විදුලි බලය යනු එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු කරගැනීම සඳහා අත්‍යවශ්‍යම සාධකයකි. ඉතිහාසය දෙස හැරී බැලූ කල ලෝකයේ විදුලිබලයේ ආරම්භය 1881 ජූනි 26වන දින එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයෙන්ය. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයක් වූ බැවින් ලංකාවටද විදුලිබලය හිමිවිය. 1890 දී ඩීසල් විදුලි ජනක යන්ත්‍රයක් භාවිතයෙන් කොළඹ කොටුවේ බ්‍රිස්ටල් හෝටලයේ බිලියඩ් කාමරය තුළ ප්‍රථම විදුලි බල්බය දැල්වී ය. අනතුරුව 1895දී බූස්ටඩ් සහෝදරයෝ ආයතනය විසින් කොළඹ දී ප්‍රථම වරට විදුලි සැපයුම සිදු කිරීම ආරම්භ කළේය. 1918දී ඉංජිනේරු ඩී. ජේ. විමලසුරේන්ද්‍ර මහතා ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පැවති ජල විදුලිබල විභවය හඳුනා ගත් අතර ඔහු ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ දියුණුවට කැපවී කටයුතු කළේය. දිනෙන් දින වර්ධනය වෙමින් පැවති විදුලිබල ඉල්ලුම සපුරාලීම සඳහා 1926 දී පොදු වැඩ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා යටතේ විදුලිබල ක්ෂේත්‍රය සඳහා දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කිරීම හා 1928 දී රජය විසින් තාප විදුලි බලාගාරයක් ස්ථාපනය කිරීම සිදුවිය. 1969 නොවැම්බර් 1වෙනි දින ලංකා විදුලිබල මණ්ඩලය 1969 අංක 17 දරණ පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපිත කරන ලදී.

ශ්‍රී ලංකාවේ විදුලි බලය සැපයෙන ප්‍රධාන ක්‍රම හතරකි. සුළං විදුලි බලාගාර, ජල විදුලි බලාගාර, තාප විදුලි බලාගාර හා සුර්ය විදුලි බලාගාර වශයෙනි. ශ්‍රී ලංකාවේ දෛනික විදුලි පරිභෝජනය ගිගාවොට් පැය 46කි. ඉන්  43.4%ක් ජල විදුලි බලාගාර තුළින්ද 5%ක් සූර්ය හා සුළං ශක්තියෙන් ද 51.6%ක් තාප විදුලි බලාගාරවලින් ද සපයා ගැනේ. ජල විදුලි බලාගාර වල ජල මට්ටම මේ වනවිට පහළ බැස තිබීමෙන් ජලවිදුලි උත්පාදනය ද පහළ බැස තිබේ. එම අඩුව තාප විදුලි බලාගාරවලින් ද සපුරා ගැනීමට නොහැකි වී ඇත්තේ තාප විදුලි බලාගාරවලට අවශ්‍ය දැවි තෙල් හිඟයකට මුහුණ පෑමට සිදු වී ඇති හෙයිනි. එනම් විදුලිබල මණ්ඩලයෙන් අයවිය යුතු ණය හා උග්‍ර ඩොලර් හිඟය සැලකිල්ලට ගනිමින් තෙල් සංස්ථාව අදාල දැවි තෙල් සැපයීම ප්‍රතික්ෂේප කිරීමයි. මේ වාතාවරණය තවදුරටත් වර්ධනය වීමත් සමඟ අද වන විට ලංකාව තුළ අර්බුද රාශියක් නිර්මාණය වී තිබේ. දිනකට පැය දෙකකට ආසන්න කාලයක් අවම වශයෙන් විදුලි කප්පාදු කිරීම එහි ප්‍රතිඵලයකි.

