Image
“විල්සන් ඔය බෝඩ් ටික ගෙනෙන්.. විල්සන් අර ෆෑන් එක දාපන්... මට වතුර එකක් ගෙනත් දියන්කො... විල්සන් ඔය කුණු බක්කිය මෙතනින් ගෙනත් තියපන්... විල්සන් උබට කන් ඇහෙනවද.. ඔය පැලට් එක ඇදපන්..ශික්..කිසි වැඩක් කරගන්න බෑ හරියට... හරියට වැඩක් කරගන්න බැරිනම් ගෙදර පලයන්... නහින දෙහින කාලෙ ගෙදරට වෙලා ඉන්න බැරුව අපිට පව් දෙන්න ඇවිත් මෙතන...”
මේ අපේ රටේ එක් කර්මාන්තශාලාවක අසන්නට ලැබුණු සිත පීඩාවට පත් කරන වචන පෙළකි. විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරන අතරතුර යම් කාලසීමාවක් මෙම කර්මාන්තශාලාවේ මා ද සේවය කළෙමි. විල්සන් මාමා මට හමුවූයේ එහිදී ය.
ඔහු නමින් විල්සන් වන අතර, වයසින් අවුරුදු 60ක් පමණ කිව හැකි පුද්ගලයෙකි. නගරයෙන් නගරයට පියමනින විල්සන් මාමා නගරයේ ඇති සෑම කර්මාන්තශාලාවක් වෙතම ගොස් අයදිනුයේ තමාට රැකියාවක් ලබාදෙන ලෙස ය. ඒ සෑම කර්මාන්තශාලාවකින්ම ඔහුට ලැබුණු පිළිතුර වූයේ “බෑ... බෑ.. අවුරුදු 50ට වැඩි අය ගන්නෙ නෑ.” ලෙසයි. නමුත් මේ යන අතරතුර එක් කර්මාන්තශාලාවකින් විල්සන් මාමාට රැකියාවක් ලැබුණි. එදින ඔහුගේ මුහුණේ වූයේ දැඩි සංතෝෂයකි. අපේක්ෂා දැල්වුණු, සතුට පිරුණු ඒ අහිංසක මුහුණ දැනුදු මාගේ මතකයේ පවතී.
ඉතින් මේ අලුතින් ලැබුණු රැකියාවට විල්සන් මාමා පසු දින උදෑසනින්ම ආවේ දහසක් බලාපොරොත්තු සිතෙහි පොදිබැඳගෙන විය හැකි ය. නමුත් ඔහු කර්මාන්තශාලාවට ගිය විට ලැබුණේ අන් අයට මෙන් සුහඳ පිළිගැන්මක් නම් නොවේ.
“අපෝ කවුද මේ නාකි මිනිස්සු වැඩට ගන්නෙ... මේ වගේ උන් එක්ක වැඩ කරන්න පුලුවන් ද..”
ඒ විල්සන් මාමාට රැකියාව ලැබුණු වැඩ අංශයේ ප්‍රධානියෙකි. විල්සන් මාමාට නාකි මිනිසෙකු යැයි පැවසූ ඔහුද වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයෙක් වීම සිනහවට කාරණයකි. කෙසේ වෙතත් මෙතනින් පටන් ගත් එවැනි පීඩාකාරී, සිත රිදවන වචන විල්සන් මාමාට නිතර දෙවේලේ අසන්නට සිදු වේ. සේවකයන් සියලු දෙනා ඉදිරිපිට ඔහුට බැණවදියි. ඔහු වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයෙකු බව සැබෑවකි. නමුත් තමාට පැවරෙන යම් කාර්යයක් වේ ද එය තමාට හැකි උපරිම හොඳින් සහ ඉක්මනින් සිදු කිරීමට ඔහු වගබලා ගනියි. එහි සිටි සේවකයින් අතරින් අන් සියල්ලන්ටම වඩා කාර්යයක් මේ නාකි යැයි හංවඩු ගසන මිනිසා සිදු කරයි. එසේනම් එකම වරද ඔහුගේ වයස පමණකි. නමුත් විල්සන් මාමාට වැඩ කිරීමට නොහැකි බව පෙන්වීමටදෝ එම වැඩ අංශයේ පාලකයන් ඔහුට එකවර කාර්යයන් කීපයක්ම පවරයි. තරුණ තරුණියක් පුටු මත හිඳගෙන වැඩ කරන අතරේ පැලට් ඇදීම පවා පැවරූයේ විල්සන් මාමාට ය.
