Image
‘‘පරවුණ ඩේලියා මල් ..
වැළලී නොමැති ඩේලියා මල් ..
වසරකට පෙරාතුව මා වෙනුවෙන් ගත් ඒ මල් පර වී ගියද පෙති හැලී නොගිය බව තහවුරු ය.”
           ඔහු අද පාපොච්චාරණය කරනව හෘද සාක්ෂිය කියන උසාවියේ ප්‍රේමය කියන අධි නීතිඥයා ළඟ.නීතිය ඉදිරියේ මේ චූදිතයාට ශරීර ඇපයක් හිමි වේද ? බරපතල වැඩ සහිත ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි වේ ද ?
කිමක් සිදු වුවද ඒ පාපොච්චාරණය තුළ  අධිචෝදනාවකට ඔහු විසින් ම සාක්ෂි සපයා ඇත.ව්‍යාජ ලිය කියවිලි මැද අපගේ ජීවිත නූල කැඩුණු සරුංගල් සේ වීදියක් වීදියක් හමුවේ ඔහේ පාවී ඈත ඇඳුණි.
මේ ගමනාන්තය ද ? මහා සුළි සුළඟට හසු වී පරතරෙක් නොපෙනන මහා සයුරක තනි වී ද ??
“විවාහය දෙදරා ගිය මා  සමස්ත සමාජයේම දුකට පාත්‍ර වන්නේ ද නැත.
ඕක ඉතින් ඒ ගෑණිගෙ කරුමෙ වෙන්නැති .
බෝධි සත්වයෙක් වගේ හිටියේ කවුද හිතුවේ ඔහොම වෙයි කියලා ?? හිතෙන දේ සරලව කියා ඔවුන් සිනාසුණි.
"අරන්තිනි අපොන්සුලාගේ අප්‍රීමි අරුන්දා , ඔබ මේ නඩුවේ නිවැරැදිකරු ද ?
වැරදිකරු ද ? "
කොහේ දෝ සිටි එකල යක්ශනියක් ව දිස් වූ ඇය තවද මේ ප්‍රස්තුතයේ තුන් වෙනි පාර්ශ්වය නොවේ.
                   නඩු වාර ගණනක ඇවෑමෙන් අයිතියක් කියන්න ට දැගළු භෞතික ප්‍රේම වස්තුව අරුන්දාගේ සන්තකයේ ය.එය සුරැකිව සුන්දර ව තිබෙන බව  දැකීම සිත සසල කරන්නට විය.මට ඔහුගේ දෑස් හරියටම මතක නැත.නමුත් හදවතේ සියුම් තැන් හොඳින් මතකය.
කාලයාගේ ඇවෑමෙන් අඹු සැමියන් ව සුහද සිටි අප අතරට අධික විෂ දුමාරයක් විත් එකවරම මා සතු යමක් පැහැරගත්තෙ ය.
උසාවිය අසල ඇති විසල් ගස් වැල් අනාචාර රාත්‍රිය ගැන දැන සිටියේ ද ? ඒ ගස් වැල් මගේ මළ ගමට සැරසුණාක් මෙනි.වැහි පොදක් නොලදත් නමුත් කටෝර සුළඟින් ඒ ගස්වැල්යාන්තමට ඔබ මොබ වැනෙයි.සියල්ල වේලී ගොස් මැලවී තිබුණි.අනාචාර රාත්‍රිය පිළිබඳ සියල්ල ගෞරවාන්විත උසාවි භූමියේ සැඟවී ගොස් නඩු වාර තුනකින් දික්කසාදය යන සරල වචනයෙන් ඔහු නිදහස් වූයේය. ගරා වැටුණු යුක්තියේ නියම තතු මෙසේ මතු විය.
නඩුව අත උඩින්ම ඔවුන් දිනුවේය.නිර්ලෝභී පරිත්‍යාගයකින් ජීවිතේ හරි අඩක් මා උභතෝකෝටිකයක තනි විය.අවසානයේ පරතෙර නොපෙනන ලෝකයෙ අවසන් දින කිහිපය මා ඉච්ඡාභංගත්වයෙන් ගත කෙරුණි.කාලය කොතෙක් දුර දිව්වේද මා හරි හැටි නොදනී.මගේ අවසන් හුස්ම වා තලයට මුසු වීමට දෙවසරකට පෙරාතුව අප්‍රීමි අරුන්දා ගේ වර්ෂ පූර්ණ පිංකම පැවතුණි.
හුදකලාවෙන් ගෙවන තරුණ ජීවිතය කෙතරම් අසීරු ද යන්න දේව් ට පහදා දුන්නේ නීතියේ උසාවිය නොව ස්වාභාදහමෙ උසාවියයි.විවාහ වී වසර තුනකට පෙරාතුව කර්මය , යුක්තිය පසක් වූයේ අප්‍රීමි අරුන්දා ගේ හදිසි මරණයෙනි.
මා පමණක් නොව මගේ දෙමව්පියන් අද ද අරුන්දා ට සාප කරන්නේ සමාජ සම්මතය මත සිට ගනිමිනි.මාගේ ආයුෂ ද ක්‍රමයෙන් වියැකී ගියේ මා මානසිකව  ඔත්පල වීමෙනි. සමාජ මතය තුළ ඇය එනම් ස්ත්‍රිය නිරායාසයෙන් ම වැරදිකරුවෙකි.නමුත් අරුන්දා ට පමණක් වරද නොකියන මම ඔබද නිවැරැදි බවට සටහනක් වා තලයට මුසු කළේ එය සුළඟ ඔබට සමීප කරනු ඇතැයි යන විශ්වාසයෙනි.
 දේව් තනි වුවද මා තනි වූයේ නැත.ඔහු තබා ගිය පරවුණ මල් මිටේ පැරණි සුවඳ පොදු සුසාන භූමිය සිසාර ප්‍රේමණීය හැඟීම් පමණක් ඉතිරි කළේය.වැස්සට තෙමී අව්වට වියැළී මෙන් අව පැහැ වූ නමුදු රතු පාට මල් මිට කිරි ගරුඩ කොත මත හෙටත් අමරණීය වනු ඇත.
 
හිමාෂා රණතුංග
දෙවන වසර
මානව ශාස්ත්‍ර පීඨය