බුද්ධ දර්ශනය සහ බුද්ධාගම යනු එක හා සමාන ලෙස පෙනෙන නමුත් එසේ නොවන පැතිකඩ ද්විත්වයක් වන අතර එහිදී බුදු දහමෙන් බුද්ධ දර්ශනය නිසියාකාර ව වෙන් කර අවබෝධ කරගනු ලබන්නේ සුළුතරයකි. බුද්ධ දර්ශනය පුද්ගලයන්ගේ පරලොව දියුණුවට පමණක් නොව මෙලොව ලෞකික දියුණුව ළඟා කර ගැනීමට ද නිවැරදි මාර්ගෝපදේශවලින් යුක්ත ඉගැන්වීම් සමුදායකි. 

අතීතයේ සිට පැවත එන රාජ්‍ය පාලනයේ ස්වභාවය අද වනවිට වෙනස් වෙමින් පවතින නමුත් එය සහමුලින් ම වෙනස් වී නොමැති බව දැකගත හැකිය. අද වන විට රාජ්‍ය පාලනය අතීතයේ පැවතියාටත් වඩා තරගකාරී වී ඇති අතර එතුළ පැවතිය යුතු ගුණාත්මක බව ද අඩු වී තිබේ. 

රටක පළමු පුරවැසියා වන්නේ එරටෙහි පාලකයායි. ඔහුගේ හැසිරීම එම රටෙහි දියුණුවට හෝ පරිහානියට හේතු වේ. බුද්ධ දර්ශනයට අනුව රටක පාලකයා සමාජ ආචාර ධර්ම රකින‚ රටට සහ රටවැසියන්ට හිතැති අයෙක් විය යුතුය. රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් බුද්ධ දේශනාවෙහි සඳහන් සංකල්ප අතර‚

  • දසරාජ ධර්ම
  • දස සක්විතිවත්
  • සප්ත අපරිහානීය ධර්ම
  • සතර අගතියෙන් වැළකීම
  • සතර සැලකුම් වස්තු 

ආදීය දැක්විය හැකිය. මේ එක් එක් ඉගැන්වීම් සම්බන්ධයෙන් කෙටියෙන් ‌මෙසේ දැක්විය හැකිය.

දසරාජ ධර්ම

දැහැමි රාජ්‍ය පාලනයකට අවැසි මාහැඟි ගුණ ධර්ම දහයක් වන දානය‚ සීලය‚ පරිත්‍යාගය‚ සෘජු බව‚ මෘදු බව‚ තපස‚ මෙත්තාව‚ අවිහිංසාව‚ ඉවසීම‚ අවිරෝධතාව යන ඒවා පිළිබඳ ව මෙහිදී සාකච්ඡාවට ලක් කොට ඇති අතර මෙය රාජ්‍ය පාලනයට වැදගත් ම සංකල්ප ලෙස දැක්වේ. එමෙන්ම මේවා වෙනත් පාලන කටයුතුවලට ද  අදාළ කර ගත හැකිය.

දස සක්විතිවත්

පාලකයෙකු ජනතා හිතවාදී පාලනයක් ගොඩනගා ගැනීමට අනුගමනය කළ යුතු බෞද්ධ ගුණ ධර්ම දහයක් ‘දස සක්විතිවත්’ ලෙස නම් කර ඇත. මේවා එකල සිටි සක්විති රජුන් ද අනුගමනය කර ඇති බව සාහිත්‍යයේ දැක්වෙයි.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 සප්ත අපරිහානීය ධර්ම

බුද්ධ කාලයේ සිටි පාලකයින් ද මේවා අනුගමනය කර ඇති බව බොහෝ තැන්වල සඳහන් ය. ඉන් කිහිපයක් ලෙස නිතර රැස් වීම‚ සමඟි ව රැස් ව සමඟි ව සාකච්ඡා කොට සමඟි ව විසිර යාම‚ වැඩිහිටියන්ට ගෞරව කිරීම ආදීය දැක්විය හැකිය. මෙම කාරණා කිසියම් පාලකයෙකු අනුගමනය කරන්නේ නම් එහිදී නීතිය‚ සාමය වැනි යහපත සැලසෙයි. 

සතර අගතියෙන් වැළකීම                                                         

පාලකයා කිසියම් ම තැනකදී අන්තගාමී වන්නේ නම් එවැනි රටක සාධාරණත්වය‚ යුක්තිය කිසිදු අයුරකින් ඉටු නොවේ. එහෙයින් ඡන්දය‚ ද්වේශය‚ බය‚ මෝහය යන කාරණා සතරින් අන්තගාමී නොවී කටයුතු කළ යුතු බව දක්වා ඇත. මේවායෙහි සරල අර්ථය නම් කැමැත්ත‚ තරහව‚ බිය සහ මුළාව යන ඒවායි.                                                          සතර සැලකුම් වස්තු

සාර්ථක‚ දැහැමි රාජ්‍ය පාලනයක් සඳහා අවශ්‍ය වන තවත් පිළිවෙතක් නම් සතර සැලකුම් වස්තු ය. එනම් දානය‚ යහපත් වචනය‚ සමානාත්මතාවය‚ අර්ථචර්යාව යනු එම සතරයි. මෙහිදී දානය යනු දන් දීම පමණක් ම නොවන බව ද අනෙකුත් සැලකුම් තුළ ද බරපතළ  අර්ථයන් ඇති බව ද මෙම කාරණා පිළිබඳ තව දුරටත් අවධානය යොමු කරන විට පෙනෙයි.එමෙන්ම මේවාට අමතර ව පංචසීලය‚ සිව් බඹ විහරණ ආදී කාරණා ද මෙයට ම අදාළ ය. 

ජනතාව සෑම විට ම අපේක්ෂා කරන්නේ  දැහැමි ව කටයුතු කරන පාලකයෙකි. එබැවින් ජනතාව අපේක්ෂා කරන පාලකයෙක් වීම අත්‍යවශ්‍ය දෙයකි. නොඑසේ නම් වර්තමානයේ ලොව තුළ පවතින අර්බුද තව තවත් බරපතළ  විය හැකි බව පෙනෙන්නට තිබේ. 

    

අනීෂා කුමාරි ආරියරත්න

විශේෂවේදී දෙවන වසර

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

 

සමාජීය විද්‍යා පීඨය