Image
චාලි චැප්ලින් කියූ පමණින් අප මනසේ චිත්‍රණය වන රුවක් පවතියි. එනම් උඩු රැවුලක් සහිත කලු කබාය තොප්පිය පැළඳි බස්තමක් අතින් ගත් ඒ අසහාය රංගනශිල්පියා ය. සැබවින් ම ඔහු ලෝක සිනමාවේ ආරම්භක යුගයේදීම පෑයූ තරුවක් විය. අදටත් ලෝක සිනමාවේ බිහිවූ පළමු සිනමා තරුව වශයෙන් ඔහු සැළකේ. 
                නලුවෙකු, සිනමා අධ්‍යක්ෂවරයෙකු, තිරපිටපත් රචකයෙකු ලෙස ඔහු බිහි කළ විකට සිනමාව අදටත් අමරණීය වේ. ඔහු වඩාත් ජනප්‍රිය වූ මෙම විකට සිනමාව වෙත අතිශය ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි විය. එහෙත් ඔහුගේ විකට සිනමාවෙන් ඔහු ලබා දුන්නේ සිනහාව පමණද? නැත. ඔහුගේ විකට සිනමාව තුළ ඔහු සැඟවූ සැබෑ යථාර්ථයක් පවතියි. 
               චාලි චැප්ලින්ට හිමිවූයේ දුෂ්කර ළමා කාලයකි. පියාගේ මරණය, මවගේ මානසික රෝගීතත්වය වැනි දුෂ්කරතා හේතුවෙන් ඔහුට සුන්දර ළමා කාලයක් හිමි නොවීය. කුඩා කල සිටම විඳි දුෂ්කරතා, අසාධාරණකම් පිරි සමාජයේ යථාර්ථය ඔහු තම සිනමා නිර්මාණ ඔස්සේ ගෙන ආවේය. ඔහුගේ විකට සිනමාව සැබවින්ම සිනහාව පමණක් නොව සමාජ යථාර්ථයට ඉඩ ලබා දුන් සිනමාවක් විය.
Image
ඔහුගේ සිනමාව නරඹා සිනහාවන ප්‍රේක්ෂකයා සැබවින්ම සිනහා වූයේ තමාටමයි. තමා වෙසන සමාජයටයි. ඔහුගේ අතිෂය ජනප්‍රිය සිනමා නිර්මාණවන The Kid, Modern Times, City Lights, The
Golden Rush, The great Dictator, The Adventure තුළ වුවද දැකගත හැකිවන්නේ හාස්‍ය තුළ සියුම්ව සඟවා ඇති සමාජයේ යථාර්ථයයි. ඔහු හාස්‍යට ලක් කරමින් මතු කර දැක්වූයේ සමාජයේ පවතින අඩුපාඩු අසාධාරණකම් ය. සමාජයේ දැඩිව පවතින ධනපති නිර්ධන භේදය, ධනපතියන්, ව්‍යාපාරිකයන් විසින් කම්කරුවන්, තම සේවකයන් සූරාකන ආකාරය, සමාජ  අසාධාරණකම්, දුප්පත්කම, විරැකියාව, කුසගින්න නිසා ජනයා විඳින පීඩාව ඔහු තම සිනමාව ඔස්සේ නිර්මාණශීලීව ප්‍රතිනිර්මාණය කළේය. 
Image
එලෙසම අසාධාරණකම් තුළින් මතුවන සමාජ ධර්මතා සඳහා ද ඔහුගේ විකට සිනමාව තුළ ඉඩ වෙන් විය. ප්‍රේමය, ආදරය, මිතුරුකම, දාරක ස්නේහය, පරිත්‍යාගය වැනි මානව ධර්මතා ඔහු තම සිනමාව තුළ මතුකර දැක්වීය. සිනමාව රසවිදින අවස්ථාවේ සිනා සාගරයක ගිල්වන ප්‍රේක්ෂකයාව සිනමා ශාලාවෙන් පිටව ගිය පසු ගැඹුරු චින්තනයක් කරා රැගෙන යාමට ඔහුගේ නිර්මාණ හරහා හැකි විය. සමාජය ගැන නැවත සිතීමට ප්‍රේක්ෂකයාව යොමු කරවීමට ඔහුගේ සිනමාව රුකුලක් විය. ඔහු හාස්‍ය තුළින් මතු කළ සමාජ යථාර්ථය ඔහු මෙන් ම ඔහුගේ සිනමාව ද අමරණීය බවට පත් කර අවසන් ය.
සචිනි ඉමල්ෂා උඩවත්ත
ජනසන්නිවේදන අධ්‍යනාංශය
සමාජීය විද්‍යා පීඨය