ගැටුම් කළමනාකරණය පිළිබඳ බෞද්ධ විග්‍රහය
- කාලීන
- Affichages : 5901
සමාජයක ප්රගමනය හෙවත් ඉදිරි ගමන් මඟ තීරණය වන්නේ එම සමාජය තුළ ජීවත්වන පුද්ගලයන් මතය.පුද්ගලයන්ගේ ආකල්ප, හැසිරීම් රටාවන්, ක්‍රියාකාරකම් යනාදී මේ සියල්ලක්ම අදාළ සමාජය සාමකාමීව පවත්වාගෙන යාමට උපකාරී වේ. යම් හෙයකින් එම සාමකාමීත්වය බිඳී ගියහොත් ගැටුම් හට ගැනීම සිඳුවේ. ගැටුම් පිළිබඳව සාකච්ඡාවෙහි දී පුද්ගලයා පුද්ගලයා සමඟත් , පුද්ගලයා සමාජය සමඟත් , සමාජය සමාජය සමඟත් යනාදි වශයෙන් ගැටුම් ඇතිවීමට හැකියාව පවතී. සුළු හේතුවක් පදනම්කර ගනිමින් ගැටුම්හි ආරම්භය සිදු වුව ද එය විටෙක අවසන් වන්නේ මහා පරිමාණයේ අපරාධ ගණනාවකට මුල පුරමිනි. යම් පුද්ගලයෙකුගේ සිතුවිලි තුළ පවත්නා ව්‍යාකූලත්වය මත ඔහු තුලම ඔහු විවිධාකාර වූ ගැටලු නිර්මාණය කරගනිමින් තම සිතුවිලි සමඟ ඝර්ටණයකට ලක් වේ. එම ගැටීම් මුල් කාලීනවම පහ කර ගැනීමට නොහැකි වුවහොත් අවසානයේ මහා ඛේදවාචකයක් දක්වා එය ගමන් කරලීමට හැකියාව පවතී. එ් අනුව බලන කළ ගැටුම යන වචනය හුදු සාමාන්‍ය සරල වචනයක් නොවන බව අපට මේ අනුව පසක් කර ගත හැකිය. මෙම ගැටුම් පිළිබඳව තවදුරටත් සඳහන් කරන විටදී අද අප ජීවත්වන බෙහෝ සෙයින් සංකීර්ණ වූ සමාජයෙහි පමණක් නොව ඉපැරණි සමාජයෙහි ද මිනිසුන් අතර ගැටුම් උද්ගත වූ අවස්ථා ඇති බවට පැරණි කතා පුවත් ඇසුරින් අපට අසන්නට ලැබී තිබේ. ගැටුම පිළිබඳව සඳහන් කරන විටදි එය බුදුදහම තුළ අන්තර්ගත වූයේ කෙසේ ද යන වග සඳහන් කරන විටදී, ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ බුද්ධ කාලයේ උත්තර භාරත සමාජයේහි පැවති ගැටුම් පිළිබඳවත් ,ඒවායෙහි ස්වභාවය සිතා බැලූ පුද්ගලයන් පිළිබඳවත් පාලි ත්‍රිපිටක ග්රන්ථයන්ගෙන් අසන්නට ලැබේ. එකල මෙම ගැටුම් පිළිබඳව පවත්නා ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අවදානය යොමු කරන්නට යෙදුණු ශ්රක්රදේවේන්ද්රයා විසින් දිනක් බුදුන් වහන්සේ හමුවට ගොස් මේ පිළිබඳව විමසා තිබේ. ශ්රක්රදේවේන්ද්රයා විසින් ඉදිරිපත් කරන ලද එම පැනය නම්,
