Image

පසුගිය අගෝස්තු 25 දින කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් පිරිසක් එක්ව කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉහළකෝට්ටේ දුම්රිය ස්ථානය අසල පිහිටි මීයන් ඇල්ල නම් ඉතා සුන්දර දිය ඇල්ල අවට පිරිසිදු කිරිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. ඒ විද්‍යාර්ථයින් පිරිසක් එකතු වී නිර්මාණය කරන ලද “හුස්ම” නම් පරාර්ථකාමී සංකල්පයකට අනුවයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ සිට වම් පසට රේල්පාර දිගේ කිලෝ මීටරයක් පමණ ගමන් කළ පසු මෙම මීයන් ඇල්ල දැකගත හැකිය. අලගල්ල කන්දෙහි හෙලන්මඩිත්ත නම් ස්ථානයෙන් ආරම්භ වන මෙම දියඇල්ල බලගොඩ සහ තලගොල්ල ගම්මාන හරහා ගමන් කර තලගොල්ල ඔය සමඟ එකතු වෙයි. වර්ෂා කාලයේ දී මෙහි ජල ධාරිතාව ඉහළ යන අතර එම කාලවලදී සංචාරක ආකර්ෂණය අති විශාල වෙයි. 1815 දී ඉංග්‍රීසීන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවේ පාලනය ලබාගත් පසු ඔවුන්ගේ වෙළෙඳ කටයුතු සඳහා අවශ්‍ය ගමනාගමන පහසුකම් නිර්මාණය කරගන්නට විය.

Image

එහිදී උඩරට දුම්රිය මාර්ගය ප්‍රධාන වෙයි. එහිදී දුම්රිය මාර්ගය නිර්මාණය කිරීමේදී විශාල වශයෙන් හමුවන ගල් පර්වත එම මාර්ගයන් සඳහා සෘජුව බාධාකාරී විය. උඩරට දුම්රිය මාර්ගය සකස් කිරීමේ දී ඉංග්‍රීසීන්ට මෙම මීයන්ඇල්ල පිහිටි ගල් පර්වතය මඟහැර යාමට විකල්ප ක්‍රමයක් භාවිතා කරන්නට විය. එසේ විකල්පයක් ලෙස ඔවුන් තෝරා ගත්තේ මීයන් ඇල්ල ඇදහැළෙන ගල් පර්වතය මත කට්ටයක් හෙවත් වේදිකාවක් කපා එම කට්ටය මත දුම්රිය මාර්ගය සකස් කිරීමයි. මෙහිදී රේල් පාරට මීයන් ඇල්ලෙන් ජලය වැටීම වැළැක්වීමට ඇල්ල කඩා වැටීම ආරම්භ වන කඳු මුදුනෙන් ජලධාරාව දෙකඩ කර ඇත. එහිදී ඔවුන් දුම්රිය පාරට ජලය කඩා වැටීම වලක්වා ඇත.

පසු කලෙක මෙම දුම්රිය මාර්ගයේ ගමන් ගත් ගැල් දුම්රියක් මීයන් ඇල්ලේ ජලය කඩා හැලෙන ස්ථානයේ ඇති වූ පළුද්දක් හේතුවෙන් එම දුම්රිය ප්‍රපාතයට පෙරළී ගොස් ඇත. දුම්රිය දෙපාර්තමේන්තු ඉතිහාස කතා වල මේ බව සඳහන් නොවුණත් සමහර පොත්පත් වලද ජනප්‍රවාදයේ ද මේ බව සඳහන්වන අතර මේ අනතුරත් සමඟ මීයන් ඇල්ල හරහා වන දුම්රිය මාර්ගය අනාරක්ෂිත දුම්රිය මාර්ගයක් බව වටහාගත් ඉංග්‍රීසීන් මෙම ගල් පර්වතය සිදුරු කර උමගක් තනා ඒ මඟින් දුම්රිය ධාවනයට සැලසුම් කරන ලදී. එහි දී ප්‍රධාන දුම්රිය උමගේ මැදින් මීයන් ඇල්ල දක්වා වූ කුඩා උමගක් නිර්මාණය කර ඇති අතර සංචාරකයන්ගේ වැඩිම ආකර්ෂණය මෙම කුඩා උමග කෙරෙහි යොමු වෙයි.

Image

මෙම උමං දුම්රිය මාර්ගය 5ඒ නමින් නම් කර ඇති අතර එය දෙවැනි වන්නේ දිගින් වැඩිම බිම්ගෙය වන “සිංගිමලේ” බිංගෙයට පමණි. මෙම බිංගෙයට වදින දුම්රිය අඩි 1307 පොළොව යටින් යන අතර නැවත හිරු එළියක් ලැබෙන්නේ මීටර් 420ක් උමඟ තරණය කළ පසුවයි. මෙම උමං මාර්ගය 5a ලෙස නම් කර ඇත්තේ අංක පහ ලෙස නම් කර ඇති උමං මාර්ගය ද අංක 6 ලෙස නම් කර ඇති මාකෙහෙල්වල දුම්රිය උමං මාර්ගයත් අතර මෙම දුම්රිය උමග පසුව නිර්මාණය වූ 

 

නිසා මෙම දුම්රිය උමග හය ලෙස නම් කළොත් එතැන් පටන් සියලු දුම්රිය උමං වල අංක වෙනස් වන බැවින් මෙම දුම්රිය මාර්ගය 5 එ ලෙස නම් කර ඇත.
කෙසේ වෙතත් සංචාරක ආකර්ෂණය බොහෝ සේ දිනාගත් මෙම ස්ථානය නැරඹීමට යන ඇතැම් පුද්ගලයින් මෙම ස්ථානයේ අවිධිමත් ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා එම ස්ථානය අවට පොලිතීන් ප්ලාස්ටික් වීදුරු බෝතල් ටින් ආදී නොදිරන ද්‍රව්‍ය රාශියක් එකතු වී තිබිණි. මේ පිළිබඳව සොයා බැලූ කැලණිය විශ්වවිද්‍යාලයේ “හුස්ම එකමුතුව” එම ස්ථානය පිරිසුදු කිරීමට වැඩසටහනක් සකස් කරන ලදී. ඒ අනුව 2022 අගෝස්තු 25 දින මීයන් ඇල්ල අසලට එක්වූ ඔවුන් තම හැකි ආකාරයෙන් තම පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වූ අතර ඒ වන විට ඒ අවට නැරඹීමට පැමිණි තරුණ තරුණියන්ද ගම්වාසීන් ද මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට බොහෝ සේ උපකාර කරන ලදී.

තවද මෙම කාර්යය අතරතුර මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජිතයකුගේ මෙන්ම ගම්වාසීන්ගේ ද බොහෝ ප්‍රසාදයට පත්විය. මේ පිළිබඳ හුස්ම එකමුතුවේ අදහස වනුයේ ඔවුන්ගේ සරසවි ජීවිතය තුළ ලද අත්දැකීම් වලට අමතරව පරාර්ථකාමී මිනිසුන් ලෙස සමාජ ගත වීමටත් පරාර්ථය සමාජ ගත කිරීමටත් උපයෝගි කර ගත් උත්සාහයක පළමු පියවර බව ය.

ඩබ්.කේ.එස් සම්පත්

විශේෂවේදී තෙවන වසර

ආර්ථික විද්‍යා අධ්‍යනාංශය