Image

“මට ප්‍රශ්නයක්” “මං ප්‍රශ්නෙක” ඔයාට ප්‍රශ්නයක් ද?” මේ වචන ඔයා කියල ඇති. අහල ඇති. ඇහිල ඇති. “කාට ද ප්‍රශ්න නැත්තෙ” හිත හදා ගන්න සුපුරුදු වචන ටික. ඔව්. ඒක ඇත්ත. කාටද ප්‍රශ්න නැත්තෙ. පිහාටුවක් වගේ සැහැල්ලුවෙන් හිනා වෙලා ඉන්න හැමෝටම හිත යට ගල් කර ගත්ත ප්‍රශ්න තියෙනවා. “මටත් එයා වගේ ඉන්න තිබ්බ නම්...එයාට නම් කිසි ප්‍රශ්නයක් නෑ” “අපටත් සල්ලි තිබ්බ නම් මේ ප්‍රශ්න නෑනේ” ඔයාලා කාටත් මේ වගේ  හිතිල ඇති. අපි එහෙම හිතනවා වගේ ඒ මිනිස්සුත් හිතනවා ඇති අපි වගේ වෙන්න තිබ්බ නම් කියල.

ඔයත් මමත් අපි කවුරුත් ම දන්නෙ නැති කාලයක , දන්නෙ නැති තැනක පුංචි පිරිමි ළමයෙක් ජීවත් වුනා. එයා ජීවත් වුනේ කැලෑවක. නිකම්ම නිකම් කැලෑවක නෙවෙයි. ගඳ ගහන කටු කැලෑවක. වටේටම උල් කටු පිරුණු ගස් , පඳුරු  විතරක් තිබුණු මේ කැලෑවෙ ජීවත් වුන  ඒ පිරිමි ළම‍යට හරියට ගෙයක් වත් තිබ්බේ නෑ. ගිනි ගහන අව්වට පිච්චුණ මේ පිරිමි ළමයා මහ වැහි කාළෙට තෙතබරිත වුණා. හැමතිස්සෙම තිබුණු ගඳ  , බඩගින්න   , කටු වලට සීරිලා තුවාල වලින් ආපු වේදනාව ඉවසන්න බැරුව ඒ පුංචි පිරිමි ළමයා මහ රෑට තනියම ඇඬුවා. එක දවසක මේ පුංචි පිරිමි ළමයා කල්පනා කරන්න ගත්තා. “ ඇයි මම මෙතැනින් බේරිල අයින් වෙලා යන්නෙ නැත්තෙ? ඇයි මම වෙන හොඳ තැනක් හොයන් යන්නෙ නැත්තෙ” එහෙම කල්පනා කරපු මේ පුංචි පිරිමි ළමයා ඒ ගඳ ගහන කටු පඳුරු කැලෑවෙන් පිට වෙන්න තීරණය කළා. 

කටු පඳුරු ඈත් කර ගෙන දවස් ගණනක් මාස ගණනක් තිස්සේ මේ පුංචි පිරිමි ළමයා අළුත් නවාතැනක් හොයන් ඇවිද්දා. කොච්චර මහ වැසිවලට තෙමුනත් උල් කටුවලට කොච්චර තුවාල වුනත් මහන්සි වුනත් ඔහු ගමන නතර කළේ නම් නැහැ. උත්සහවන්තයා ජය ගන්නවනෙ. පුංචි පිරිමි ළමයාට අළුත් නවාතැනක් හම්බවුණා. එතන එක එක වර්ගවල පලතුරු පිරිල තිබුණා. ඉතිං පුංචි පිරිමි ළමයාට තවත් බඩගින්නෙ ඉන්න ඕන වුණේ නෑ. අව්වට වැස්සට තෙමෙන්න වුණේ නෑ. ඕනම වෙලාවක පිටවෙලා යන්න පුළුවන් සිනිඳු වැලි පාරකුත් තිබුණා. පුංචි පිරිමි ළමයා තමන්ගෙ අළුත් නිවහනේ සතුටින් ජීවත් වෙන්න ගත්තා.   අවාසනාවකට දෝ කාලයක් යද්දී එතැනින් පරණ විදිහට ම දුඟඳ හමන්න ගත්තා. 

“ගඳ වුනාට කමක් නෑ...මට කන්න හරි තියෙනවනේ” පුංචි පිරිමි ළමයා නහය වහ ගෙන සිනිඳු වැලි පාර දිහා බලා ගෙන කල්පනා කලා. කොච්චර ඉවසුවත් ඒ ගඳ අඩු වුනේ නම් නැහැ. 

“තවත් නම් ඉවසන්න බෑ” පුංචි පිරිමි ළමයා තීරණයක් ගත්තා. එයා එක ලස්සන දවසක උදේ පාන්දරින් ම අලුත් නවාතැනක් හොයන්න සිනිඳු වැලි පාර දිගේ ගමන ආරම්භ කලා. පාර ටිකෙන් ටික රළු වෙන්න ගත්තා. මහ වැසිවලට පාර මඩ වුනා. “මට මේක කරන්න පුළුවන්” බිම ඇඳ ගෙන වැටුණු හැම වතාවක ම පුංචි පිරිමි ළමයා කියා ගත්තා. එක දවසක නවාතැනක් හොයන් යන ඒ වීර චාරිකාව අවසන් වුනා. ඒ කලින් හිටපු තැන වගේ ම කටු පඳුරු කැලෑවකින්.

“මෙච්චර උත්සහ කරලත්....ඇයි මට මෙහෙම වෙන්න...”පුංචි පිරිමි ළමයා සුසුමක් හෙලුවා. ‘කමක් නෑ” එයා හිත හදා ගත්තා. පුංචි පිරිමි ළමයා තවත් ඇඬුවේ නැහැ. කොච්චර සීතල වුනත් , කොච්චර බඩගිනි වුනත්, කටු වලට කොච්චර තුවාල වුනත් ඔහු ඇඬුවේ නැහැ. පුළුවන් හැමවෙලේම හිනා වෙලා හිටියා. ටික දවසක් යද්දී පුංචි පිරිමි ළමයාගේ ලේ, දාඩිය ,කඳුළු වැටුණු තැන්වලින් පුංචි පැළ මතු වෙන්න ගත්තා. කටු කැලෑව ලස්සන සුවඳ මල් වලින් පලතුරුවලින් පිරිල ගියා. මල් සුවඳ හැමතැනම පැතිරුණා. 

“මං ඒක කලා ...”පුංචි පිරිමි ළමයා මැකී ගෙන යන තුවාල කැළල් දිහා බලා ගෙන හිතුවා.

අපිත් මේ පිරිමි ළමයා වගේ. අපේ ජීවිතත් මේ වගේ. අපේ ජීවිතවලට එන සමහර ප්‍රශ්නවලට විසඳුම් තියෙනවා. අපි ශක්තිය  ධෛර්යය අරන් ඒ විසඳුම් හොයන්න ඕන. නිර්භීතව තීරණ අරන් ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයන්යන්න ඕන. විසඳුම කොච්චර අමාරු වුනත් අත අරින්න එපා. ඔයාට පුළුවන් ඒක කරන්න.

පොඩ්ඩක් කල්පනා කරල බලන්න...සමහර ප්‍රශ්න තිබ්බ නේද  පුංචි පිරිමි ළමයගෙ දෙවෙනි නවාතැන වගේ. යන්න පාර පෙනි පෙනි ඒ ගඳ ගහන තැන හිටිය ඒ පුංචි පිරිමි ළමය වගේ විසඳුම දැන දැනත් දුක් විඳපු අවස්ථා තිබුණ නේද? ප්‍රශ්නෙ නිසා කොච්චර රිදුනත් , ඒ ප්‍රශ්නෙම තියෙන පුංචි ආකර්ෂණීය බවක් සැනසීමක් කරන්  විශාල දුකක් විඳිනවා. අපි ඇති කර ගෙන තියෙන සමහර බැඳීම් ඒ වගේ. පෙනි පෙනී තියෙන විසඳුම ගන්න ඔයාට ශක්තිය ඕන. ඒ ශක්තිය ඔයා හොයාගන්නම ඕන. කළු ගලක් හිතේ තියන් හිනා වෙද්දී හිත තැලෙනවා. ගල අයින් වුනා ම විශාල සැනසීමක් දැනේවි.ඒ තීරණය ගන්න ඔයාට පුළුවන්.

හීන හැබෑකරගන්න දුවන අපේ ජීවිත වල ප්‍රශ්න තියනවා ඇත්තටම විසඳුමක් නැති. “ඇයි මට මෙහෙම වෙන්නෙ. ඇයි අපට මෙහෙම වෙන්නෙ” කියල හිත හිත තනියම කඳුළු කරපු ප්‍රශ්න. අපි ඒ ප්‍රශ්නත් ආදරෙන් පිළිගමු. ආසාවෙන් ඉවසමු. හැමදා ම පායන්නෙ නැහැ,හැමදාම වහින්නෙත් නෑ. කවදාහරි අපේ දාඩිය කඳුලු වලට පණ එනවා මයි. අපේ ජීවිතේ කටු පඳුරුවල මල් පිපෙනවාමයි. පාර රළු වෙන තරමට මල් පිපේවි. මල් පිපෙන්නෙ රළු බොරළු පාරවල මිසක් කාපට් පාරවල් නෙවෙයි. 

“අපි තමයි අපි ව දන්නේ” ප්‍රසිද්ධ ගීයක  වචන ටිකක් මතක් වෙනවා. ඔව්. ඔයා විඳින දුක, ඔයාගෙ මහන්සිය දන්නෙ ඔයා විතරයි. ඉතිං, ස්තුති කරන්න ඔයාට ම. මෙච්චර කාලයක් ම ඉවස ගෙන ඔයා එක්ක හිටියාට. හෙවණැල්ල වගේ ඉන්නම් කියල කවුරු පොරොන්දු දුන්නත්, මහ කළුවරේ හෙවණැල්ලත් නැති කොට ඉන්නෙ ඔයා  විතරයි. 

ප්‍රශ්න ආදරෙන් පිළිගමු. වැළදගමු. විසඳගමු. ජීවිතේ දිනන දවසට පරණ තුවාල කැළැල්වලට හාදුවක් දීලා ඒ අතීතෙ මතක් කරන තරමට නිහතමානී වෙමු.

“ඔයාට ඒක පුළුවන්”

 

අශානි ඉමල්කා

වාග්විද්‍යා අධ්‍යයනාංශය

මානව ශාස්ත්‍ර පීඨය