චිත්‍රපටියක් ගත්තම අපිට ඒක අපිට කැමති විදිහට නම් කරන්න පුලුවන්. ඒ අතරින් Funny Boy කියන්නෙ සුළුතරයේ කතාවක්. කතාව පුරාවටම දිවෙන්න සුළුතරය පිළිබඳ කතාවක්. වාර්ගික, ආගමික, ලිංගික කියන සෑම විදිහකින්ම තිර රචනාව දිවෙන්නෙ සුළුතරය මත පිහිටල. ඒ අතරිනුත් ප්‍රධාන වශයෙන් චිත්‍රපටය තේමාගත වෙන්නෙ සුළුතර ලිංගික කතන්දරයක් වශයෙන්. සිග්මන් ෆ්‍රොයිඩ් අනුව,
"අපගේ වඩාත් වටිනා සංස්කෘතික උරුමයන් අප හිමිකරගෙන ඇත්තෙ ලිංගිකත්වයේ වියදමිනි."
"Much of our highly valued cultural heritage has been acquired at the cost of sexuality."
- Sigmund Freud
(Freud, Sigmund (2014). “An Outline of Psychoanalysis”, p.60, Read Books Ltd)
Image

ඒ අනුව මානව ජීවිතයේ කේන්ද්‍රීය සංස්කෘතික හා සමාජ සාධකය වශයෙන් පුද්ගල ලිංගිකත්වය තහවුරු කරගන්න පුලුවන්. චිත්‍රපටය දිවෙන්නේ ඒ ප්‍රථුල මානව ලිංගිකත්වය පසුබිම් කරගෙන. නමුත් විශේෂ ම දේ වෙන්නෙ Funny Boy තුළ අන්තර්ගත වෙන්නෙ සුළුතර ලිංගික ප්‍රජාවෙ කතාවක් වෙන එක. ලෝකයේ ප්‍රධන හා බහුතර ලිංගික දිශානතිය විෂම ලිංගිකත්වය වෙද්දි Funny Boy ඇතුළෙ අපි දකින්නෙ අර්ජුන් හෙවත් කතා නායකයාගේ සමලිංගික ජීවිතය. කතාපුරාවට පිරිමියෙක් උනත් සාරි, මාල, වළලු වගේ ස්ත්‍රී උරුමයන්ට ආශා කරන තරුණයෙක් චමත්කාර ජනකව නිරූපනය කරනවා. බහුතර පිරිමින්ගෙ ක්‍රීඩාව වුණ ක්‍රිකට් ක්‍රීඩාවට අර්ජුන්ව බලෙන් හුරු කරන්න හදනවා. බහුතර පිරිමින් වගේම සාරි නො අදින කෙනෙක් බවට අර්ජුන්ව පත් කරන්න කුඩා කාලෙ ඉදන්ම දෙමාපියන් උත්සහ කරනවා. සමරිසියෙකු වීම නිසා පවුලෙන් වගෙ ම නෛතික රාමු ඇතුළෙත් පීඩා විය හැකි බවට ඉඟි කතාව පුරාවට සළකුණු කරනවා. සමස්තයක් විදිහට සුළුතර ලිංගික ප්‍රජාවගේ කේන්ද්‍රීය මානවීය කාරණයක් වුණ(ෆ්‍රොයිඩ්ට අනුව) ලිංගික පෞරුෂය දැඩි පීඩාවකට පත් වෙනවා. ඒක අතිශ්‍ය භාවාත්මකව දක්වන්න සිනමාකරු සමත්වෙලා තියනවා. ලංකාවේ 1970 - 1983 වගේ කාලයක ලාංකික සමාජය පසුබිම් කරගැනීමත් සමඟ අර්ජුන් සුළුතර දෙමළ ජාතිකයෙකු වීම නිසා ඇති වෙන පීඩාවන් ලිංගික පෞරුෂය පිළිබඳ කාරණාවට පසුපසින් චිත්‍රපටය තුළ ධාවනය වෙනවා. 1983 වෙද්දි කළුජූලිය එක්ක සුළුතර ජාතියට එල්ල උන දැඩි ම්ලේඡත්වය එක්ක අර්ජුන්ගෙ ඉහළ පාන්තික දෙමළ පවුල ඇමරිකාවට පිටුවහල් වෙමින් චිත්‍රපට කතාව අවසන් වෙනවා. ඒත් අපේ කතාව ආරම්භ වෙන්නෙ එතැනින්.

