Image

" ප්‍ර බු ද් ධ "  ….

 

                                              (පොතක් ගැන යමක් - 02 )

 

                              කර්තෘ -  මහගමසේකර  මහතා

                               ප්‍රකාශනය -  ස්ටැම්ෆර්ඩ් ලේක්  ප්‍රකාශකයෝ

 

 

                        " අතීතයෙන් රැස් කරගත්

  සියලු ඤාණ සම්භාරය

  මියගිය තැන

  මනෝ රූප සිතිවිලි හා

  සියලු වචන සංජානන

  නැවතුණු තැන

  ඉබේ ම එය පහල වේ ය

  සිතාමතා ලද නො හැකිය

  ඒ ධ්‍යානය

  දෙගොඩ තලා උතුරා යන

  ගඟක් වැනි ය

  ගොලු සංගීතයක් වැනි ය "  …..

 

 ( පිටු අංක - 57 )

Image
කවියෙකු ට කාව්‍යකරණයෙන් අත්විඳිය හැකි උසස්තම ප්‍රීතිය කුමක්දැයි කෙනෙකු ඔබෙන් විමසුවහොත් ඔබේ පිළිතුර කුමක්ද ?  …. එය නිසැකයෙන් ම ඔබට ස්වාධීන එකක් වනු ඇත. ( " ස්වාධීන " හෝ " ස්වාධීන නැති ද " යන්න වෙන ම කතා කල යුතු මාතෘකාවකි. )
ලෝ ප්‍රකට " ෂෙලී " කවියා, " කවිය උපන්නේ වේදනායෙනි " ලෙස සඳහන් කරන කරුණෙහි අර්ථය කුමක්ද ?  …. යම් කිසිවෙකු සතු " හද දෑස " , " වේදනා හැඟුම් කඳුළින් " සේදී පිරිසිදු ව ගිය කල, ඔහුට, ලොව සෑම තැනම " සුන්දරත්වය " සජීවීව ප්‍රතිමූර්තිමත් වී දර්ශනය වන්නට පටන් ගනී. එතැන් සිට, " සන්තාපයේත් " , " ප්‍රහර්ෂයේත් " වෙනසක් ඔහු නො දකී. සෝකයේත්, ප්‍රීතියේත් ඇති " පොදු සුන්දරත්වයක් " ඔහු මනසින් අත්විඳියි.
රසික හදවතට සුසුම් දෙන, " බණ කියන - කවි බඳින " සේකරයන් විසින් පබැඳුණු මෙය එක් " කවි කතාවකි ". ආරම්භයේ දී මවුකුසින් පිටට විත්, අවසන සොබාදහමටම කැපවෙන " ලොවී ජීවිතයේ යථාර්ථය ", " සබ්බේ සංඛාරා අනිච්චාදී " අතිශය පතළ ආස්ථානයක නො සිට, මෙහි ලා වෙනස් හැඩයකින් ඉස්මතු කර තිබේ. " කලකිරීම " වෙනුවට අවබෝධයත්, " අවබෝධය " කරණකොට ඇතිවන " මුදිතාව ප්‍රමුඛ දැක්මත් " හරහා වඩා දයාර්ද්‍ර වූත්, වඩා ප්‍රේමණීය වූත් හැඟීමකින්, ලෝකය සහ එහි මිනිසුන් දෙස බලන්නේ කෙසේද යන්න ප්‍රස්තුත නිර්මාණයෙන් අපට මනාව උගත හැක.

 

" සන්සුන් සිතින් ගමනින්

   ප්‍රබුද්ධ ආයේය සෙමින්

  ඒ මග දිග

  දරුවෝ නෙත් අයා විශ්මයෙන්

  බැලුවෝ ය ඔහු දෙස

  .

  .

  මුඩුක්කු පෙළ ඉදිරිපිට

  අඳුරු මග නිවහන කොට

  දුව පැන නටන හිනැහෙන

  කුණුහරුපයෙන් බැන අඬගසන

  ' ඇත්තටම මොහු මාගේ දරුවෝය '

   ප්‍රබුද්ධට සිත්විය "  ….