එම වැඩ අංශය පාලනය කළ පාලකයන් පමණක් නොව, සේවකයන් ද ඔවුන් අනුගමනය කරමින් විල්සන් මාමාට නිතර වැඩ පවරයි. බැණ වදිමින් සිනාසෙයි. ඔහුව සමච්චලයට ලක් කරයි. “තැලෙන යකඩෙ උඩ පැන පැන තලනවා.” කියා පැරැන්නන් පවසා ඇත්තේ නිකරුණේ නොවන වග මා හට පසක් විය. තරුණ තරුණියන්ද විල්සන් මාමාව සමච්චලයට ලක් කරන අවස්ථා වල, ඔවුන්ට තම පියවරුන් සිහියට නො එනුයේ මන්දැයි මගේ සිතට ප්‍රෙහෙලිකාවකි.
මෙම කර්මාන්තශාලාවේ සේවය කිරීම මා හට එතරම් ගතෙහි මහන්සියක් නොදැනෙන්නක් විය. නමුත් මේ කාලය තුළ මාගේ සිත පුදුමාකාර ලෙස විඩාවට පත් විය. ඇතැම් දින වල නින්දට ගිය විට කිසිදු හේතුවක් නැතිව දෑස කදුලින් තෙත් වේ. සිත මෙතරම් පීඩාවට පත් කරන කාරණය කුමක්දැයි මා සිතින්ම විමසන කළ, විල්සන් මාමා කර්මාන්තශාලාව තුළ නිරන්තරයෙන් දෝෂාරෝපණයට ලක් වීම, සමච්චලයට ලක් වීම මා සිත පීඩාවට පත් කරන කාරණය බව මා හට පසක් විය. ඒ ඔහුද මාගේ පියතුමන් මෙන් ආදරණීය පියතුමෙක්, කරුණාබර මනුෂ්‍යයෙක් බව මා හට දැනෙන නිසාවෙනි. නමුත් මා හට දැනෙන මේ සහවේදනය අන් අයට ඔහු ගැන නොදැනෙනුයේ මන්දැයි මා නොදනිමි. තම දෙමව්පියන් මහලු වූ පසුව මහපාරට දමා යන කුහක සමාජයක වැඩිහිටියන්ට සැලකීම, සහවේදනය පිළිබඳ කතා කිරීම ඵලක් වේ ද...?
මෙලෙස කෙතරම් දෝෂාරෝපණ එල්ල වුවද, සමච්චලයට ලක් වුවද, විල්සන් මාමා හිස පහත් කර ඒ සියලු දේ අසාගෙන දරා සිටී. ඔහුද හිත් පිත් ඇති මනුෂ්‍යයෙකි. ඔහුටද අන් මනුෂ්‍යයන්ට මෙන් දුක, වේදනාව දැනෙන හදවතක් ඇත. නමුත් ඔහු ලොවෙහි අනෙක් පියවරුන් සේ ම මේ සියලු දුක් වේදනාවන් දරා ගනිමින් ඒවා කිසිවෙකුටත් නොපෙන්වා කර්මාන්තශාලාව අතහැර නොයා තම වැඩකටයුතු සිදු කරයි. ඒ ඔහුගේ ජීවය වන් දරුවන්ට හෙට ලොවක් තනා දීමට ය.
මෙවැනි අහිංසක, අසරණ වූ මනුෂ්‍යයන් හට ඔවුන්ගේ ශක්තියට තවත් ශක්තියක් දීම වෙනුවට අද සමාජය කරනුයේ ඔවුන් තලා පෙළා දැමීමයි. පහත් තත්වයෙහිලා සලකා ඉන්නා තැනින් තවත් පහළ තත්ත්වයකට ඇඳ දැමීමයි. නමුත් විය යුත්තේ මෙවැනි මනුෂ්‍යයන්ට අත හිත දී, ආදරය කරුණාව දක්වමින් ඔවුන්ගේ ඔවුන්ට ද අත හිත දෙමින් තම වුවමනාව සපුරා ගැනීමයි. එය මනුෂ්‍යයන් වන අප සැමගේ සිහියේ තබා ගත යුතු කාරණයකි.
 
තක්ෂිලා උදයංගනී
විශේෂවේදී දෙවන වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
සමාජීය විද්‍යා පීඨය