අපගේ ග්‍රහලෝකයේ ආයෝජනය කරන්න.
- ගවේෂණ
- Affichages : 1240
සෑම වසරකම අප්‍රේල් මස 22 වන දින ලෝකවාසී ජනයා ජගත් මිහිතල දිනය සමරනු ලැබේ. මිහිතලය පිළිබඳ කතිකා කිරීමට විශේෂිත දිනයක් තිබීම ඒ සම්බන්ධව කාලීන විස්තර, මතවාද හා ගැටලු කතිකා කිරීමට විශේෂිත අවධානයක් හා අවස්ථාවක් නිර්මාණය වේ. ඒ අනුව ජගත් පරිසරය දිනය සැමරීම වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලය භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ, මහාචාර්ය ඒ.ජී. අමරසිංහ මහතා සමඟ සිදුකළ සංවාදය ඇසුරින් මෙම ලිපිය සකස් විණි.
ලෝක පරිසරය ආරක්ෂා කිරීම සඳහා ජගත් ප්‍රජාව ජගත් මිහිතල දිනය සෑම වසරකම අප්‍රේල් 22 වන දින සමරනු ලැබේ. ලෝකයේ දිනෙන් දින උග්රවන පාරිසරික ගැටලු කෙරෙහි ජගත් ප්‍රජාවගේ අවධානය යොමු මෙහි අරමුණ වේ. එහිදී සමස්ත පෘථිවිය ග්‍රහයා, එනම් අපි හැමෝම ජිවත්වන ග්‍රහලෝකයට වැඩි සැලකිල්ලක් දැක්වීමත්, එය ආරක්ෂා කර ගැනීමටත් පියවර ගැනීමට අපේක්ෂා කරනු ලැබේ. මෙවර ජගත් මිහිතල දිනයේ තේමාව වන්නේ
"අපගේ ග්‍රහලෝකයේ ආයෝජනය කරන්න" යන්නයි මෙයින් අදහස් වන්නේ ලොව පුරා මානවයාගේ කටයුතු සියල්ල ඉටු කර ගැනීමේදී, ඒ සඳහා ආයෝජනය කිරීමේදී අපගේ ග්‍රහලෝකය වන පෘථිවි ග්‍රහයා වෙත අවධානය යොමු කරමින් ආයෝජනය කළ යුතු බවයි. මෙහි ඉතා පුළුල් අදහසක් අන්තර්ගත වී ඇත. සියලුම ව්‍යාපාරික කටයුතු සිදු කිරීමේදී පරිසරය ගැන වැඩි සැලකිල්ලක් දක්වමින් කටයුතු කළ යුතු බව එහි සඳහන් වේ. ලොවපුරා පුරා රටවල් 193 කට අධික ප්‍රමාණයක් මිහිතල දිනය සමරනු ලබන්නේ පරිසර ආරක්ෂණය සඳහා සහයෝගිතාව ලබාදීමේ එක් පියවරක් වශයෙනි. වර්තමානයට ඉතා වැදගත් දිනයක් වුවත් මෙම දිනය පිළිබඳව සලකා බලා ඇත්තේ 1969 වර්ෂයේදී ය. 1969 වර්ෂයේ දී අමෙරිකාවේ සැන්ෆ්රැන්සිස්කෝ නුවර පැවැති යුනෙස්කෝ සමුළුවේ ජෝන් මැක්කොනල් නම් සමාජ ක්‍රියාකාරිකයා විසින් මෙම දිනය යෝජනා කර තිබේ.වර්තමානයේ මිහිතල දිනයේදී ලෝක ප්‍රජාව එකඟතාවයකට පැමිණෙමින් වර්තමානයේ පරිසරයේ පවතින ගැටලු හඳුනාගැනීම, එම ගැටලු ඇතිවීමට බලපෑ හේතු සොයා බැලීම, එම ගැටලු වැළැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කිරීම සිදුකෙරෙන අතර මෙම ගැටලු නිරාකරණය කර ගනිමින් යහපත් පරිසරයක් පවත්වා ගැනීමට පෘථිවි වාසීන් ලෙස අප කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව අවධාරණය කරයි. මිනිසා විසින් සිදු කරනු ලබන සියලුම කටයුතු පරිසරයේ සමතුලිතතාව රැකෙන පරිදි කළ යුතු බව මෙවර තේමාව තුළින් ප්‍රකාශ කරයි.