"භාග්‍යවතුන් වහන්ස, දෙවියෝ ද, මිනිසුන් ද, අසුරයෝ ද, නාගයෝ ද, ගාන්ධර්වයෝ ද යන මේ සියලු සත්හුම වෛර නොකර, අවි ආයුධ නොගෙන, සතුරන් නැතිව, කෝප නොවී සිටීමට කල්පනා කරති. එහෙත් ඒ හැම දෙනාම වෛර කරමින්, අවි ආයුධ ගෙන, සතුරන් ඇතිව, කෝප වෙමින් ම සිටිති. භාග්‍යවතුන් වහන්ස මෙයට හේතු කවරේ ද? ".ශ්රක්රදේවේන්ද්රයා විසින් එකල අසන ලද පැනය වර්තමානය වන විට කෙතරම් කාලෝචිත ද යන්න අපට සිතීම පුදුමයට කරුණක් නොවේ. මෙම පැනයට අවැසි පිළිතුර බුදුදහමට අනුව පෙන්වා දීමේ දී, බුදුන් වහන්සේ විසින් මිනිසාගේ ද, සමාජයෙහි ද ,ගැටුම් උද්ගත වීම ,ඒවායේ හේතු, ගැටුම් වල ස්වභාවය හා ගැටුම් නිරාකරණය කර ගැනීමේ මාර්ගයන් පිළිබඳව කරන ලද දේශනයන් ගණනාවක් නිකාය ග්රන්ථ පුරා විසිරී තිබේ. ඒ අතුරින් වැඩි අවධානයක් යොමු කළ හැකි දේශනා කිහිපයක් ඇසුරෙන් මෙම කරුණ පිළිබඳව විග්රහ කිරීම සිදු කළ හැකිය. ශක්රදේවේන්ද්රයාගේ පැනයට පිළිතුරු සපයන භාග්‍යවතුන් වහන්සේ ගැටුම් ඇතිවීමේ ආසන්න හේතු වශයෙන් මිනිස් සිතෙහි හටගන්නා ඊර්ෂ්‍යාව සහ මසුරුකම දැක්වූහ. එම කාරණා දෙකටම හේතු වන්නේ ප්‍රිය බව හා අප්‍රිය බවයි. පියාප්රියතාවය ඡන්දය හෙවත් කැමැත්ත හේතුවෙන් හට ගනු ලැබේ. ඡන්දය හටගන්නේ විතර්කයෙනි.විතර්කය ඇතිවන ආකාරය බෞද්ධ ඉගැන්වීම් වලට අනුව එන ව්‍යවහාරයකින් පෙන්වා දුන් කළ, "පපඤ්චිතසඤ්ඤාසඞ්කා" යන්නෙන් හඳුන්වාදිය හැකිය. මිනිස් සිත තුල සිදුවන විපර්යාසයන් පුද්ගලයාගේ චර්යාව ප්රචණ්ඩ බවට හරවනු ලබයි. එවිට වාද විවාද ,සැඩ පරුෂ වචන කථා කිරීම පමණක් නොව දඬු මුගුරු ගැනීම ද අවි ආයුධ ගෙන සටනට එළඹීම ද සිදු වේ . ශක්‍රයාගේ ප්රශ්නය නිරාකරණය කිරීමේ දී මේ ක්රියාදාමයේ හේතුඵල ස්වරූපය පිළිබඳව ද ක්‍රමානුකූලව දක්වා තිබේ. එසේම මධුපිණ්ඩිත සූත්‍රයේ දී බුදුන්වහන්සේ විසින් ගැටුම් ඇතිවීමේ මානසික පසුබිම ද විස්තර කර තිබෙන්නේද මේ අයුරින්ම ය.