 

   ( පිටු අංක - 38,39 )

 

Image

අපගේ ලිපියේ මාතෘකාව - " ප්‍රබුද්ධ වන්නට ප්‍රබුද්ධ " යන්නයි. සැබැවින් ම සේකරයන්ගේ මේ වෑයම මුළු මහත් රසික සමාජයක් වඩාත් ප්‍රබුද්ධ කරණය කිරීමෙහි ලා, පාර්ශ්වීය කර්තව්‍යයක කවියෙකු ලෙස නිරතවීමට බැව්, ප්‍රස්තුත කාව්‍ය සංග්‍රහයෙහි ඉස්මතු වන කවියාගේ ඊප්සිතාර්ථයෙනුත්, සේකරයන් එහි පදනම ලෙස උපයෝගී කොටගත් සර්වාගමික දර්ශනයන් ගේ ආකල්පධාරක සංකල්පයන්ගෙනුත් මනාව විශද වෙයි. ගමේ තමා උපන්, තමා උපන්, තමා හැදී වැඩුණු නිවසේ තමන්ගේ මව, පියා සෙවණේ හිඳ ලැබූ ඔවුන්ගේ ආදරය හා නාගරීකරණ සෙවනැල්ලෙන් මිදුණු ග්‍රාම්‍යත්වයේ ස්වාභාවික සෞන්දර්යය විඳ , ඉනික්බිති, ධවල  පවුරු යෙන් වටවූ, තුමුල මාලිගා බඳු ධනපති නිවස්නයන් ගේ තිරයෙන් වැසුණු නිර්ධනයින්ගේ, දිළින්දන්ගේ අඳුරු ගුප්ත ලෝකයෙන් යුතු, ව්‍යාජ වූත්, කෘත්‍රීම වූත්, ආටෝප ස්වාභාව සෞන්දර්යයත්,  සෑම ආකාරයකම යථාරූපී පුද්ගල හැඟීම්, ඉතා හොඳ මිල ගණන් වලට ' අන්‍ය පුද්ගලවාදී ආත්මාර්ථ සාධනය නම් වෙළඳපොලෙහි ' අලෙවි වන නගරයට විත්, එවන් සිදාදියකදී, " සකල සතම හද බැන්දූ - සිත රැන්දූ චරිතයක් වීමට අත්‍යවශ්‍ය බව කියනා සුදුසුකම් වලින් පූර්ණත්වයට පත් වී, සිදාදියේ මේ යථාව සමග ගැටී - කළකිරී, " නගරබිමෙහි " තමා පැළ වූ දා ම ත්‍යාග ලද ප්‍රේමය ද හැර දමා, තම ඇතුළු හද ලොබ බැඳි,

සමස්ත කාව්‍ය සංග්‍රහය පුරාම විසිරී පැතිරී පවතින, එකිනෙකට වෙනස් කාව්‍ය ආකෘතීන්වල සම්පිණ්ඩනය පිළිබඳව සලකා බලන කල, සේකරයන්ගේ  " පර්යේෂණාත්මක, නිර්මාණාත්මක ආකෘති භාවිතය පිළිබඳ " අධ්‍යනය කිරීම තුලින් - හැදෑරීමට හැකි  වෙනත් කෘති මෙන්ම ඒවායෙහි අඩංගු අප්‍රකට මෙන් ම, සුප්‍රකට කවි ද, පාර්ශ්වීය උපැහැරණ ලෙස ආධාර කරගැනීමට පිළිවන. ( " සඳැස් ", " නිසඳැස් " ආකෘතීන් මිශ්‍ර කවි පන්ති ද, අතරින් පතර නැතුවා ම නො වේ. )

 

 

" වක්කඩ ලඟ

   දි

      ය

                  (  වක්කඩක වතුර ගලා හැලෙන තාලයට හා රිද්මයට කවියේ පද ද                    පෙලගස්වා තිබීම  )

                          වැ

            ටෙ

                 න                                                                 

                තා

             ල

          ය

       ට

   තිත්ත පැටවු

   උඩ

          පැන

                 නැටුවා  "  ….

 

                         (  හෙට ඉරක් පායයි  )

 

ආ ?  ....

  ඔය කියන්නේ

  ඊයේ හවස ආපු ලෙඩා

  තාම නෑ සිහිය ආවේ

 

  ග්රූස් ග්රූස් ග්රූස් ග්රූස්

  ගැහි ගැහී

  පපුව උස් පහත් වෙයි

  Nothing by mouth

  සේලයින්

  ඔක්සිජන්

  දඩ දඩස් - දඩ දඩස්  "  ....

