම අංශයකටම විහිදී ගොස් හමාරය. ශ්‍රී ලංකාව වැනි රටවල සම්පත් බෙදීයාමේ පවතින විෂමතාවය මත ඒ වෙනස් වීම සියලු දෙනාටම එක හා සමානව දරා දරා ගැනීමට නොහැකි වී ඇත. ඔන්ලයින් අධ්‍යාපනය ඉන් සුවිශේෂී සාම්ප්‍රදායික අධ්‍යාපනය අපගේ ශරීරවලට ජීරණය වූ එකකි. එසේම එය ඉතාම සාර්ථකව ක්‍රමවේදයක් වන අතර නමුත් කෝවිඩ් හමුවේ මෙරට අධ්‍යාපන ක්‍රමයේ විශාල වෙනස්කම් රැසක් සිදු වුණි. අහිංසක දරුවන් අධ්‍යාපන අයිතිය ඉල්ලා හඬා වැටුණි. ඔවුන් අතර ඇතැමුන් ඇති හැකි වූ අතර බහුතරය නැති බැරියෝ වූහ. ජංගම දුරකථනයක් තබා කුසට හරිහැටි අහරක්වත් නොමැති දරුවෝ  ඕනෑ තරම් මේ මිහිතලය මත ජීවිතය සොයති. කෝවිඩ්  19 ජීවිත බිලි ගැනීම පමණක් නොව පණ පිටින් මිනිස්සු මැරි මැරී ඉපැද්දවීම ට ද හැකියාවක ලැබුණි. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය ඊට බලපෑ ප්‍රමුඛතම සාධකය වේ .

කෝවිඩ්  තත්වය හමුවේ වෙනස් වූ තවත් එක් සුවිශේෂී තත්ත්වයක් වන්නේ ආයතනික සංස්කෘතියෙහි සිදුවූ වෙනස්වීමයි. මෙතෙක් කල් කාර්යාලයක් තුළ සේවය කළ සේවකයාට නිවස තුළ සිටම සේවය කිරීමේ හැකියාවක් කෝවිඩ් නිසා ඇති වුණි. ඒ හරහා තම රාජකාරිය මෙන්ම අනෙකුත් ආයතනික ක්‍රියාවලීන් සියල්ලම පාහේ ඔන්ලයින් මාධ්‍ය හරහා සිදු වුණි. මෙය අභ්‍යන්තර හා බාහිරව වශයෙන් ආයතනය තුළ සිදුවූ විශාල පරිවර්තනයකි.ලෝකයට මෙය අලුත් සංකල්පයක් නොවුන ද මෙරටට එය නව ක්‍රමවේදයක් බවට පත්වුණි. ඒ හරහා ගොඩනැගුනේ ඊටම අනන්‍ය වූ සංස්කෘතියකි.

 මේ අනුව විවිධ ක්ෂේත්‍රවල විශාල වෙනස්කම් ගණනාවක් කෝවිඩ් තත්වය හමුවේ ඇති වූ බව නො රහසකි. ඒ වෙනස්වීම් යහපත් අතට මෙන්ම අයහපත් අතට ද සිදු වුණි. චීනයෙන් ඇරඹි කුඩා වයිරස  ප්‍රභේදයක් ලෝකය පුරාම මිලියන ගණනකගේ ඉරණම තීරණයය කිරීමට හැකි වූයේ ද  අන්‍යෝන්‍ය සම්බන්ධතා ජාලවල ඇති සමීපතාවය මොනවට පැහැදිලි කරමිනි. සාර්ස්, ඉබෝලා වැනි වසංගතවලදී ද විවිධ වූ වෙනස්කම් රටවල් තුළ  ඇති වුවද මේසා විශාල වෙනස්කම්වලට කිසිදාක ලක් නොවුණි. වෙනස් වන ලෝකයේ නො වෙනස් කිසිවක් නොමැති බව සත්‍යයකි. සියලු දේ ගතිකය. සංස්කෘස්කෘතිය යනු දෙයක් කිරීමට ඇති හොදම ආකාරය විනා පැරැන්නන් අනුගමනය කළ පැරණි ක්‍රියාපටිපාටි නොවන බව සමාජගත කළ යුතු දැඩි අවශ්‍යතාවක් වේ.එසේම මහත්මා ගාන්ධි පැවසූ පරිදි අපිද කවුළුව හැර සුළං සුව විඳිය යුතුයි. නමුදු ඒ සුළඟට අප සතු දෑ ගසාගෙන යාමට කිසිද දිනෙක ඉඩ නො තැබිය යුතුවේ. එසේ ගසාගෙන යන සුළඟට අප විසිකර දැමූ සියල්ල ඒ සුළඟම නැවත ආපසු යන ගමනේදී අපටම දී  ගියා වැන්නක් කෝවිඩ් නිසා සිහි වුනි නම් එහි වරදක් ද නැත. මන්ද කෝවිඩ් නිසා අප සියලු දෙනාටම ලබාදුන් විවේකය  නැතිවූ බොහෝ දේ නැවත අපට ලබා දුනි. ඒ කෙසේ වෙතත් ආපසු ඒවා කිසිදු සැඩ සුළඟට ගසාගෙන යෑමට ඉඩ නොදී රැක ගැනීමත් ලෝකය පුරා විහිදෙන සුළං සුව විඳීමත් අප සැම ඉතා කල්පනාකාරීව කළ යුතු වේ.

 

උපේක්ෂා ලියනගේ

සාමාජීය  විද්‍යා පීඨය 

ජනසන්නිවේදන අධ්‍යයනාංශය-  විශේෂවේදී පළමු  වසර