මිහිතල දිනය පිළිබඳ සැලකිලිමත් වීමේ දී අපට වැඩි හැඟීමක් ඇතිවන්නේ පවතින ගැටලු මොනවාද යන්න පිළිබඳ අවබෝධ කර ගැනීම මගිනි. මිහිතලය පිළිබඳ පවතින ගැටලු බොහොමයක් ඇත්තේ, මිනිසා විසින් මේ පරිසරය පරිහරණය කිරීමේ දී සිදු වූ වැරදි සහ අඩුපාඩු හේතුවෙන් ඇතිවූ ගැටලුකාරී තත්වයන් බව අපට දැක ගත හැකිය. මෙහිදී මුළු ලෝකයටම බලපානු ලබන ගැටලුවක් ලෙස දේශගුණික විපර්යාස (Climate Change )හඳුනාගත හැකිය. දේශගුණික විපර්යාස හේතුවෙන් එදිනෙදා සාමාන්‍ය ජීවිතයට ගැටලු රාශියක් ඇති කරනු ලබයි. එය සෑම රටකටම, සෑම පුරවැසියකුටම එකලෙස බලපානු ලබයි. එම ගැටලු අතර අකලට වැසි ලැබීම, කලට වැසි නොලැබීම ප්‍රධාන වේ. මෙහිදී දේශගුණික රටාවන් වෙනස් වීමකට ලක් වී තිබෙන බව පෙනෙන්නට තිබෙන කරුණකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම දේශගුණික විපර්යාස (climate Change) නම් බරපතළ ව්‍යසනය හඳුනාගෙන තිබේ. අධික ලෙස යන්ත්‍රෝපකරණ ක්‍රියාකරවීම සඳහා, පොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව වායුගෝලයට එකතු වීම මෙන්ම ගස් කැපීම, වනාන්තර ගිනි තැබීම වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලීය උෂ්ණත්වය ඉහළ ගොස් ඇත. වායුගෝලය උෂ්ණත්වය ඉහළ යාම නිසා නිරන්තරයෙන් කාලගුණික හා දේශගුණික අහිතකර වෙනස්කම් ඇති වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පිහිටුවා ඇති අන්තර්ජාතික දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතිය ( Intergovernmental Panel of Climate Change IPCC) මගින් දේශගුණික වෙනස්වීම් පිළිබඳව කරුණු අධ්‍යයනය කරයි .මෙම දේශගුණික විපර්යාස පිළිබඳව මිනිසුන් දැනුවත් කර, පාරිසරිකව ඇතිවන මේ ගැටලු තේරුම්ගෙන ඒවා නිරාකරණයට මැදිහත් විය හැකි ආකාරය පෙන්වා දිය යුතුය. මෙහි දී ලෙඩ රෝග ඇති වීම, ආර්ථික කටයුතුවලට බාධා ඇති වීම, මිනිසුන්ගේ දේපළ,හා ජීවිත විනාශ වීම වැනි දේවල් ද සිදුවේ.මෙය සමස්ත ලෝකයටම බලපානු ලබන එක්තරා ආකාරයක ගැටලුවකි.ලොවපුරා සම්පත් අධික ලෙස පරිභෝජනය කිරිමේ කටයුතු රාශියක් අපට දැකගත හැකිය. එම කටයුතු අවම කර ගැනීමට කටයුතු කළ යුතුය.ඒ හරහා පරිසරය සමතුලිතතාව පවත්වා ගැනීමත්, පරිසරයෙන් මිනිසාට සිදුවන අහිතකර බලපෑම් වළක්වා ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත.එලෙස අධික පරිභෝජනය නතර කළ විට, පරිසරයට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය නිරායාසයෙන්ම නවතී. අපද්‍රව්‍ය පරිසරයට එකතුවීම නැවතුන විට ජල දූෂණය හා පස පරිසර දූෂණය මෙන්ම වායු දුෂණය ද අවම වේ. ගංගාවල ජෛව පද්ධති විනාශ වීම අවම වේ. මෙය මිහිතලය සුරැකීමේ එක්තරා පියවරකි.
දේශගුණික විපර්යාස නිසා සිදුවන වෙනස්කම් ලෝකයේ දක්නට ලැබෙන ආකාරයට, ලංකාවේ ද අපට දැක ගත හැකිය. ශ්‍රී ලංකාව 1987 සිට (intergovernmental panel of climate change IPCC) හෙවත් අන්තර් ජාතික දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතිය සමගින්, විවිධ සම්මුති ඇතිකර ගනිමින්, ඔවුන් සමඟ කටයුතු කරමින් සිටී. ලංකාවේ දේශගුණික විපර්යාස වැලක්වීමේ කාර්යාලයක් ද පරිසර අමාත්‍යංශය යටතේ ස්ථාපිත කර තිබීම හරහා දේශගුණික විපර්යාස පිළිබඳ මැදිහත් වීමක් ද සිදු කරනු ලබයි. නමුත් එය ප්‍රමාණවත් ද යන්න පිළිබඳව ප්‍රශ්නාර්ථයක් පවතී. අප්‍රේල් 22 ට යෙදෙන මිහිතල දිනයේ දී මෙම මැදිහත්වීම ප්‍රමාණාත්මකව වැඩිකර ගැනීම කරගැනීමට අවස්ථාවක් කර ගැනීමට පුළුවන.