 

(නොමියෙමි -   පිටු අංක - 21)

 

රෝගියෙකුගේ ක්‍රියාකාරීත්වය අප දෑස් අබිමුව සජීවීව මැවීමට සමත් භාෂා භාවිතයකින් යුතු, පොරණ කිවියන් විසින්, සුසේවිත - සුභාෂිත භාෂා ව්‍යවහාරය පමණක් උපයෝගී කොට නො ගෙන, වෙනත් භාෂාවන්ගේ වෙනත් වචන පවා යොදාගත්, " ප්‍රකශ කිරීමට කවියා අපේක්ෂා කල ප්‍රකෘති අදහස “ , සිත තුල.නැගි ස්වාභාවික හැඟුම්වල දවටාලූ ක්‍රෘතීම අලංකාරෝත්පන්නයන්ගෙන් තොරවූ වදනින් සරු කල උක්ත කාව්‍ය නිර්මාණය මෙන්ම අපගේ ලිපියට මාතෘකා වූ, " ප්‍රබුද්ධයෙහි " ද,

මේ උතුම් වැදගතුන්

   බී මත් ව සුරාවෙන්

  රැස්ව මේසය වටා

  සුද අතුළ

  දිලෙන හැඳි ගෑරුප්පු ලා පසෙක

  දෑතින් ම ගෙන තෙල් පෙරෙන

  මස් කටු

  කෙල හලා තලු මරා බුදින සැටි

  දකින විට  "  ....

(පිටු අංක - 15)

 

සිටියෝ මෝරපු ගැහැණු

   බැන්ද උස් කොංඩා හා

   ගන දෙතොල් උල් නිය ඇති

   අඩවන් තඩිස්සි ඇස්

   ඉඟ දෙපසින් එල්ලෙන මස්  "  ....

(පිටු අංක - 10)

Image

කාව්‍ය සංග්‍රහයෙහි එන එක් එක් නිර්මාණ කාර්යයන්වල රසභාව සේවනයයෙන්, අතිශය ආනන්දයට පත් රසික සිත් - ප්‍රඥාවේ මගට හොවනා නොයෙක්විධ දාර්ශනික, කාල්පනික මානයන් නිර්මාණය කිරීමෙහි ලා වඩාත් භාවාමන්ත්‍රණීය වනු පිණිස, වෙනත් කෘතීන් හා මූලාශ්‍රයන්ගෙන් ලද උපුටනයන්, කවි නිර්මාණ අතරට එකතු කිරීමට සේකරයන් ගෙන තිබෙන උත්සාහයත්, අපට ඊට පෙර වෙනත් නිර්මාණකරුවන් අතින් බිහිවූ කිසිඳු නිර්මාණ කාර්යයක දැකගත නො හැකි නවතම සංකල්පයක් වන අතර, " පශ්චාත් සේකර " සමයෙහි බොහෝ නිර්මාණකරුවන් එය අපූර්වාකාරයෙන් ස්වකීය කාව්‍ය ප්‍රබන්ධකරණයෙහිදී වැළඳගත් ආකාරයද පෙනේ.

 

" එය වේ ස්වර්ගරාජ්‍යය

   එය වේ නිර්වාණය

  මෝක්ෂය යනුත් එයමය

  මෙය මිනිසාට තමා හමුවීමය "  ....

 

(පිටු අංක - 26 - සේකරයන් ' රාමායණයෙන් ' උපුටා ගෙන ඇති කොටස)

ඉදින් සේකරයන් කී සෙයින් ම, මතු දිනක ඇරඹෙන අලුත් යමකට කාලාවකාශයේ ඉඩ වෙන්කරමින්, " නැවතීමේ තිත " තබා සමුගනිමි. කළියුග සමයක, සෑම අතින් ම හෙල්ලුම් කන " ජීවිත අභියෝග " නම් වැල් පාලමෙන් - නො වැටී එතෙර වීමට තැත දැරීමෙන් වියලුණු ඔබේ සිත් බිමට, මිහිරි හැඟුම් වැස්සක්, මේ ලියමන කියවුමෙන් අවසන වැටිණි නම්, එය ම ප්‍රමාණවත් ය.

 

 

 අකිල මල්ලිකාරච්චි

 ප්‍රථම වසර

 ලලිත කලා අධ්‍යයනාංශය

 මානව ශාස්ත්‍ර පීඨය