ගැටුමක මූලාරම්භයට තුඩුදෙන මූලිකම කරුණ වශයෙන් බුදු දහමේ ඉගැන්වීම් වලට අනුව ප්‍රපංචකරණය හෙවත් ඇස හා රූප නිසා සිදුවන මිනිස් අරගලයන් ද, කන, නාසය ,දිව, සිරුර හා මනස යන අනෙක් ඉන්ද්‍රයන් හේතුවෙන් සිදු වන්නක් බව සක්කපඤ්හ, මධුපිණ්ඩිත හා කලහවිවාද යන දේශන ත්රිත්වයෙහි ද මනාව විග්රහ කර තිබේ. තවදුරටත් මෙම ගැටුම්හට ගැනීම පිළිබඳව සඳහන් කරනු ලබන විටදි ගැටුම් හට ගැනීමේ හේතු හුදෙක් මිනිස සන්තානගත දුර්වලතාවනට සිමා නොවන බවත් සමාජ සංස්ථාගත දුර්වලතා ද මිනිසා ගැටුමට මෙහෙය වන බවත් අපට පෙන්වා දිය හැකිය. ඒ බව සුත්‍ර දේශනා ගණනාවකින් හෙළිකර ගත හැකිය. සංස්ථාගත දුර්වලතා සමාජ ප්‍රශ්න උද්ගත කරවන ආකාරය හේතු ඵල දහමට අනුව විග්රහ කෙරෙන එක් තැනක් ලෙසින් චක්කවත්ති සීහනාද සුත්‍රය පෙන්වා දිය හැකිය. එම සූත්‍රයේ දැක්වෙන ප්‍රධාන සිද්ධියක් මෙසෙය,
කිසියම් සොරෙක් රජු ඉදිරියට පමුණුවන ලදි. "ඔබ කුමක් නිසා සොරකම් කෙළෙහි දැ'යි පිළිවිසී." දිවි රකිනු නො හැකි නිසා'යි ( න හි දෙව ජීවාමි ) සොරා පිළිතුරු දුන්නේය.
සමත්තයක් වශයෙන් ගත්කළ ගැටුමක මූලාරම්භය අපගේ චෛතසිකයන් හරහා සිදුවන බවත් යමක් හට ගැනීමට නම් එයට හේතුවක් නිසැකව මුල්වන බවත් හේතුඵල දහම ඔස්සේ පෙන්වා දෙනු ලබයි. තණ්හාව, ආශාව, මසුරුකම යනාදි අපරිහානි චෛතසිකයන්ගෙන් නිපදවන සිතුවිලි තුලින් ගැටුම්හට ගැනීමට ආවේගශීලී පියවරයන් ඇති වීම හේතුවන බව බුදුදහමේ ඉගැන්වීම් වලට අනුව පෙන්වා දිය හැකිය. තවද ගැටුම්හට ගැනීමට හුදු ප්රපංචකරණයම පමණක් හේතු නොවේ. මිනිසෙකුට පවත්නා මූලික අවශ්‍යතාවන් ඉටු නොවීම නිසාවෙන් ද මිනිසා විසින් සමාජ විරෝධී කටයුතුවලට පෙළඹෙන බව මේ තුළින් අනාවරණය වේ. යමක හට ගැනීමක් ඇත්නම් එහි අවසන් වීමක් හෝ පාලනය වීමක් හෝ තිබිය යුතුය. ගැටුම් පිළිබඳව සඳහන් කරන විට දී එහි ආරම්භයත් අවසානයත් අතර පවත්නා කළමනාකරණ ස්වභාවය පිළිබඳව බුදුදහම තුළ මනාවට පෙන්වා දී තිබේ. බුදුරජාණන් වහන්සේ ඒ ඒ අවස්ථාවන්ට උචිත වන පරිදි ගැටුම් කළමනාකරණය සඳහා දෙන ලද උපදෙස් බුදුදහම තුළ නොයෙක් තැන් හිදී හමුවේ. බැණීම්, ගැරහීම් හා හෙළා දැකීම සාමාන්‍ය මිනිසුන් කෝප කරවීමට සමත් ක්රමයකි. අරවුල් හට ගැනීමට තුඩු දෙන තත්ත්වයක් ඇති කරවන්නකි. වරක් බුදුරජාණන් වහන්සේ මහා සංඝයා පිරිවරා මහ මඟ වඩිති. සුප්පිය නම් වූ පිරිවැජියෙක් බුදු