Image
ට්‍රිං   ට්‍රිං   ට්‍රිං  .... ( සීනුව නාද විණි  )
සාජන්ට් වික්‍රමගේ  ....
මේ එනවා සර්  ....
උඩුබද්දාව පොලිස් ස්ථානාධිපති කරුණාසිංහ මෙවර මදක් රළු හඬකින් ඇමතුවේ තම සිතේ බුර බුරා නැගෙන අප්‍රකාශිත වේදනාව පාලනය කර ගැනීමට නොහැකි වූ නිසාවෙනි .
සර්  ....
මේ  .... තමුසේ අර මම කියපු වැඩේ කරනවද ?
මොන වැඩේ ද සර් ?  ....
ඇයි අයිසේ මං අර තමුසෙට දැනට මාසෙකට විතර උඩදි කිව්වේ, අපේ ඒරියා එකේ තෙල් පෝලිම්වල උද්ඝෝෂණය කරලා ඇරෙස්ට් කරන මිනිස්සුන්ගේ වෙනම රිපෝට්ස් හදන්න කියලා. කෝ  .... ඒ වැඩේ කෙරෙනවද ?
  .... ඒ වැඩේ , ගාණට තිතට වෙනවා සර් . සර් මට ඔය කතාව කියපු දවසෙම අපේ සාජන්ට් තෙන්නකෝන් ට කිව්වා මේ වැඩේ ගැන. මිනිහත් ඉතින් නීට් එකට වැඩේ කරනවාඒක නෙවෙයි සර්. ඇයි සර් ට හදිසියේම ඒ ගැන කල්පනා උනේ ?
බලනවකෝ ඕයි  .... අර කෙල්ලගේ තාත්තා, ඊයේ මේ එහා පැත්තේ හයේ කණුවේ තෙල් පෝලිමේ දී නැති වෙලාලු නේ  ....
මොන කෙල්ලගෙද සර්  ?  ....
ඇයි බං අර දැනට සතියකට විතර උඩදි, මෙහෙට දුවන් ඇවිත්, තමුසෙත් ඉන්න තැන මට ඒකී කැම්පස් තේරිච්ච කතාවක් ඇවිල්ලා කියපු කෙල්ල .... මොකක්ද ඒකිගේ නම ?  ...   .... සරණි .
  .... හරි හරි සර්. දැන් තමා මීටර් උනේ. ඉතින් සර් කොහොමද දන්නේ ඒ මැරිච්ච මනුස්සයා මේ කෙල්ලගේ තාත්තමයි කියලා ? ….
නෑ, සාර්ජන්ට් වික්‍රමගේ, ඔය කෙල්ල එදා මෙහෙ ආව වෙලේ මගේ නම්බර් එක ඉල්ලන් ගියා නේනෑ නෑ  .... සාජන්ට් වැරදියට හිතන්න ඕනි නෑ. ඔය කෙල්ල ගැන මම දන්නේ දැන් මාස කීපයක ඉඳලා.
උසස් පෙළ ඉවරවෙලා මහ දවසක් ගියේ නෑ. ඔය කෙල්ල අර විරුවන්දෙණිය පැත්තේ තිබ්බ උද්ඝෝෂණයකට ගියා. තමුසෙටත් මතක නම් ඔය උද්ඝෝෂණේ, අර පොදු දේපල වලට හානි කිරීම කියන වරද උඩ, මතකද ඒකේ නායකයෝ කියපු කොල්ලෝ කෙල්ලෝ සෙට් එකකුයි තව දහදොළොස් දෙනෙකු යි අල්ලන්, මෙහෙ කුදලන් ආවා?  .... ආන්න ඒ සෙට් එකේ, ඔය කෙල්ලත් හිටියා. උසාවියෙන් ඇපදීලා ගෙදර යවන්න තීරණය කළායින් පස්සේ, උසස්පෙළ කරලා ඉවර වුණු ගමන්ම වගේ හිටපු සෙට් එකට, මම මගේ යාලුවෙක් හරහා වෘත්තිය පුහුණු පාඨමාලා වගයක් හදලා කරලා දුන්නා. ඒ අතරේ ඔය කෙල්ලත් හිටියා.  