Image
 අද  .... අළු බදාදා  !  ....
 
මම  .... සරසවි මාතාවගේ ඇකයෙන්, තාවකාලිකව පිටතට පැන, “ ශාන්ත වැලන්ටයින් “ සිහි කරමින්  මගේ නිවස නැමැති මාතාවගේ සෙවණට, ලොව වේගවත්ම " රාත්‍රී විදුලි බස් සේවාවෙහි නැගී " පැමිණෙන අතරමග ය. එය එතරම් ම වේගවත් ය. ( නමුත්, දහවලේ නම් නොවේ ය. )
 
බසයේ මා හිඳ සිටින තැනට හරියටම ඉහළින් ඇති ලව්ඩ්ස්පීකරයෙන්, " මොඩර්න් ආදර ගීතයක් " ප්‍රචාරණය වෙයි. එහි පුදුම සහගත පද පෙ ළ මගේ සිත් ගත්තේය.
 
"  මා මළ දවසට
   ගම වටේ තියෙන
   තාප්ප පුරා
   ඔය සුදු දෑතින්
   පාප්ප අරගෙන
   ගාන්න සුදු අම්මියා...හ්  "
 
ගායකයා හඬන්නේ ය. එදවස තම ගීතයේ භාවගෝචර පද පෙලින් මිස, ගායකයා හැඬවීමෙන්,ශ්‍රාවකයාගේ ඇස්වල කඳුළු අලවන්නට තැත් නොකළ, මේ වන විට බොරැල්ල හෝ වෙන කොහේ හෝ කනත්තක අවසන් නින්ද ලැබ සිටින අතීත ගේය පද රචක නාමාවලියක් සිහි වී මට ද කඳුළු නැතිව හැඬුම් ආවේ ය. සැබෑ ආදරයේ පරම පවිත්‍ර - " 21 වන සියවසේ " ත්‍යාගයක් ලෙස, එක්තරා තරුණයෙකු, තම හද බැඳගත් ප්‍රේමවන්තියගේ ඇස් වසා, " රජකාලේ දඬුවමක් " ලබා දුන් උණුහුම හෝ ගෙවී යන්නට මත්තෙන්, අපට ඒ " ආදරය " සමරන්නට තවත් " විසි එක් වන සියවසේ දවසක් " පසුගිය දා ලැබීම සැබැවින්ම භාග්‍යයක් බවට මට එවෙලේ සිතිණි.
" ආදරය " පිළිබඳ ලොව විවිධ උගතුන්, පර්යේෂකයන්, දාර්ශනිකයන් විසින්, විවිධ කල්හි, විවිධ අදහස් උදහස් ඉදිරිපත් කර තිබේ.
අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ද වරක් දේශනා කරන ලද්දේ, " ප්‍රේමයෙන්, ශෝකය ත්, භය ත්, වේදනාව ත් හටගන්නා බව " ත්, " ප්‍රේමයෙහි නො ඇලී, නො ගැලී වෙසෙන්නා හට, ඒ කිසිවක් ඇති නො වන බවත් " ය. තම ඇසුරෙන් වෙන්වූ ස්වකීය පෙම්වතිය, වෙනත් පුරුෂයෙකු ගේ ඇසුරු සෙවණකට පියමං කරනු ඇති යි යන " අස්ථාන හෝ ස්ථාන භීතිකාව " හේතුවෙන් ම හටගත් ආත්මාර්ථය නිසා හෝ වෙනත් කුමන හෝ හේතුවක් නිසා, තම සිත් බැඳගත් පෙම්වතියව ඝාතනය කරන පෙර කී " වාසනාවන්ත පෙම්වතුන් " දුටු විට මට, එකී බුද්ධ වචනය කෙතරම් සත්‍යයදැයි සිහිවිය.
 
"  එම විට පවසනු මුවින් ඔබේ  ....
 බුද්ධං සරණං ගච්ඡාමි  "
 
 මා අසල වසා තිබූ කවුළුව හැරීමි. එළියෙන් සිසිල් සුළං රැල්ලක් බසය තුළට කාන්දු විය. අන් මත ඉවසන - ඉසි කෝ මන් දුරු කළ - යහපත් උපදෙස් දෙන වැඩිහිටියන් ට " හෙල්මටයෙන් පහර නො දෙන, හෙළ දරු පිරිසකගේ සූවඳ එහි මුසු වී තිබිණ. මට මහත් අභිමානයක් ඇතිවිය.
 
ඒ මොහොතේ ම, ගමන් කරමින් තිබූ බස් රථය, ඉද්ද ගැහුවා සේ, මහ පාර මැද නතර විය. මහා ට්‍රැෆික් එකක් මැද ය. පිටත කණුවක සවි කල ලව්ඩ්ස්පීකරයකින්, සුමධුර නිවේදක ස්වරයක් කෑ ගසයි.
 
" අපට දැන් දිස්වන්නේ, ආසියාවටම ආශ්චර්යයක් වූ, ශ්‍රී ලාංකේය අභිමානය විදහා පාමින්, මැදමුලන කණ්ඩුල ඇතු පිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ - රාජ්‍ය ලාංඡනය, ජනරජ පෙරහැරේ ඉඳිරියෙන් ම ගමන් ගන්නා ආකාරයයි "  ....
 
පෙර එක් දවසක - සඳ නැති සවසක, එක්තරා " මෑතිවරයෙකු ගේ " ශ්‍රී යහන් ගබඩාවේ පිටත ගේට්ටුව ඉදිරිපිට සිට, " ප්‍රේමයෙන් බර වූ චන්ද්‍රාවියක " විසින් සිදු කරන ලද , " අනීල් .... අනීඊඊඊල්  .... " යනාකාරයේ කෑ ගැසීමෙහි අඩංගු ඩෙසිබල් ප්‍රමාණයට වඩා මදක් අවම වූ හඬකින්, ඉබේ ම වාගේ මගේ මුවින් සාදුකාරයක් පිට විය.
 
බසය වේගයෙන් ඉදිරියට ඇදෙයි. රාගාශ්‍රිත " චර චර නාදයක් " බසයේ කැසට් එකෙන් ඇසෙයි. " උදේ සිටන් වකුටු කොන්ද - දිගහැරීම " නිසා නො ව, " කහට කෝප්පයෙ පොඟවා ගිලින්නට " - " පාන් කැබැල්ලක් " වත්, උදේ සිටන් ම නැති වීම නිසා, එක්තරා ආච්චි අම්මා කෙනෙක්, බසය තුළ දී ම ඇදගෙන වැටෙයි. තව නොබෝ දිනකින් ම ඇල්පෙනෙත්තක ගණන් ඇසූවද, අපේ රටේ බහුතරයක් මෙසේ ඇදගෙන වැටෙනු ඇත. " ඇදගෙන වැටෙන රටක - ඇදගෙන වැටෙන මිනිසුන් ගේ - ඇදගෙන වැටෙන ජීවිත " ගැන මට ද , ඇදගෙන වැටෙන සුළු හැඟීමක් ඇතිවෙයි.
 
අදත් මෙහි අවසන - සුපුරුදු ගමනාන්තයේ ය. යළිත් දවසක හමුවෙමු  !!! ....
 
 
- එම්. අකිල මල්ලිකාරච්චි
  ප්‍රථම වසර
  නාට්‍ය හා රංගකලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය
  ලලිත කලා අධ්‍යනාංශය
  මානව ශාස්ත්‍ර පීඨය