පිරිස පසු පස සිය අතවැසි බ්‍රහ්මදත්ත නම් තරුණයා ද සමඟ ගමන් කරයි. සුප්පිය බුදු රඳුනට ද, ධර්මයට ද, සංඝයාට ද දොස් දක්වයි. ගරහයි. බ්‍රහ්මදත්ත ඊට එරෙහි ව බුදු ගුණ කියයි. මේ දෙදෙනා මඟ දිගටම මෙසේ පැමිණියහ. බුදු පිරිස නතර වූ තැනට ද පැමිණ එහි දී ද සුප්පිට ගරහන්නට පටන් ගත්තේ ය. එදින රෑ ගතකොට පසුදින පාන්දර බුදු පිරිස ඇමතූ බුදුරජාණන් වහන්සේ මේ අවවාදය කළහ. අනුන්ගේ ගැරහීමට ලක් වූ අවස්ථාවේදී නො කිපිය යුතුයි; කෝප නොවිය යුතු යි; අසතුටට පත් වුවහොත් ඔවුන් කියන ඒ දේ සත්‍ය ද අසත්‍ය ද කියා දැන ගැනීමට නො හැකි වේ. අනුන් ගුණ කියන විට ද ප්‍රීතියට , සොම්නසට පත් වී ප්‍රීතියෙන් ඉලිප්පී නො යා යුතු යි. එසේ වුවහොත් එවිට ද එහි සත්‍යාසත්‍යතාව දැක ගත නොහැකි වේ. කියන දේ හොඳින් අසා, කරුණු සලකා බලා, සත්‍ය ද අසත්‍ය දැයි තේරුම් ගෙන අසත්‍යයක් නම් එය ඉවත දැමීය යුතු යි. සත්‍යයක් නම් එය පිළිගත යුතුයි. මේ අවවාද ගැටුමට නො එළඹ, සාමකාමී ව ජීවත් වීම සඳහා ඉතා ප්‍රායෝගික එකක් බව ඕනෑම අවස්ථාවක අත්දැකිය හැක්කකි. එසේ ම ගැටුමකින් සිදු කර ගන්නා විශාල අලාභය වෙනුවට ස්වකීය දියුණුවට මඟ සලසා ගත හැකි ක්‍රමයක් බව ද පැහැදිලි ය. සමස්තයක් ගත්කළ මෙහි දී බුදුරජාණන් වහන්සේ වදාරනු ලැබුවේ කුමන හෝ හේතු සාධකයක් මත වුවද කෝප වී කටයුතු කරලීම අනුවණ කමක් බවත් ඉන් දැන ගත හැකි බොහෝ දෑ පවා සැගවී යා හැකි බවත්ය.
බුදුන්වහන්සේගේ චරිතය ඇසුරින් තවත් නිදසුනක් ගත් කළ, එක්තරා බමුණකු බුදුරජාණන් වහන්සේට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් පරිභව කළ අවස්ථාවක උන්වහන්සේ ක්‍රියා කළ වෙනත් ආකාරයක රසවත් සිද්ධියක් අක්කෝසක සූත්‍රයෙන් කියවන්නට ලැබේ. බුදු සසුනෙහි කිසියම් බමුණකු පැවිදි වූ බවක් අසා කුපිත වූ අක්කෝස බමුණා වේළුවනාරාමයට පැමිණ භාග්‍යවතුන් වහන්සේට අසභ්‍ය පරුෂ වචනයෙන් බැණ වඳින්නට වූයේය. බමුණා ඇති තාක් බැණ වැදී අවසන් වන තෙක් නිහඬ ව අසා සිටී බුදුහු අවසානයේ බමුණා නිහඬ වූ පසු මෙසේ ප්‍රශ්න කළහ;
" බමුණ, ඔබේ ගෙදරට නෑයින් හෝ හිත මිතුරන් පැමිණෙන අවස්ථා තිබේ ද?
එහෙමයි, ස්වාමීනි.
ඒ ආගන්තුකයින්ට ඔබ ආහාරපානයෙන් සංග්‍රහ කරනවද?
එහෙමයි , ස්වාමීනි.
බමුණ, ඔබ සකස් කරන ලද සංග්‍රහය ඒ ආගන්තුකයින් පිළිනොගත්හොත් ඔබ ඒවාට කුමක් කරනවා ද?
ස්වාමීනි, ඒවා අපම අනුභව කරනවා.