එහෙමයි මම ඔය කෙල්ලව දැනගත්තේ. පස්සේ පස්සේ ඉතිං ඔය සරණි කෙල්ල, කීප වතාවක් ම  මාව හොයන් මෙහෙ ආවා. ලොක් අප් එකේ හිටපු කාලේ උනත් ඒ සෙට් එකට මම හොඳින් සලකපු විදිහ, කන්න බොන්න හොයලා දුන්නු විදිහ ගැන මට ඒ හැම වතාවකදී ම නො සෑහෙන්න ස්තූති කළා. ඒ ආපු එක වතාවකදී ඔය කෙල්ල තාත්තවත් එක්කන් මෙහෙ ආවා. එහෙම තමා ඒ මනුස්සයව මම දැනගත්තේ. ඒ මනුස්සයගේ ඩෙඩ් බොඩි එක දැක්ක ගමන් මට ඒ කවුද කියලා ටක් ගාලා මීටර් උනා.  අයිසේ, මට දැන් අවුරුදු පනහක් වයසයි. තමුසෙත් දන්නවා, මගේ එකම දුවයි, මගේ ගෑනියි දෙන්නම කොරෝනාව හැදිලා නැතිවුණා. මගේ ජීවිතෙන් බාගයක් ම ගෙවුණේ මේ කුණු ගෑවිච්ච ඇඳුමට හිරවුණු මහ මූසල, කාලකණ්නි මිනිහෙක් වගේ. ඒත් මට තාම දරු දුක දැනෙනවා ඕයි. මට මේවා දකිද්දි ඉන්න බෑ .
මතක ඇති කාලයක සිට කිසිදිනක එකඳු හෝ කඳුලක් නොවැටුණු, ඉතා විඩාබර වූත් , බිඳවැටුණු හෘදය සාක්ෂ්‍යක අඳෝනාවෙන් මිරිකුණා වූත් ජීවිතයක අන්තයට ළංවෙමින් සිටින, ස්ථානාධිපති ගේ ඇතුලට නෙරා ගොස් කළු ගැසී ගිය දෑස් මෙවර නම් විශාල කඳුළුකැටවලට නවාතැන්පොලවල් වී ඇති බව සාජන්ට් වික්‍රමගේ දිටීය. අනතුරුව, යලිත් තම මේසය වෙත පිය නැගූ සාජන්ට් වික්‍රමගේ, ඊළඟ නිමේෂයේ ම ඉදිරිපස බිත්තියෙහි විසල් පිත්තල රාජ්‍ය ලාංඡනය දෙස බලාගෙන කල්පනාවට වැටුණු නමුත්, යලිත් වරක් නැගුණු ස්ථානාධිපති කරුණාසිංහ ගේ බැරෑරුම් කටහඬට තිගැස්සුණේ එක්වරම ය.
ඒක නෙවෙයි වික්‍රමගේ, මං දැන් යනවා, අර මනුස්සයාගේ මරණය ගැන සටහන් කරගන්න.
ස්ථානාධිපති දිසානායක පිටව ගියේ තමාට අවශ්‍ය නැති නමුත් වගකීම නිසා ම පමණක් යා යුතු ගමනකට යන්නා සේ, කැලඹුණු උදාසීනත්වයකිනි.
එහෙත් පොලිස් ස්ථානයේ පිටවීමේ දොරටුව දක්වා ගමන් කළ ස්ථානාධිපති දිසානායක යලිත් වරක් ඉක්මන් ගමනින් හැරී ආවේ සාජන්ට් වික්‍රමගේ වෙතට ය.
අප්පටසිරි, බලනවකෝ ඕයි, බයික් එකට තෙල් ගහගන්න ඕනේ. තෙල් නෑ. අන්තිම හරිය යන්නේ. මගදි නැවතුණොත් මළ කෙළියයි. වාහනෙත් අද උදේ අරන් ගියා නේ බං අර ඉන්වෙස්ටිගේෂන් එකකට. දැන් ඉතිං පෝලිමේ හිටපන්කෝ. වෙලාවට යා ගන්න බැරි වුණොත්, මාර වැඩක් වෙන්නේ. රාජ්‍ය සේවකයෝ කියලා හරි, අත්‍යවශ්‍ය සේවා කියලා හරි ගහගන්න පුලුවන්. එතකොට බං අර මිනිස්සු අපිව මරන් කයි. 
ස්ථානාධිපති මුහුණ, බිය හා අවිනිශ්චිත බවේ සායම් එකට භාවිතකොට අඳින ලද අමුතු සත්ත්වයෙකුගේ රුවක් මෙන්, සාජන්ට් වික්‍රමගේ ට දිස්විය.