ප්‍රශ්නය අවසන්ද?

Image
සුළුජාතිය  වුණ දෙමළ ජාතියේ ගැටලුව ඉවරද? සුළුතර සමරිසි ලිංගික ප්‍රජාවගේ අයිතිය දැන් තහවුරු වී ඇති ද? ඒ සියල්ලට පිළිතුරු නෑ කියන එක. 1983 සමරිසි සුළු ජාතික තරුණයෙක් වින්ද පීඩනය අඩු වශයෙන් හෝ වැඩි වශයෙන් තවමත් ශේෂ වෙලා තියනවා. නමුත් අද දක්වා අප රටක් වශයෙන් තවදුරටත් ඔවුන් රටින් බලෙන් පිටුවල් කරමින් ඉන්නවා. සුළු ජාතිය පීඩාවට පත් කරමින් ඉන්නවා. සුළුතර ලිංගික ප්‍රජාව කොන් කරමින් ඉන්නවා. අවම තරමේ නෛතික වශයෙන්වත් එවැනි සුළුතර ලිංගික ප්‍රජාව වෙනුවෙන් අයිතිවාසිකම් වෙන්වෙලා නෑ.තවදුරටත් සමරිසි භාවය පිළිබඳ අපේ රටේ නීතිය විසින්ම මානව අයිතිය උල්ලංඝනය කරන තැනට පත් වෙලා තියනවා. පැරණි යටත්විජිත රෝම ලන්දේසි නීති පද්ධතිය තුළ අදටත් සමරිසි බව වරදක්. මේ සියලු දේට පස්සෙ සුළුතර ප්‍රජාවන් චිත්‍රපටයේ වගේම ඇමරිකාව වගේ රටවලට පිටමන් කරනවා. සුවිශේෂීම දේ තමයි අර සුළුතරය අපිම අධිරාජ්‍යවාදීන් කියල හන්වඩු ගහපු රටවලටම පටවන එක. බහුතරය විසින් සුළුතරය  පිටමන් කරනකන් අපි සංස්කෘතිකවත්, ලිංගිකවත් ක්ෂුද්‍ර වෙනවා. රටක් විදිහට අපි සුළු වෙනවා. තේරීම් සීමිත වෙනවා. ආත්මීයව දරිද්‍ර වෙනවා. 
අපි අධිරාජ්‍යවාදීන් කියල නිග්‍රහ කරන රටවල් අපේ රටේ සාරය වුණ, අපේ රටේ විවිධත්වය, විචිත්‍රත්වය වුණ ලිංගික හා වාර්ගික සුළුතරය ඒ රටවලට උරා ගන්නවා. ඒ විවිධත්වය දරන්න තරම් ඇමරිකාව, යුරෝපය පෝසත් වෙද්දි අපි ඒ විචිත්‍රත්වය දරාගන්න බැරි දුප්පත් රටක් වෙනවා. ඒ නිසා විසල් සංස්කෘතික ඉදිරිගාමී රටක් අවශ්‍යනම්, රටක් විදිහට නොපමාව සුළුතරයේ වාර්ගික හා ලිංගික අයිතීන් සඳහා ශිෂ්ටත්වය හා මනුෂ්‍යත්වය නාමයෙන් සටන් කරන්න අපට අනාගතයේදී සිදු වීම අනිවාර්යයි.

Funny Boy  (2020) 

IMDb :   5.8/10

Directed by : Deepa Mehta

Produced by : David Hamilton

Screenplay by : Deepa Mehta, Shyam Selvadurai

Starring : Nimmi Harasgama, Ali Kazmi, Agam Darshi, Seema Biswas, Rehan Mudannayake, Shivantha Wijesinha, Brandon Ingram

Music by   : Howard Shore 

Cinematography : Douglas Koch

Edited by : Teresa Font

Distributed by : ARRAY, Netflix

Release date :  December 4, 2020

Country : Canada

Languages : English, Sinhala, Tamil



ඉසුරු උදාකර යකන්දාවල

දෙවන වසර

භූගෝල විද්‍යා අධ්‍යනය අංශය

සමාජ විද්‍යා පීඨය