ලංකාවේ නිරිතදිග මෝසම්, ඊසාන දිග මෝසම්, අතුරු මෝසම් ලෙස වර්ෂාව ලැබෙන සෘතු පැවතියත් එම කාල වකවානුවලදී අපේක්ෂිත ලෙසට වර්ෂාව ලැබෙන්නේ නැත. එහිදී වර්ෂාව ලැබෙන ප්‍රමාණය වෙනස්වන අතර වර්ෂාව ලැබෙන කාලය ද වෙනස්ය. එම නිසා සැලසුම් කළ අයුරින් කෘෂිකාර්මික කටයුතු කරගෙන යාමට නො හැකි වී තිබේ. මේ හේතුව නිසා වගාවන් විනාශ වීම වැනි හානි දැකගත හැකිය. වර්ෂාව නො ලැබීමෙන්, සූර්යාලෝක නො ලැබීමෙන්,අධික සුළං හැමීමෙන් යනාදී දේශගුණික ගතිලක්ෂණ වල වෙනස්කම් මඟින් වගාවන් හානි වීමට හැකියාවක් තිබේ. මේ තත්ත්වය ලංකාවේ බොහෝ විට දැකගත හැකි බරපතල ගැටලුවකි. එසේම අනෙකුත් රටවලට අධික හිමපතනය, අධික සීතල නිසා නිවාසවලට ගෑස්නළ ගෑස් සපයන නළ පිපිරීම්, විදුලි විසන්ධි වීම්,ජලය භාවිතා කිරීමට නොහැකි තරම් ඝණවීම් වැනි අහිතකර තත්වයන් බොහෝ විට දකින්නට ලැබේ. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට ගංවතුර,නායයෑම් වැනි ස්වාභාවික ආපදා සුලබව ඇති වේ. සාමාන්‍යයෙන් කිසියම් ප්‍රදේශයකට දවස් තුනකට පමණ ලැබෙන වර්ෂාවක් පැයක දී පමණ කාලයකදී ලැබීම හරහා එම ජල පෝෂක ප්‍රදේශයට ඔරොත්තු දීමේ හැකියාව නොමැති වී යයි. ඒ හරහා ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතී. කලට වැසි නොලැබීම හරහා ජල විදුලිය නිෂ්පාදනය කිරීමට නොහැකි වෙයි. මේ සියලු ගැටලුවලට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ වායුගෝලයට හරිතාගාර වායු මුදා හැරීමය. ක්ලෝප්රෝකාබන්, කාබන්ඩයොක්සයිඩ්, මීතේන් වැනි හරිතාගාර වායු ඒ අතර ප්‍රධාන වේ. වායුගෝලයේ ස්වාභාවිකව පවතින වායු සංයුතියට වඩා වෙනස් වායු වර්ග මානව කටයුතු හේතුවෙන් බරපතළ ලෙස වායුගෝලයට එකතු වී ඇත. මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ කාර්මික විප්ලවය හා කෘෂිකාර්මික විප්ලවයයි. මේ විප්ලව දෙක මගින් අපගේ ජන ජීවිතය ඉතා වටිනා දියුණුවක් ලැබුණු අතර ඒ හරහා ප්‍රවාහනය, ආහාර, ඖෂධ, ඇඳුම් පැළඳුම්,නිවාස වැනි දෑ අඩංගු සැපවත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාවක් ද ලැබුණි.