හොඳයි සර්. එහෙනම් මොකක්හරි ගැටලුවක් තිබුණොත් මම සර් ව දැනුවත් කරන්නම්.
හරිමම යනවා .
ස්ථානාධිපති ගේ මේ අවසන් වචන ද්විත්වය, සාජන්ට් ගේ මතකයට, ඔහු වෙත පැවරුණු වෙනත් කාර්යයක් සිහිපත් කරන්නක් විය. උඩුබද්දාව පොලිස් ස්ථානයටම ඇති එකම ස්ථාවර දුරකථනය එක්වරම නාද වූයේ මෙවිට ය.
උඩුබද්දාව පොලිස් ස්ථානය  ….
අනේ බුදු සර්  !!! ….  බලන්නකෝ වෙලා තියෙන දේ  ....
අතිශය විපත්තිකර තත්වවලදී, සාමාන්‍යයෙන් පෙන්නුම් කරන මේ බවලත් හැසිරීම, සාජන්ට් වික්‍රමගේ හොඳින් දනී. එහෙත් මෙවන් අනෙකුත් වැඩ දහසකුත් යෙදී තිබෙන කලබලකාරී මොහොතක මේ ඇමතීම සාජන්ට් වික්‍රමගේ වෙත ගෙන ආවේ, කෝපයක්. නමුත් මැඩගත් කෝපයෙන් ඔහු පිළිතුරු ලබාදුනි.
ඔව්කියන්නකෝ මිස්  ….
අයියෝ සර්  …. යස අගේට හිටපු එකී. දෙයියනේ !!! ….  මේවා අහස පොළව නුහුලන අපරාධ.
ඉතින්  මිස් ඔය අඳෝනාව නවත්තලා, කියන්නකෝ වෙච්ච දේ ?
දුරකථනයේ එහා පැත්තෙන් ආ ගැහැණු කටහඬ එක්තරා කතාවක් සාජන්ට් වික්‍රමගේ වෙත ගෙනාවේ,  සාජන්ට් වික්‍රමගේ මෙවැනි කතා දහසකුත් එකක් මීට පෙර අසා ඇති බව නො දැන විය හැකිය.
එහෙත් කතාව අවසානයේදී වෙනත් මෙවැනි සංවාද අවසාන කරන, “ හරි මිස්. පොලිසිය පැත්තෙන් අපිට කරන්න පුළුවන් දේ අපි උපරිමයෙන් කරන්නම්.  “ යන සාමාන්‍ය වැකිය සාජන්ට් ගේ කටින් පිටවුවද, සංවාදයට හේතු වූ මූලික චරිතය පිළිබඳ සාජන්ට් වික්‍රමගේ වෙත ආ සැකය නැවතුණේ, සාජන්ට් තෙන්නකොන් ගේ මේස ලාච්චුවේ තිබූ පොලිස් පොතෙනි.
මේ , තෙන්නේ , මචං  …. අර දැනට මාස කීපයකට විතර උඩදි විරුවන් දෙණිය පැත්තේ සිද්ධ වෙච්ච අර ප්‍රොටෙස්ට් එක වෙලාවේ මෙහෙට අල්ලගෙන ආව කට්ටියව උඹට මතකද ?
  …. ඔව් මචං. ඉතිං මොකද වෙලා තියෙන්නේ ?
මේ එතන හිටපු අයගේ තොරතුරු ඔය පොලිස් පොතේ තියෙනවා නේද?   ඔය ගෙවල්වල ලිපින, අරවා මේවා එහෙම.
ආ  ඔව්. හිටපං මං හොයලා දෙන්නම්.
සාජන්ට් තෙන්නකොන්ගේ වේගවත් ඇඟිලි පොලිස් පොතේ පිටු අතර එහා මෙහා ගිය අතර, සැණෙකින් අදාල තොරතුරු  සාජන්ට් වික්‍රමගේ වෙත ලැබිණි.
නියමයි. ඒත් එක්කම මං කියන මේ කෙල්ලගේ ගෙදර ලිපිනය මොකක්ද කියලා බලහන්.
සාජන්ට් වික්‍රමගේ ගේ මුවින් ආ පුද්ගල නාමයට අනුව මිත්‍ර තෙන්නකෝන් කී තොරතුර, සාජන්ට් වික්‍රමගේ මොහොතකට සසල කරවීමටත්,  කම්පනය කරවීමටත් සමත් විණි.