කෙසේ වෙතත් රටේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් රටේ ජනතාව වශයෙන් මේ මොහොතේ දී සිදු කළ යුත්තේ රජයට පක්ෂපාතී වීම හෝ රජයට ගැරහීම හෝ නොවේ. රටේ සම්පතක් වන විදුලිබලය අරපිරිමැස්මෙන් භාවිතයට ගැනීමයි. රටේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් රටේ පවතින සම්පත් ආරක්ෂා කරගත යුතුය. සමාජයේ කුඩාම ඒකකය වන පවුල හෙවත් නිවස තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතයට ගත යුතුය. ඒ කෙසේද යත් රාත්‍රී මෙන්ම දිවා කාලයේද අමතර විදුලි පහන් නිවා දැමිය හැකිය. බොහෝ නිවෙස් තුළ දිවා කාලයේදී පවා අනවශ්‍ය ලෙස විදුලි පහන් දල්වා තිබෙනු දැකිය හැකිය. දිවා කාලයේදී නිවසට ස්වභාවික ආලෝකයෙන් ප්‍රයෝජන ගත හැකිව තිබියදීත් එසේ විදුලි පහන් දල්වා තිබීම මගින් විදුලිබලය නාස්ති වේ. එබැවින් දිවා කාලයේදී නිවසේ ජනෙල්, දොරවල් විවෘත කර ස්වභාවික ආලෝකයට ඉඩදී විදුලි පහන් නිවා දැමීම මගින් විදුලිබලය ඉතිරි කර ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම එදිනෙදා කටයුතුවලදී ද විදුලිබලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමේ හැකියාව පවතී. රෙදි මැදීමේ දී වරින් වර රෙදි මැදීම වෙනුවට අවශ්‍යතාවට සෑහෙන පරිදි නිවැසියන්ගේ රෙදි එකවර මැදීම තුළින්ද විදුලිබලය ඉතිරිකර ගැනීමට හැකිය. සෑම විදුලි පහනකටම  වෙන්වූ ස්විචයක් නිවස තුළ සවිකිරීම මගින් ද විදුලිය ඉතිරි කර ගත හැකි වේ. ඒ කෙසේද යත් ස්ථාන දෙකකට අදාළව විදුලි පහන් සඳහා එක් ස්විචයක් පමණක් සවිකර ඇති අවස්ථාවලදී එක් ස්ථානයකට අදාල විදුලි පහන දැල්වීමේදී අනෙකුත් විදුලි පහන අනවශ්‍ය ලෙස දැල්වීමෙන් විදුලිය අපතේ යාමක් සිදුවන අතර විදුලි පහන්වලට අදාල ස්විච වෙන වෙනම නිවස තුළ සවි කිරීමෙන් අදාල කාර්යය සඳහා පමණක් අවශ්‍ය විදුලි පහන් දල්වා ගැනීමේ හැකියාව ලැබේ. එමෙන්ම විදුලිය භාවිතයෙන් නිවෙස්වල උණු කරන වතුර, උණු වතුර බෝතලයක දමා තැබීමෙන් නිතර නිතර වතුර උණු කිරීමට වැයවන විදුලිබලය ඉතිරිකර ගැනීමේ හැකියාව ලැබේ. වර්තමානයේ සිදුවන විදුලි කප්පාදුව පිළිබඳ දිනපතා දැනුම් දීමක් සිදු කරන බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීමේ හැකියාව ඇත. එමෙන්ම අධ්‍යාපන කටයුතු ආදිය විදුලි කප්පාදුවට පෙර, කාලසටහනකට අනුව, සිදු කර ගැනීම මගින් වැඩ වැඩකටයුතු මගහැරීම වළක්වා ගත හැකි වේ. නිවෙස්වල විදුලි පංකා ආදිය අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් පමණක් භාවිත කිරීම තුළින් ද විදුලිබලය ඉතිරිකර ගත හැකි වේ. රෙදි සෝදන යන්ත්‍ර ආදිය භාවිතයේදී කාර්යබහුලත්වය මත පමණක් භාවිත කළ හැකි අතර තම තත්ත්වය පෙන්වීම සඳහා භාවිත නොකිරීමට වගබලා ගැනීමෙන් ද විදුලිබලය ඉතිරිකර ගත හැකිය. ශ්‍රී ලංකාව සෞම්‍ය දේශගුණයක් පවතින රටක් බැවින් ශීත දේශගුණයට ඔරොත්තු දීමට නිපදවා ඇති විදුලි බලයෙන් ක්‍රියාකරන උණුවතුර සහිත නාන කාමර අනවශ්‍ය ලෙස භාවිතය නැවැත්වීම තුළින්ද විදුලිබලය ඉතිරි කරගැනීමට හැකිවේ. මිනිස් ජීවිතයට තර්ජනයක් වන, වන සතුන්ගෙන් වන හානි වලක්වා ගැනීම උදෙසා ඒ ප්‍රදේශවල විදුලි වැටවල් භාවිත කරන නමුත් සෙසු ප්‍රදේශවල වන සතුන් දඩයම් කිරීම සඳහා විදුලිය සහිත උගුල් භාවිත කරනු පෙනේ. එබැවින් වන සතුන් දඩයම් කිරීම සඳහා විදුලිය භාවිතයට නොගැනීමට ඔවුන් දැනුවත් කිරීම මගින් ද විදුලිය ඉතිරි කර ගැනීමට හැකිවේ. නිවසේ ශීතකරණය  භාවිතයේදී විදුලිය අවම මට්ටමෙන් ලැබෙන ලෙස නිර්මාණය කිරීමට හැකිය. අවම වෝල්ටීයතාවයකින් දැල්වෙන විදුලි බල්බ භාවිතයෙන්ද විදුලිබලය ඉතිරි කරගත හැකි වේ. හැකි සෑමවිටම දර ලිප් ආදිය භාවිතයෙන් ද විදුලිය ඉතිරි කර ගත හැකි වේ. මේ ආකාරයෙන් එදිනෙදා කටයුතුවලදී විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමෙන් විදුලිබිල සඳහා ගෙවිය යුතු මුදල අවම කර ගැනීමේ හැකියාව ලැබේ.

නිවස තුළ පමණක් නොව රට තුළ ආයතන වශයෙන් ද හැකි පමණින් විදුලිබලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම මගින් රටේ සම්පතක් වන විදුලි බලය රටේ අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කර ගැනීමේ හැකියාව ලැබේ. එලෙස ජනතාව තම යුතුකම් ඉටු කරන විට ලංකාවේ ජල, සුළං හා සූර්ය බලාගාර සක්‍රීය කර ජනතාවට විදුලිය ලබාදීම බලධාරීන්ගේ වගකීම වන්නේය.

 

මූලාශ්‍ර

https://ceb.lk/ceb-history/si

https://youtu.be/6wqS_ECIYQk

 

ඩබ්ලිව්. ආර්. කෞෂල්‍යා තිලකරත්න.

ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පළමු වසර

මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

සමාජීය විද්‍යා පීඨය