බමුණ, ඔබ දැන් මට හොඳ සංග්‍රහයක් කළා.එහෙත් ඒ කිසිවක් මම පිළි නො ගනිමි.
එනිසා ඔබ ම ඒවා අනුභව කරන්න."
මේ වන විට කෝපය පහවගොස් සිහි ඇතිව සිටි බමුණා බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගත් අතරම, බුදු සස්නෙහි පැවිදි බව ද ලබා ගත්තේය. කෝප වූවෙකුගේ කෝපය පහව යන තෙක් කලබල නොවී ඔහුට සවන් දීමට තරම් ඉවසීමේ ශක්තියක් ඇත්නම් බොහෝ සටන් ඇති නොවීමට පමණක් නොව සතුරන් මිතුරන් වීමට පවා ඉඩ සැලසෙන අයුරු මේ සිද්ධියෙන් පෙනේ.
වර්තමාන සමාජය දෙස බලන කළ අදවන විට බොහෝ ගැටුම්හි මූලික හේතුව වී තිබෙන්නේ බල තණ්හාවය. බලයට පවත්වා දැඩි කෑදරකම නිසාත් අනෙකුත් සියලුම මානුෂීය හැඟීම් යටපත්ව ගොස් තිබේ. එසේම අන්මත නොඉවසීම, පවසනා දෑ පිළිබඳව සාවදානව අසා සිටීමට ඇති නොහැකියාව, ආත්මාර්ථකාමීත්වය යනාදී හේතු සාධකයන් මත සමාජය තුළ ගැටුම් ඇතිවීම අද බොහෝ සෙයින් වැඩි වී තිබේ. සඟවා තිබෙන නිධානයක් සෙවීමට මිරිඟුවක් පසුපස හතිලමින් ගමන් කරනා පිරිසක් ලෙසින් තරඟකාරී බවකින් යුතුව සමාජය තුළ කැපී පෙනීමට ගන්නා උත්සාහයන් නිරර්ථකව ගිය පසුව මිනිසා විසින් ගැටීම් ඇති කර ගනු ලැබේ. එලෙසින් ඇතිවන සෑම ගැටීමකම මූලාරම්භය වන්නේ එක් සිතුවිල්ලකි. එම සිතුවිල්ල යම්හෙයකින් පාලනය කර ගැනීමට හැකිනම් සිදුවීමට නියමිත බොහෝ ව්‍යසනකාරී තත්ත්වයන් මඟහරවා ගැනීමට හැකියාව ලැබේ. ලෞකික ලෝකයක පෘථග්ජන මිනිස්සුන් ලෙසින් වාසය කරන විට දී හැඟීම් සමඟ කටයුතු කරලීම අතිශයින් සිදුවේ. තමන්ගේ මනෝභාවයන් නිසියාකාරව හසුරුවා ගැනීමට බුදුදහම මනා පිටිවහලක් බව ඉහත සඳහන් කරන ලද සූත්‍ර දේශනාවන්ගෙන් මොනවට පෙන්වාදිය හැකිය. භාවනා කිරීම, සමස්ත සිදුවීම පිළිබඳව සාවදානව අසා සිටිමෙන් අනතුරුව ඊට පිළිතුරු ලබාදීම, යමක් පිළිබඳව සම්පුර්ණව දැන ගන්නා තුරු අදහස් නොදැක්වීම යනාදී බොහෝ කරුනු කාරණාවන් බුදු දහම ඇසුරින් ඉගෙන ගැනීමට හැකියාව ලැබේ. ඕනෑම දෙයක පටන් ගැන්මක් පවතී. එය ලෝක ස්වභාවයයි. ගැටුමක් වුවද එහි පටන් ගැන්මක් පවතී. එහි අවසානය ඛේදනීය නොවන අන්දමින් කළමනාකරණය කරගැනීම අපේ යුතුකම වේ.
නවෝද්‍යා බණ්ඩාරමැණිකේ වික්‍රමසිංහ
ප්රථමවසර
සමාජ විද්‍යා පීඨය