මද වේලාවකට පසු, ඉක්මන් ගමනින් පොලිස් ස්ථානය වෙත පිය නැගි ස්ථානාධිපති කරුණාසිංහ දුටු සාජන්ට් වික්‍රමගේ, තම කන වැකුණු මේ තොරතුර කෙසේ කියන්නේදැයි කල්පනා කරමින් හඬ අවදි කළේ ය.
සර්  ....
. වික්‍රමගේ  ….  මේ , ඉක්මනටම මට උවමනා කළමනා ටික ලෑස්ති කරලා දෙනවා; හොස්පිට්ල් යන්න. තෙල් පෝලිම දිගට තිබ්බේ නෑ. ඉතිං , මගේ වෙලාවට ඒ වැඩෙත් ඉක්මනටම කරගන්න පුළුවන් උනා.
සර් පෙට්‍රල් ගහගන්න ගිය වෙලේ, තවත් මරණයක් වෙලා සර්  ....
ආ  ඒ පාර මේ කීවෙනි මනුස්සයා ද  තෙල් පෝලිමක මැරිච්ච?
නෑ සර් , මේක තෙල් පෝලිමක මැරිච්ච මනුස්සයෙක් හින්දා වෙච්ච මරණයක් සර්  ....
ආ  එහෙමත් කේස් එකක්ද ? හ්ම්  .... කියනවකෝ බලන්න . මට දැන් මේවා දවස ගාණේම අහලා ඇතිවෙලා.
සර්  ... අර ඊයේ මෙතන හයේ කණුව තෙල් පෝලිමේ දි නැතිවෙච්ච මනුස්සයාගේ දුව  .....
ආ ඔව් ඔව්අර සරණි කෙල්ල . ඉතිං  ....
ඒ කෙල්ල  ...
 මොකද සාජන්ට් වික්‍රමගේ තමුසෙට මේ වෙලා තියෙන්නේ  ? .... කියන දෙයක් කෙලින් කියහන්.
ඒ කෙල්ල අද උදේ වහ බීලා මැරිලා, සර් . ඒ ගෙදරට ඉස්සරහ ගෙදර මනුස්සයා තමා  උඩුබද්දාව පරණ පාලම යට මිනිහෙක් වැටිලා ඉන්නවා දැකලාගිහින් බලද්දි  ඒ මේ ළමයා කියලා අඳුනගෙන තියෙන්නේ . කෘමිනාශක බෝතලයකුත් ළඟ තිබිලා. කොහොමත් ඒ හරිය මහදවාලටත් හරිම පාලුයි නේ සර්. මං වැඩි විස්තර අහන්න ගියේ නෑ. කෝකටත් අපිට ඉක්මන් කරලා එතැනට යන්න වේවි නේද සර්? .... දැනටමත් ගමෙන් බාගයක්වත් එතැන පදිංචි වෙලා ඇති සර්.
ස්ථානාධිපති කරුණාසිංහ, ක්ෂණික කම්පනයට පත්කල එම පුවත අසල ඇති පුටුවකට ඔහුව තල්ලු කලේ නිරායාසයෙනි. විශ්වවිද්‍යාලවල වරම් ලැබූ සුබ පුවත කියන්නට පොලිස් ස්ථානයටම දිව ආ මේ දැරිවියගේ මව ද, මීට වසරකට පමණ පෙර හදිසි හෘදයාබාධයකින් මියගිය බව ඈ ඒ වතාවේ කී ආකාරය  ස්ථානාධිපති ට සිහිපත් වූයෙන්, ඔහුගේ දෑස් කඳුළින් බරවිණි.
අපි යමු සාජන්ට් එතෙන්ට  …. ඉක්මනටම .
ස්ථානාධිපති කරුණාසිංහ කීවේ බරවුණු හදිනි .
පොලිස් ස්ථානයටම ඇති එකම රේඩියෝවෙන්, අමරදේව හඬ පිටවිණි  ....
 
" මේ අපේ උදාර වූ
  මාතෘ භූමියයි  -  මාතෘ භූමියයි   "
                                                         ********************
 
අකිල මල්ලිකාරච්චි
ප්‍රථම වසර 
ලලිත කලා අධ්‍යනාංශය
මානව ශාස්ත්‍ර පීඨය