දේශගුණික විපර්යාස පිළිබඳ මිනිසුන් දැනුවත් කර, පාරිසරික ගැටලු තේරුම් ගෙන ඒවා නිරාකරණයට මැදිහත් යුතු ආකාරය ජගත් මිහිතල දිනයේදීවත් පෙන්වා දිය යුතුය. මෙහිදී .ලෙඩ රෝග ඇති වීම ,ආර්ථික කටයුතුවලට බාධා ඇති වීම හා මිනිසුන්ගේ දේපළ ජීවිත විනාශ වීම වැනි දේවල් ද සිදුවේ. එ්වා අප ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම දැකගත හැකි ප්‍රධාන ගැටලු ය. දේශීය දේ නිෂ්පාදනය වැඩි කිරීම, දේශීය දේ පරිභෝජනය කිරීම, හා භාණ්ඩ අරපිරිමැස්මෙන් භාවිතා කිරීම මඟින් බොහොමයක් වූ පාරිසරික ගැටලු මගහරවා ගැනීමේ හැකියාවක් පවතී. එලෙසම නිරෝගී ජීවිතයක් ගත කිරීමටත්, ආර්ථික හා සමාජීය ගැටලු අවම තත්ත්වයකට පත් කර ගැනීමටත් හැකියාවක් ඇත.ඒ සඳහා ලෝක මිහිතල දිනය යොදා ගැනීමට හැකිය.මිනිසුන් දැනුවත් කිරීම, එම දැනුම ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල යෙදවීම හරහා බොහෝ ගැටලුවලට විසඳුම් සොයා ගත හැකිය. මෙවර මිහිතල දින තේමාවේ අපගේ ග්‍රහලෝකයේ ආයෝජනය කළ යුතු බවය. එය එක්තරා ආකාරයක ව්‍යාපාරික මුහුණුවරකින් යුක්තය. එයට හේතු වන්නේ මානවයාගේ සියලු කටයුතු ව්‍යාපාරික මුහුණුවරක් ගැනීමයි. පරිසර හිතකාමී ලෙස තමන්ගේ ව්‍යාපාර කටයුතු කිරීමට යොමු කිරීම මගින් පරිසරය ආරක්ෂා වන බව විශ්වාස කෙරේ. ගෝලීය උෂ්ණත්වය අධික, ජන ඝනත්වය අධික වීම සහ විවිධ පාරිසරික ගැටලු හේතුවෙන් අපගේ ග්‍රහ ලෝකය තුළ විවිධ අර්බුද නිර්මාණය වේ. පෘථිවියේ සෑම පුද්ගලයෙකුටම වර්තමානයේ සහ අනාගත පරම්පරාවන්ට ග්‍රහලෝකයේ ස්වාභාවික සම්පත් සංරක්ෂණය කිරීමේ ප්‍රමාණාත්මක වගකීමක් පැවරී තිබේ.
මිහිතලය ගැන නොසිතා ක්‍රියා කරන්නේ නම් සමස්ත ලෝකට දරුණු විපාක විඳීමට සිදුවේ. හුස්ම හිර වන තුරු ඔක්සිජන් බිඳක වටිනාකම නොදැන,පිපාසයෙන් මියැදීමට ආසන්න වන තුරුම දිය බිඳක වටිනාකම නොදැන හැල්මේ දුවන මිනිසුන් තම ක්‍රියා කලාපයන් වෙනස් කර නො ගැනීමේ විපාක පොදුවේ සමස්ත ලෝක වර්ගයාටම විඳීමට සිදුවීම වැළැක්විය නො හැකිය.පරිසරය,මිහිතලය පිළිබඳ නැගෙන හඬගැසීම් නෑසුණු කන්ව තව දුරටත් විනාශයට යනවාද? මිහිතලය පිළිසකර කර ගනිමින් ඉදිරියට යනවාද යන වග සියලු ජාතීන් එක්ව තීරණය කළ යුතු නොවේ ද? ශ්‍රී ලාංකිකයන්ට මෙවර මිහිතලය මිහිතල දිනයේ දී ලබා දිය හැකි පණිවිඩය වන්නේ, පරිසර සමතුලිතතාව ආරක්ෂා වීමට තුඩු දෙන අයුරින් තම කටයුතු කිරීම සහ අවශ්‍යතා ඉටුකර ගැනීමේදී පරිසරය ගැන සැලකිලිමත් විය යුතුය යන්නය. එහිදී පස,ජලය, වාතය ආරක්ෂා කර ගැනීමටත්, පරිසර පද්ධතිවල ක්‍රියාකාරීත්වය සුරක්ෂිත කිරීමටත් උනන්දු වෙමින් තමන්ගේ එදිනෙදා කටයුතු කර ගැනීම අවශ්‍ය වේ. මේ සඳහා රාජ්‍ය යාන්ත්‍රණයක් , සාමාන්යා ජනතාව ඒකාබද්ධව ක්‍රියා කිරීමත් අත්‍යවශ්‍ය ය. එසේම පාරිසරික ගැටලු ඇති නොවන අයුරින් කටයුතු කිරීමටත් අධිෂ්ඨාන කරගත යුතුය. සාමාන්‍ය මිහිතල දින සැමරුමේ දී ලොව පුරා රුක් රෝපණ වැඩසටහන්, ශ්‍රමදාන වෙරළ පිරිසුදු කිරීම් වැනි කර්ත්වයන් සිදු කෙරේ,ඔබේ නිවෙසේ පුංචි පැළයක් හෝ සිටුවීම , පරිසරයට අපද්‍රව්‍ය එකතු කිරීම අඩුකිරීම, අහාර පරිභෝජනය සිමා කිරීම යනාදී කටයුතු කිරීමත් ලෝක මිහිතල දිනය වෙනුවෙන් වගකීමක් ඉටු කිරීමට ඔබටත් හැකියාව ඇති බව සඳහන් කළ හැකිය.
රුවන් පුෂ්පකුමාර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය