Image

ජීවිතේ කියන්නෙම මහ අමුතු හීනයකට.වර්තමාන පරිච්ඡේදය ලියලා අනාගත පරිච්ඡේදය කොහොම ලියන්න වෙයි ද? කියා සිතා ගත නොහැකි හරි අපූරු පොතක් තමයි ජීවිතය.ජීවිතේ සමහර සිඳුවීම් හරිම සාමාන්‍යයි.ඒත් ඒවගේ ඉන්න චරිත හරිම අසාමාන්‍යයි.

මම ඉපදෙන්නේ කොළ පාට තේ වතුවලින් වට වුණු හරිම ලස්සන පුංචි ගමක. “තේ දළු කඩන එක, කකුලේ එල්ලිලා ලේ බොන කූඩැලු තර්ජන, කලාතුරකින් විෂ සර්පයෙකුගෙන් හෝ වෙනත් සතෙකුගෙන් සිද්දවෙන දෂ්ඨනයකට හෝ වෙනත් අනතුරකට මුහුණ දෙන්න සිඳුවීම” මට අරුමයක් නොවෙයි. ඒ නිසාම අව්වට පිච්චෙන ගමන් වැස්සට තෙමෙන ගමන් තේ දළු පිරුණු පඳුරෙන් පඳුර හිස් කරන ජීවිතේ මට සාමාන්‍ය දෙයක් වුනත්, ජීවිතේ ටිකෙන් ටික ගෙවී යනවිට තේ දළු කූඩේ මහා බරක් වෙලා මටත් දැනෙන්නට විය. තෙල් බෙහෙත්,පොහොරවලට හුරු වුණු තේ පැළ ඒ කිසිම දෙයක් නැතිව කේඩෑරී වෙලා ගිහින්.පොහොර බෑගයක මිල මහ උසට නැගලා. පවතින ආර්ථික තත්වයත් එක්ක තම තේ වගාව ආරක්ෂා කරගන්න කුඩා තේ වතු හිමියන් ලොකු සටනක නියැලිලා සිටිනවා.

තෙල් ප්‍රශ්න හේතුවෙන් තමන්ගේ තේ දළු ටික කර්මාන්තශාලාවට යවාගන්න බැරිව බොහෝ දෙනා අපහසුතාවයට පත් වෙලා.කිලෝමීටර් ගණන් කිලෝ ගණන් තේ දළු කවර හිසේ තියාගෙන මිනිස්සු කර්මාන්ත ශාලාවට යනවා. කුඩා තේ වතු හිමියන් වෙනුවෙන් විදිමත් රක්ෂන ක්‍රමයක් එදා මෙදා තුර නිර්මාණය වෙලා නැහැ.මහා කැළෑ ප්‍රදේශවල පවා තේ දළු නෙලන බොහෝ දෙනා සර්ප දශ්ඨනයන්ට පවා ලක් වෙනවා.එහිදී නිවැරදි අයුරින් ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් ඔවුන් මරණයට පත් වන ඉඩ කඩ ඉහළ යි.එවැනි හේතු නිසා බොහෝ දරු පවුල් අනාත වෙලා ඒ පිළිබඳ බොහෝ දෙනාගේ අවදානය යොමු වෙලා තිබෙනවා ද? යන්න ගැටළුවක්. නවතාවයකින් සිතිය හැකි පරපුරක් ජීවත්වන රටක, බොහෝ ස්වාභාවික සම්පත් පිරි භූමියක ඉපදී සිටියදීත් මෙවැනි ගැටළුවලට පිළියමක් නොමැති වීම මහා ඛේදනීය තත්වයක් නොවන්නේ ද? බොහොමයක කුඩා තේ වතු කර්මාන්තාශාලා හිමියන්ගේ තේ දළු තේරීමකට ලක් කරනවා.එහෙත් ඔවුනට හරි ආකාරව ප්‍රමිතියකින් යුතුව තේ දළු නෙලීම සඳහා අවශ්‍ය ප්‍රධාන අවශ්‍යතාවයන්වත් හරි ආකාරයෙන් ඔවුන් සම්පාදනය කරනවා ද? යන්න ගැටළුවක්.

රටේ උද්ගතව පවතින තත්වයත් සමඟ මෙවැනි ගැටළු සඳහා පිළිතුරු සෙවීම ගැටළුවක් ලෙස බොහෝ දෙනා සිතයි.එහෙත් වගා කරුවන් වෙනුවෙන්ම සේවා සපයන ආයතන, නිලධාරීන්ගෙන් එසේනම් පලක් තිබේ ද?මෙවැනි ක්ෂේත්‍ර පිළිබඳව උසස් අධ්‍යාපනයක් ලබා සිටින සිසුන් සහ වෙනත් නිලධාරීන්ගේ නව සංකල්ප සහ දැනුම යොදා නොගන්නේ මන් ද? 

  • නව ස්වාභාවික පොහොර නිෂ්පාදිත ක්‍රම හඳුන්වාදීම සහ ඒවාට අවශ්‍ය පහසුකම් සැපයීම.
  • තේ අතු මඟින් නව පැළ නිෂ්පාදනය සහ එමඟින් කුඩා තේ වතු හිමියන්ට අවශ්‍ය හිඟ තේ පැළ තමාටම නිෂ්පාදනය කර ගැනීමට හැකිවීම සහ අතිරික්තය විකිණීම මගින් අමතර ආදායමක් ලබා ගැනීමට හැකි වීම.
  • තේ දළු නෙලීම සඳහා අවශ්‍ය උපකරණ සහ කූඩ ආදිය සැපයීම.ප්‍රවාහන පහසුකම් නිසි ලෙස සම්පාදනය කිරීම.
  • ඔවුන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හෝ වෙනත් ආකාරයේ සහන  සැපයීම.
  • මිල උච්ඡාවචනයකින් තොරව ඔවුන්ගේ ශ්‍රමයට සරිලන මිලක් ගෙවීම.

වැනි ක්‍රියාමාර්ග ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහකි මන් ද?

මා දැනට කැලණිය විශ්වවිද්‍යාලේ තුන්වෙනි වසර ශිෂ්‍යාවක්.මේ මොහොතෙත් මගේ අම්මා මගේ හීන සැබෑ කරන්න තේ පැළත් එක්ක ඔට්ටු වෙනවා ඇති.මම කුඩයක් යට අව්වට වැස්සට මුවාවෙනකොට මගේ අම්මා මේ අව්වටම පිච්චෙන ගමන් මේ වැස්සටම තෙමෙන ගමන් මන් වෙනුවෙන් වැඩ ඇති.ඇය වගේම තවත් බොහෝ දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් තම ශ්‍රමය දිය කරනවා වන්නට ඇති.

 උරහිසේ මහ බරට තේ කවර                       පිරුණූ

ඒ බරට වඩා අපෙ සා ගින්න                      දැනුණූ

අව් මදත් වැසි මැදත් එක වගේ                     තෙමුණූ

තේ කහට මැදත් මට ඔබෙ සුවඳ         දැනුණූ

 

සෙවන ඇති ගසක් යට චීත්තය එලා

ගෙනා බත් පංගුවම වේගයෙන්     කකා

මැසි මදුරු විලාපය හැමදාම          අසා

හීන හැඩ කරන්නට නුඹව කැප    කළා 

 

ඉරි තලා ඉදිමිච්ච පෑරිච්ච     දරුණූ

කකුල් බර අඩි තියා හැමදාම     තැලුණූ

ඉලුක් මහ අන්දරය කියයි මට    කරුණූ

නුඹ නිසා ලෝකය ම දිනනවා    පුතනූ                                        

 

සටහන - ජීවන්ති තක්ෂිලා චන්ද්‍රසිරි

ජන සන්නිවේදන අධ්‍යයන අංශය - තෙවන වසර

කැලණිය විශ්වවිද්‍යාලය.